Labels

Thursday, March 31, 2016

උපාසකයෙකු සතු ලක්ෂණ


බෞද්ධයන් වශයෙන් අපේ භාවිතයේ දී නිතර යොදා ගන්නා වචනයක් වන්නේ උපාසක උපාසිකා යන්නයි. ගමේ පළාතේ වයසක කවුරු හෝ මිය ගිය විට පන්සලේ හාමුදුරුවොත් ගමේ රටේ කොයිකවුරුත් කියනවා අහවල් උපාසක මහත්මයා මිය ගියා.

අහවල් උපාසිකාව මිය ගියා ආදී වශයෙන් වයසක කෙනෙක් මැරුණවිට කියනවා. මෙම “උපාසක” යන වචනය ඒ තරම්ම සුලභ, කාට වුවත් යොදා ගත හැකි වචනයක් බවට පත් වෙලා තිබෙනවා. සමහර විට ධනවත්, බලවත් උදවිය පිළිබඳව නම් උපාසක යන වචනය ඒ අය හඳුන්වන්නට යෙදීම එතරම් ප්‍රමාණවත් උසස් වැදගත් භාවිතයක් ලෙස සැලකෙන්නේත් නැහැ. එතන දී ‘මැතිතුමා’, ‘මැතිනිය’ යනුවෙන් භාවිත කරනවා. එතනදී උපාසක උපාසිකා යෙදුම උසස් භාවිතයක් වන්නේ නැහැ. එය එහෙම වුණත් අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ‘උපාසක’ යන වචනයට හිමි වන්නේ ඉතා වැදගත් තැනක්. මෙම සම්බුදු සසුනේ බුද්ධ ශ්‍රාවක ගණයට වැටෙන කොටස් හතරක් ඉන්නවා. භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යන්න ඒ හතරයි. එය එහෙම වුණත් මෙයින් අදහස් වන්නේ ගැඹුරු අරුත් හතරක් බව මෙහි දී අප සිහියට නගා ගත යුතු වෙනවා. බුද්ධ ශ්‍රාවක යන්න කියන කොට ම එයින් අදහස් වන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ අවබෝධ කර ගෙන ඒ අනුව ක්‍රියා කරන පුද්ගලයා යන්නයි. ඉතින් මේ අපි කොයි කවුරුත් විමසා බැලිය යුතු වෙනවා. විශේෂයෙන් ගිහි ජීවිත ගත කරන අය හැටියට බුද්ධශ්‍රාවක ගණයට වැටෙන ‘උපාසක’ බව ලබන්නේ කෙසේද? කියලා. එය එපමණට ම අතිශයින් ගැඹුරු දුෂ්කර කටයුත්තක් වෙනවා.

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි මහානාම නම් ශාක්‍ය රාජකුමාරයෙක් හිටියා. මේ ශාක්‍ය රජදරුවා දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් විමසා සිටියා. ‘උපාසකයෙකු’ බවට පත්වන්නේ කෙසේද? කියලා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු දෙමින් ‘මහානාම’ යනුවෙන් සූත්‍රයක්ම දේශනා කරලා තියෙනවා.

තෙරුවන් සරණ යාම


පළමුවෙන්ම උපාසකවරයා විසින් බුදුන්, දහම් හා සඟුන් යන තෙරුවන සරණ යාම මූලික ම අවශ්‍යතාව වෙනවා. මේ තෙරුවන සරණ යනවා කියන කරුණ පමණක් ගත්විට එයින් මහා බරපතළ අදහසක් ප්‍රකාශ වෙනවා. හැබෑ උපාසක වරයෙක් නම් ඔහු මොනව හේතුවක් නිසා වත් වෙනත් පිහිටක්, සරණක් පිටුපස යන්නේ නැතිව තමන්ගේ විපතේ දී හෝ සැපතේ දී තමන් මේ තෙරුවන ම පිහිට කර ගෙනමයි ජීවත් වන්නේ එයින් අදහස් කරන්නේ වෙනත්, දෙවියන්, බ්‍රහ්මයන් වෙනත් යකැඳුරන්ගේ පිටුපස යාම ආදී නොයෙක් මිථ්‍යා විශ්වාස මත පදනම් වූ අදෘශ්‍යමාන ශක්ති, බල, මිථ්‍යා විශ්වාසවලින් හා තොරව සම්‍යක් පිළිවෙතෙහි පිහිටා බුද්ධාදී රත්නත්‍රයෙහි ගුණ පිහිට කොට ජීවත් වෙනවා කියන මේ අදහසයි.

පන්සිල් සුරැකීම


එමෙන්ම මේ උපාසකවරයා ශීලාදී ගුණයෙන් යුක්ත විය යුතු කෙනෙක් වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ බුදුදහමේ උගන්වන ප්‍රාථමික ශීල ප්‍රතිපදාවයි. එනම් පංචශීලයයි. මෙම පංචශීලය අපට බොහොම හුරු පුරුදුයි. නිතරම අප භාවිත කරනවා. මෙයින් සරලව කියන අදහස වන්නේ පරපණ හිංසනයෙන් වැළකීම, අන්සතු දෙය සොරසිතින් ගැනීමෙන් වැළකීම, වැරැදි කාමභෝගී පැවැත්මෙන් වැළකීම. බොරුවෙන් හෙවත් වංචනික, ව්‍යාජ, සටකපට බවෙන් වැළකීම හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමයි. මේ හැසිරීම රටා පහ ම ගත් විට මේ හැම එකකින්ම ප්‍රකාශ කරන්නේ යහපත් සමාජ වටපිටාවක් ඇති කිරීමට අවශ්‍ය ගුණ ධර්ම හුරු පුරුදු කිරීමකි.
තවදුරටත් විස්තර කරනවා නම් සමාජයේ හැම කෙනෙකුට ම සැකෙන් බියෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් පන්සිල් රකින සමාජයක ඇති වෙනවා. මෙම පංචශීලයෙහි එන සියලුම සත්ව හිංසනයෙන් වැළකීමත්. වැරැදි කාමභෝගි ජීවිතයෙන් වැළකීමත්, මත්ද්‍රව්‍යයෙත් වැළකීමත් යන හැසිරීම් තුන ගත්විට මෙයින් මූලික, වශයෙන් සියලුම ජීවිතවලට විපතක් ඇති වීමට ඇති ඉඩප්‍රස්ථා නැතිව බිය පහවෙනවා. අන්සතු දේ ගැනීමෙන් හා වංචාව හෙවත් බොරුව සමාජයේ ඉවත් වූ විට දේපොළ පිළිබඳ ආරක්ෂාවත් තහවුරු වෙනවා. එයින් සිදු වන්නේ සමාජයේ සන්සුන් සාමකාමි බවක් ඇති වී හැම කෙනෙක්ම සැකෙන් බියෙන් තොරව ජීවත් වන වටපිටාවක් ගොඩ නැඟීමයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන තවත් කරුණක් වන්නේ උපාසක බවට පත්වන තැනැත්තා සමාජයේ ජීවත් වන විට තමන්ටත් අනුන්ටත් යහපත් වැඩක් ප්‍රයෝජනයක් වන ආකාරයෙන් ජීවිතය පවත්වාගෙන යනවා කියන එකයි. මේ කරුණ බුදුරජාණන් වහන්සේ මැනවින් විස්තර වශයෙන් මහානාම රජදරුවා අරමුණුකොට දේශනා කර තිබෙනවා.
මේ අනුව පැහැදිලි කරන්නේ උපාසක බවට පත්වන පුද්ගලයා ශීලමය වශයෙන් උසස් ම ප්‍රතිපදාවක පිහිටනවා. ඒ විතරක් නොවේ එම උපාසකවරුන්ගෙන් සමන්විත වන සමාජයේ හැම කෙනෙක් ම සැක බිය හැර ජීවත් වෙනවා. ඒ මොකද? ඒ අයට තමන්ගේ ජීවිත ගැනවත් දේපොළ ගැනවත් ඒවාට විපතක් කරදරයක් වෙයි යන බියක් ඇති වන්නේ නැහැ. මේ තත්ත්ව යටතේ සමාජය සාමකාමී වෙනවා. හොඳ හිත දියුණු වෙනවා. එවැනි අයගේ දරු මුනුපුරන් පවා යහපතට යොමු වෙනවා.

තම හිත පිණිස ක්‍රියාකිරීම


එමෙන්ම මහානාම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ තවත් පැහැදිලි කරන කරුණක් වන්නේ සීලවන්ත බවට පත් වූ උපාසකයා පළමුවෙන් ම තමන්ගේ මෙලොව පරලොව යහපත උදා කර ගැනීමට සමත් වෙනවා. එනම් තම ශ්‍රද්ධාව ඇති අයෙකු බවට පත් වෙනවා. මේ ශ්‍රද්ධාව යන කුසල සිතිවිල්ල අපේ යහපත් ජීවිත පැවැත්මේ සෑම ක්‍රියාවකට ම මුල් වෙනවා. මනා සේ වැඩෙන නිරෝගීමත් වෘක්ෂයකට මුල් වන්නේ පුංචි නිරෝගිමත් බීජයක් ‘සද්ධා බීජං’ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ ඒ කාරණයයි. ඒ නිසා කෙනෙක් යහපත් පැවැත්මකින් යුක්ත වන්නේ නම් ඔහු ශ්‍රද්ධාසම්පන්න වූ අයෙක් මයි. ඒ වගේ ම ඒ තැනැත්තා සිල්වත් බවට පත් අයෙක්. සමාජයේ ජීවත්වන හැම අයෙකුට ම පි‍්‍රය මනාප බවට පත් වූ අයෙක්. තමන්ට වත් අනෙකෙකුට වත් සිල්වත් වූ අයගෙන් කිසි විට විපතක් සිදු වන්නේ නැහැ. එමෙන්ම පරිත්‍යාගයට යොමු වී ජීවත් වෙන අයෙක්. තමන්ට ලැබෙන යමක් වෙයි නම් එයින් කිසියම් ප්‍රමාණයක් අනිකුත් අයටත් බෙදා දෙයි. තනිව ම යමක් භුක්ති විඳීමට යොමු වන්නේ නැහැ. ඒ වගේ ම සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ සොයා ගෙන ගොස් උන්වහන්සේලා එහෙම නැතිනම් කල්‍යාණමිත්‍රයන් ඇසුරු නිසුරු කරමින් ලබාගත යුතු අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලබා ගන්නවා. හැම විට ම ඒ තුළින් අපේක්ෂා කරන්නේ තමන්ටත් අනුන්ටත් කරදරයක් විපතක් නැති උදාර ජීවිතයක් ගත කරන්නටයි.
එමෙන්ම මෙවැනි උපාසකවරු නිරන්තරයෙන් ධර්මශ්‍රවණයට යොමු වෙනවා. දහම් පොත පත කියවනවා. ධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති දැන උගත් භික්ෂූන් වහන්සේ හෝ ගිහි වෙනත් කලණ ගති ඇති අය හමු වී දහම් ගැටලු ප්‍රශ්න නිරාකණය කර ගන්නවා. ඒ හැම දෙයකින් අපේක්ෂා කරන්නේ තමන් ධර්මධරයෙකු ලෙස වැජඹීමට නොව දැන ගත් දහම නිවැරදිව සැක හැර දැන තමන්ගේ දැහැමි ජීවන පැවැත්ම තුළින් කිසිවෙකුට විපතක් නොවී ජීවත් වීමේ ඉඩප්‍රස්ථා උදා කර ගැනීමමයි. ඒ වගේම තමන් ධර්මය අසා දැනගෙන ඒවා මොහොතකින් සිතින් බැහැර කරන්නේ නැහැ. ඒ දහම් මැනවින් ධාරණය කර ගන්නවා. මතකයෙහි රඳවා ගන්නවා. මේ නිසා අනවශ්‍ය සිතිවිලි සිතට නැගෙන්නේ නැහැ. එ පමණකුත් නොවේ ඒ අයුරින් සිතේ ධාරණය කර ගත් දහම් සිතිවිලිවල අර්ථය කුමක් දැයි නිරතුරුව ම විමසිල්ලෙන් කාලය ගත කරනවා. ඒ වගේම ඒ ආකාරයෙන් ධර්මය දැනගෙන ඒ අනුව ක්‍රියා කරන්නෙකු හෙවත් ජීවත් වන්නෙකු බවට පත් වෙනවා. මේ ආකාරයෙන් උපාසක බවට පත්වන අය තමන්ගේ දෛනික ජීවිතය තමන්ට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් පවත්වාගෙන යාමට පුරුදු වෙනවා. මෙම උපාසකවරයා සමාජයේ සැබෑ කල්‍යාණ මිත්‍රයෙකු වශයෙනුත් සැලකෙනවා. ඒ අන් කවර කරුණක් නිසා නොවෙයි. ඔහුගේ පරාර්ථ චර්යාව හේතුවෙන්.

පරහිත පිණිස ක්‍රියාකිරීම


මෙහිදී උපාසකවරයාගේ පරාර්ථ පැවැත්ම යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ පැත්තෙන් හැම අතින්ම නිවැරැදි වූ යහපත් ගති ඇති මෙම උපාසකවරයා අන් අයටත් ඒ තමාගේ ගති ලක්ෂණ හුරු කරවන අයෙකු බවටත් ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ එය කල්‍යාණ මිත්‍ර ලක්ෂණයක් ලෙසයි පෙන්වා දෙන්නේ. එනම් උපාසකවරයා තෙරුවන් සරණ යනවා පමණක් නොව සමාජයේ තෙරුවන් සරණ නොගිය වෙනත් අය තෙරුවන් ගුණ පහදවා තෙරුවන් සරණ යන අය බවට පත් කරනවා. එමෙන්ම පන්සිල් ආරක්ෂා නොකරන වැරැදි අධාර්මිකව ජීවිත ගෙවන අය පන්සිල් ආරක්ෂා කරන යහපත් පැවතුම් ඇති අය බවට පත් කරනවා.
ඊළඟ පියවරේදී අශ්‍රද්ධාවන්ත හෙවත් බුද්ධාදී උතුමන් පිළිබඳ ඇදහීමක් සැදැහැති බවක් නොමැති අය ශ්‍රද්ධාවන්තයින් බවට පත් කිරීමට තමන් කල්‍යාණ මිත්‍රත්වයෙන් ක්‍රියා කරනවා. අන් අය ශිලාදී ගුණ ධර්මයන්හි පිහිටුවනවා. කල්‍යාණ මිත්‍රයන්ගේ, දැන උගත් බහුශ්‍රැත භික්ෂූන් වහන්සේගේ ඇසුර ලබා දෙනවා. ත්‍යාගවන්ත බවට හෙවත් පරිත්‍යාගයට යොමු කරනවා. ධර්මය ඇසීමට හුරුපුරුදු කරවනවා. ඒ අයට ධර්මය පිළිබඳ ගැටලු සහිත තැන් ඇති විට ධර්මය පිළිබඳ විමසමින් ධර්ම සාකච්ඡාවන්ට යොමු කරවනවා. ඒ තුළින් ඒ අයත් ධර්මානුකූලව ජීවත් වන අය බවට පත් කිරීමට ගතහැකි සෑම උත්සාහයක්ම දරනවා.

බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍ය කුමාරයාට මේ ආකාරයෙන් පෙන්වාදෙන තමන්ගේත් අනුන්ගේත් මෙලොව හා පරලොව හිතසුව පිණිස ක්‍රියා කරන මෙම උපාසක ලක්ෂණ ඇති අය වර්තමාන සමාජයේ වුව ද අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. නිරන්තරයෙන්ම දහමට යොමු වී තමන් මෙන්ම බොහෝ අදැහැමි අය පවා ක්‍රමයෙන් දැහැමි වූවන් බවට පත් කර මෙලොව පරලොව වැඩ සාදා ලන්නා වූ සත්පුරුෂයෝ උපාසකවරයෝ අපේ සමාජයේ සිටිනවා. ඒ අය නිසා මෙම සමාජයට මහඟු අර්ථයක් සැලසෙනවා.


වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 22 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment