Labels

Thursday, March 3, 2016

අසුර අපාය ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 22 )


අසුරයන් යනු දේව නමින් හඳුන්වන පිරිසටත් ප්‍රේත නමින් හඳුන්වන පිරිසටත් අතරමැද ජීවත් වන පිරිසක් ලෙසය. ඔවුන් දෙවියන් තරම් පුණ්‍යවන්ත හා සෘද්ධි සම්පන්න නොවන අතර ප්‍රේතයන් මෙන් දුක්ඛිත හා කටුක ස්වභාවයන්ට ද පත් නොවන පිරිසකි. මොවුන් ඇතැම් විට සැප විපාක ද තවත් විටෙක දුක් විපාක ද අනුභව කරති. එබැවින් මේ පිරිස පෙර අත් භවයන්හි පුණ්‍ය ක්‍රියා මෙන්ම පාප ක්‍රියා ද කළ අය බව හඳුනාගත හැකිය
නවම් පුර පසළොස්වක පෝදා ලිපියෙන් විස්තර කළේ සතර අපාය අතර එන තිරිසන් අපායේ දුක්ඛිත ස්වභාවය හා කටුකත්වය පිළිබඳව කරුණු පහදා දීමටයි. තිරිසන් අපායේ ස්වභාවය තේරුම්ගැනීමට එය ප්‍රමාණවත්වේයැයි සිතමි. එබැවින් අද ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ සතර අපායන් අතුරින් සිව්වැනි ස්ථානයෙහිලා ගැනෙන අසුර අපාය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමටයි.
අසුර යන වචනයෙහි තේරුම (න + සුර = අසුර) සුර නොවන යන්නයි. එනම් දෙවියන් නොවන පිරිසක් යන්නයි. අසුරයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් සංස්කෘත සාහිත්‍යයේද එයි. අසුරයන් හා දෙවියන් අතර ඇති වූ යුද්ධ පිළිබඳ අවස්ථා ගණනාවක්ම බෞද්ධ සාහිත්‍ය තුළින් ද පැහැදිලි වෙයි. පිරිත් පොතේ එන ධජග්ග සූත්‍රය ද එබඳු අවස්ථාවකි. එය බුදුරජාණන් වහන්සේ පෙර වූ කතාවක් ලෙස භික්ෂූන් වහන්සේලාට මෙසේ කියා දෙයි. ‘භූතපුබ්බං භික්ඛවේ දෙවා සුරසංගාමෝ සමූපබ්බුළ්හෝ අහෝසි’ යනුවෙනි. එහිදී දෙවියන්ගේ පිරිසට නායකත්වය ලබා දී ඇත්තේ ශක්‍රදේවේන්ද්‍රයාය. අසුරයන්ගේ පිරිසට නායකත්වය ලබා දී ඇත්තේ "වේපචිත්ති" නම් අසුරේන්ද්‍රයාය.
පිරිත් පොතේ සඳහන් එන චන්ද හා සූරිය පරිත්ත වලින් රාහු නම් වූ අසුරේන්ද්‍රයෙක් චන්දිම දිව්‍ය පුත්‍රයා හා සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලීමට පැමිණි බවත් ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගොස් සිටි නිසා එසේ නොකොට ආපසු හැරී ගිය බවත් එහි තවදුරටත් විස්තර වෙයි. අටුවාවට අනුව මේ රාහු අසුරේන්ද්‍රයාගේ උස යොදුන් ගණනකි. එමෙන්ම මුවද යොදුන් ගණනකි.

පෙළෙහි එන අසුරයන් පිළිබඳ කරුණු ඇතුළත් තථාගත භාෂිතයන් හා සංසිද්ධීන් පසු ලිපිවලින් සාකච්ඡා කෙරෙන අතර පළමුව මේ අසුරයන්ගේ ස්වභාවයන් හඳුනාගැනීම වැදගත්යැයි, සිතමි. ඒ අනුව අටුවාවේ අසුර නිකායන් පහක් ගැන සඳහන් වෙයි. එනම්,

01. දේවාසුර

02. විනිපාතිකාසුර

03. ලෝකන්තිකාසුර

04.ප්‍රේතාසුර

05. වේමානිකාසුර     යනුවෙනි.

දේවාසුර යනු මුලින් සඳහන් කළ වේපචිත්ති අසුරේන්ද්‍රයා ප්‍රධාන කොටගත් ඔහුගේ නායකත්වය යටතේ දෙවියන් සතුරන් සේ සලකා කටයුතු කරන පිරිසයි. දෙවියන් හා නිතර නිතර යුද්ධ ඇතිකරගෙන ඇත්තේ මේ පිරිසයි. දෙවියන්ට මෙන් මොවුන්ටද යම් සෘද්ධිමය බලයක් තිබුණ ද දෙවියන් තරම් සම්පත්තියෙන් ආඪ්‍ය නොවන පිරිසකි. එමෙන්ම බලයෙන් හා පුණ්‍යවන්ත භාවයෙන් ද දෙවියන් හා සම නොවේ.

විනිපාතික අසුරයන් දේවාසුරයන්ට මෙන් සෘද්ධිමය බලයක් නො තිබුණ ද යම් යම් දේ මවා පෑමට තරම් ශක්තියක් ඇති පිරිසකි. පේතවත්ථුවේ සඳහන් පියංකරමාතු හා උත්තරමාතු වැනි ප්‍රේත කොට්ඨාසයෙන් මේ ගණයෙහිලා සැලකේ. ලෝකන්තරික අසුර කොට්ඨාසයට අයත් අසුරයන් නරක ප්‍රේත තිරිසන් යන ලෝක තුන අතර වසන්නෝය. ඔවුන්ට ද යම් යම් දේ මවා පෑමට තරම් සෘද්ධිමය ශක්තියක් ඇත. එහෙත් තමාගේ අභිලාෂයන් ඉටුවන්නේ කලාතුරකිනි. වේමානික අසුර යනුවෙන් හඳුන්වන පිරිස තමන් විසින් මවා ගන්නා ලද විමනක ජීවත් වෙයි. යම ලොව ප්‍රධානියා වන යම රජු ද මේ වේමානික අසුර කොටසට අයත් බව සැලකේ.

මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ අසුරයන් යනු දේව නමින් හඳුන්වන පිරිසටත් ප්‍රේත නමින් හඳුන්වන පිරිසටත් අතරමැද ජීවත් වන පිරිසක් ලෙසය. ඔවුන් දෙවියන් තරම් පුණ්‍යවන්ත හා සෘද්ධි සම්පන්න නොවන අතර ප්‍රේතයන් මෙන් දුක්ඛිත හා කටුක ස්වභාවයන්ට ද පත් නොවන පිරිසකි. මොවුන් ඇතැම් විට සැප විපාක ද තවත් විටෙක දුක් විපාක ද අනුභව කරති. එබැවින් මේ පිරිස පෙර අත් භවයන්හි පුණ්‍ය ක්‍රියා මෙන්ම පාප ක්‍රියා ද කළ අය බව හඳුනාගත හැකිය.

මෙම කර්ම විපාකයන් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ඇතුළත් අභිසංකාර සූත්‍රයේ දී මෙසේ දේශනා කොට ඇත.

ඉධ පන, භික්ඛවෙ, එකව්චො, පුග්ගලො සංඛ්‍යාබජ්ඣම්පි කායසංඛාරං අභිසඩ්ඛරොති, සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යබජ්ඣම්පි වචීසඩ්ඛාරං අභිසඩ්ඛරොති, සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි මනොසඩ්ඛාරං අභිසඩ්ඛරොති, සො සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි කායසඩ්ඛාරං අභිසඩ්ඛරිත්වා, සඛ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඩ්ඛාරං අභිසඩ්ඛරිත්වා, සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි මනොසඩ්ඛාරං අභිසඩ්ඛරිත්වා සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි ලොකං උපපජ්ජති, තමෙනං සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සඛ්‍යාබජ්ඣාපි අඛ්‍යාබජ්ඣාපි ඵස්සා ඵුසන්ති, සො සඛ්‍යාබජ්ඣෙහිපි අඛ්‍යාබජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වෙදනං වෙදයති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්‍යථාපි මනුස්සා එකච්චෙ ව දෙවා එකච්චෙ ව විනිපාතිකා.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, කාය කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මනෝ කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, කාය කර්මය රැස් කොට දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මනෝ කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූද, ලෝකයෙහි උපදියි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද ,ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශයෝ විඳිත්.

හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දේ ම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මිශ්‍ර වූ සැප දුක් ඇත්තා වූ වේදනාව විඳියි. මනුෂ්‍යයෝද, සමහර කාමාවචර දෙවියෝ ද, ඇතැම් විමානික අසුරයෝ ද යම්සේ සැප දුක විඳී ද, එලෙසය.

මෙයින් මෙහි ඒකච්චේ දේවා හා ඒකච්චේ විමානිකා යනුවෙන් හඳුන්වා ඇත්තේ මේ අසුර කොට්ඨාසයන්ය. ඔවුන් සිදු කළ කර්මානුරූපීව කලෙක දුක් විපාකත් කලෙක සැප විපාකත් විඳිති.




මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ආචාර්ය 
ශාස්ත්‍රපති 
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ නවම් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 01 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment