මෙලොව මිනිසත් බව ලැබූ සෑම දෙන අතරින් බෞද්ධ ප්‍රතිපදාව පූරණය කරන්නන්ගේ විශේෂත්වයක් නම් බුදුන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියමං කිරීම හා එමඟින් ජීවිතාලෝකය උදාකර ගැනීමට වෙහෙසීමය. උන්වහන්සේ සරණ ගිය අප බෞද්ධයන් වශයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න උන්වහන්සේගේ දේශනා අනුසාරයෙන් සිහි කටයුතු ය. ලෞකික ජීවිතයත් ලෝකෝත්තර දිවියත් කෙරෙහි අතිශයින් බලපාන කරුණු ඕනෑතරම් බුද්ධ දේශනාවේ අන්තර්ගත ය. ඒ සියල්ලෙන් ම සම්භාවනාවට පාත්‍ර වන එක් ධර්මතාවකි ‘ඉවසීම’ යනුවෙන් හඳුන්වන්නේ.
"ඉවසීමෙන් සැනසීම ලැබේ" යනු අතීතයේ පටන් ජන වහරෙහි පවතින එක් සංකල්පයකි. සැබැවින්ම ඉවසීම වැඩූ සත්ත්වයාගේ දිවිය සරුසාරය. ආලෝකවත්ය. අන්‍යයන්ගේ ප්‍රශංසාවෙන් යුක්තය. ඔහුගේ කීර්ති රාවය දසත පැතිරේ. ඔහුට සතුරන් නැත. සිටිය ද ඔවුන් කෙරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන බැවින් සතුරන් ද වෛරයෙන් හීන වේ. ලෞකික වශයෙන් තමන් ලද හැකි උපරිම දායාද භුක්ති විඳීමට නම් ඉවසීමෙන් ක්‍රියා කිරීම අතිශයින් වැදගත් වේ. බෞද්ධ ජීවිතය සඳහා වැඩි වශයෙන් ආදර්ශ ලබා ගැනීමට අප පෙළඹෙන්නේ බෝසත් චරිතය ඇසුරිනි. බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන අවදියේ ඉවසීම කෙසේ ප්‍රගුණ කළේ දැයි විවිධ ජාතක කතා අනුසාරයෙන් අවබෝධ කර ගත හැකි ය. විටෙක පාරමිතාවක් වශයෙන් ඉවසීම ප්‍රගුණ කළ උන්වහන්සේ සියලු ආත්මභාවවල දී ඉවසීමෙන් යුතුව ක්‍රියා කර ඇති බව ජාතක පොත් වහන්සේ සාක්ෂ්‍ය දරති. ඉවසීම බුද්ධාදී උතුමන් විසින් පසස්නා ලද උසස් වූ ගුණ ධර්මයකි. ඉවසීම ඇති කරගත යුත්තේ කුමන හෙයින් ද යනු එහිදී අවබෝධ කරගෙන සිටීම ද අතිශයින් වැදගත් වේ.
බෝසත් චරිතය දෙස විචක්ෂණව බැලීමේ දී බෝසතාණන් වහන්සේ බොහෝ අවස්ථාවල තමන්ට වෛර කරන්නවුන්ට, ද්වේෂ කරන්නවුන්ට, ගර්හා කරන්නවුන්ට, අහිත ඇත්තවුන්ට වෛර නොකර, ද්වේෂ නොකර, ගර්හා නොකර, හිතවත්ව විසූ බව ජාතක පොතින් දත හැකිය. ක්ෂාන්තිවාදී ජාතකයෙන් ප්‍රමුඛව දක්වා ඇත්තේ බෝසතාණන් වහන්සේගේ ඉවසීමේ ගුණයයි. එයින් පරිබාහිරව ඇති අනෙක් ජාතකකතා ගෙන බැලුව ද ඒවා කෙරෙන් විද්‍යාමාන වන සුවිශේෂ ලක්ෂණය නම් ඉවසීමේ ගුණය නො අඩුව එහි දක්නට ලැබීමයි. එකී ධර්මතාව නිවන් සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය උදෙසා මහඟු පිටුවහලක් වූ අයුරු මැනවින් විශද වේ.
බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා පිරිය යුතු සමතිංශත් පාරමිතා ධර්ම පාරමී, උපපාරමි, පරමත්ථ පාරමි යනුවෙන් කොටස් තුනෙකින් සමන්විත වේ. මේ අංශ තුනෙන්ම සම්පූර්ණ වීම සිතන තරම් පහසු කරුණක් නොවේ. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන, ඒ මඟෙහි ගමන් කිරීමට අදිටන් කර ගත්තෙකුට හැර සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එකී කරුණු පූරණය කළ නොහැකි මනාය. තමා සන්තකයේ ඇති වස්තු පමණක් නොව තම ශරීරය ද අනුන්ට පූජා කරන්නේ මෙත් සිතිනි. වෛරීව, ඊර්ෂ්‍යා, පරවශ, ක්‍රෝධාග්නියෙන් යුක්තව යමෙක් තම ශරීරයේ අත් පා ආදිය සිඳින තෙක් නිහඬව මෙත් සිත් පෙරදැරිව හිඳීම කළ හැකි වන්නේ බුද්ධාංකුරයකට ම පමණි. ඒ උත්තරීතර තත්ත්වයන් මෙන්ම සාමාන්‍ය ජීවිතයේ දී ද අප බෝසතාණන් වහන්සේ ඉවසීම ප්‍රගුණ කළ අන්දම ඉහතින් පෙන්වා දෙන ලදී.
බුදුරජාණන් වහන්සේගේ අවවාදය නම් ඉවසීමෙන් යුක්තව ක්‍රියා කළ යුතු බවයි. මේ සඳහා උන්වහන්සේ පෙන්වා දුන්නේ කකචූපම උපමාවයි. බුද්ධ ශාසනයේ ඉවසීම් ඇත්තවුන් අතර අග තනතුර ලැබුවේ සුනාපරන්ත පුණ්ණ මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ ඒ තත්ත්වයට පත් කිරීම කෙරෙහි අතිශයින් බලපෑවේ උන්වහන්සේ සතුව පැවැති ඉවසන සුලු ස්වභාවයයි. එය සාමාන්‍ය මිනිසුන්ගේ ඉවසීමේ සීමාවෙන් එහා ගිය වදනින් පැවසිය නොහැකි අන්දමේ ඉවසීමකි. මෙහි දී වැදගත් ම දේ නම් උන්වහන්සේ සුනාපරන්ත නම් ප්‍රදේශයට වැඩම කළේ රහත් භාවයට පත් නොවී වීමය. තමන්ට කෙතෙක් වද වේදනා විඳීමට ඇති බව සිතුණත් එය අත්‍යන්තරයෙන්ම ප්‍රකට වූවත් ඒ කෙරෙහි සිත නොනම්මවා, ඒ ප්‍රදේශයට වැඩම කිරීම කෙරෙහි ගත් ක්‍රියාමාර්ගයම ප්‍රශංසනීයය.
එක් දිනක් බුදුන් සමීපයට වැඩි පුණ්ණ හිමියන් බුදුහිමියන් අමතා “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මම හුදෙකලාව මහණ දම් පිරීමට කැමැත්තෙමි. ඒ සඳහා කෙටි අවවාදයක් කළ මැනවැයි ඉල්ලා සිටියහ. බුදුහිමියෝත් කෙටියෙන් අනුශාසනා කොට මහණදම් පිරීම සඳහා කවර ජනපදයක් තෝරා ගත්තේ දැයි විමසූහ. එවිට පුණ්ණ හිමි සුනාපරන්තය තෝරාගත් බව දැන්වූ කල්හි ‘පුණ්ණය සුනාපරන්තය නම් දරුණු මිනිසුන්ගෙන් ගහණය, එහිදී තට බැන්නහුනම් කුමක් කරන්නේ දැයි ඇසූහ. මෙහිදී ඇති වූ සංවාදය පහත පරිදිය.
පුණ්ණ - ස්වාමීනි, සුණාපරන්ත මිනිසුන් හොඳය. බණින නමුත් ඔවුන් මට අතින් නොගසතීයි සිතමි.
බුදුහිමියෝ - පුණ්ණය, සුණාපරන්ත වැසියන් අතින් ගසත් නම් කුමක් කරන්නේද
පුණ්ණ - ස්වාමිනි, ඔවුන් මට අතින් ගසතත් මට ගල්මුල්වලින් නොගසතියි සිතමි.
බුදුහිමියෝ - පුණ්ණය ඔවුන් ගල්මුල්වලින් ගැසුවොත් එකල කුමක් සිතන්නෙහි ද
පුණ්ණ - ස්වාමිනි, ඔවුන් ගල්මුල්වලින් ගසතත් පොලුවලින් නොගසතියි සිතමි.
බුදුහිමියෝ - පුණ්ණය, ඉදින් ඔවුන් පොලු මුගුරුවලින් පහර දුන්නොත් තොප කුමක් සිතන්නෙහිද
පුණ්ණ - ස්වාමිනි, සුණාපරන්ත වැසියෝ හොඳය. පොලුවලින් පහර දුන්න ද කැති පිහි ආදී ආයුධවලින් නොකොටතීයි සිතමි.
බුදුහිමියෝ - පුණ්ණය, ඉදින් කැති පිහියාවලින් ඔවුන් නුඹට පහර දුන්නොත් නුඹ කුමක් සිතන්නෙහිද
පුණ්ණ - ස්වාමිනි, සුණාපරන්ත වැසියෝ හොඳය. ඔවුන් මා නොමරතීයි සිතමි.
බුදුහිමියෝ - පුණ්ණය, ඉදින් සුණාපරන්ත වැසියෝ තෝ මරහි නම් තෝ කුමක් සිතන්නෙහිද
පුණ්ණ - ස්වාමිනි, ශරීරයත් ජීවිතයත් පිළිකුල් කරන ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ ශරීරය ගැනත්, ජීවිතය ගැනත් කළකිරී තමන් මරවා ගැනීමට මිනිසුන් සොයති. ඉතින් මම එසේ නොසොයාම මිනීමරුවන් ලදිමියි සිතමි.
මේ සංවාදයෙන් අනතුරුව සාදුකාර දුන් බුදුහිමියන් පුණ්ණ හිමියන්ගේ ඉවසීමේ ගුණය ප්‍රශංසා කර සුණාපරන්තයට යෑමට අවසර දුන් සේක. සුණාපරන්තයට වැඩම කළ පුණ්ණ හිමියන් එහි වැසියන් බුදුමඟට යොමු කොට සව් කෙලෙසුන් නසා අර්හත්වයට පත් වූ සේක.
ඉහතින් පෙන්වා දුන් සියලු කරුණු අපගේ ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා මහඟු පිටුවහලක් ලබාදෙනු නිසැකය. වත්මන් සමාජයේ ජීවත්වන අපත් පුණ්ණ තෙරුන් වහන්සේ ඉවසීමේ ගුණය කෙසේ ප්‍රත්‍යක්ෂ කළේ ද ඒ අයුරින් වැඩීමට වෙහෙස ගත යුතු මනාය. එහි වැදගත්කම පෙන්වා දෙන බුදුහිමියන් ඒ සඳහා ක්‍රියා කළ යුතු අන්දම ද පෙන්වා දුන් සේක.
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි චේතනා ඇතිවන සෑම විටම මෛත්‍රී සිතිවිල්ලෙන් යුතුව ඉන් මිදීම පිණිසය අප කටයුතු කළයුතු වන්නේ, කුඩා අවදියේ දී නොතේරුම්කම නිසා හා අනවබෝධය නිසා අනුන්ට සැහැසිවී ක්‍රියා කරනු දක්නට ලැබෙතත් අප කුඩා අවධිය, තරුණ අවධිය, මහලු අවධිය යන අවස්ථා තුනෙහිදීම සැහැසිබවින් මිදී උපේක්ෂාවෙන් යුතුව, ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට හුරු පුරුදු විය යුත්තේම ය. ලෝකෝත්තර විමුක්තිය උදා කරගත හැකි වන්නේත් ලෞකික ජීවිතය සරු කර ගත හැකි වන්නේත් ඉවසීම වර්ධනය කරගතහොත් පමණි. අපිත් ඉවසීම ප්‍රගුණ කර අපගේ විමුක්තිය සාධනය කර ගැනීමට අදිටන් කරගනිමු.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 15 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment