Labels

Thursday, March 31, 2016

ස්වභාව ධර්මයෙන් අසුරයන් පැරද වූ අවස්ථාවක් ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 25)


බුදුදහමෙහි අපාය සංකල්පය නම් මාතෘකාව යටතේ පළවන ලිපි මාලාවේ අද දින පළවන්නේ විසිපස් (25) වන ලිපියයි. මෙම ලිපියෙන් උක්ත මාතෘකාව යටතේ පළ වූ ලිපි මාලාව අවසන් කරන්නට තීරණය කළෙමු. එබැවින් අද දින පළවන්නේ එහි අවසන් ලිපියයි.

නරකය, ප්‍රේතය, තිරිසන් අසුර යන ප්‍රධාන අපායයන් පිළිබඳව පෙළ දහමෙහි සඳහන් පරිදි පෙළ දහම නොඉක්මවා කාටත් තේරෙන පරිදි සරලව හා පැහැදිලි ව මෙම ලිපි පෙළ ඉදිරිපත් කළෙමි. එතුළින් පාඨකයාට සතර අපාය පිළිබඳව යම් අවබෝධයක් ඇතිවන්නට ඇතැයි සිතමි. පළමුව ඉදිරිපත් කළ නරකය පිළිබඳ විස්තරයන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කළේ ලිපි පෙළ දීර්ඝ වන නිසා බව කරුණාවෙන් සැලකුව මැනවි. එහෙත් අවශ්‍ය කරුණු ඉදිරිපත් කොට ඇතැයි සිතමි. අද දින අවසන් ලිපියෙන් ද අසුරයන්ගේ චර්යාවන් පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපාරොත්තු වෙමු.
පසුගිය එනම් 24 වන ලිපියෙන් විස්තර කළේ දෙවියන්ගේ වර්ධනයත් අසුරයන්ගේ පිරිහීමත් පිළිබඳ කරුණු ඉදිරිපත් වන චාතුර්මහාරාජ සූත්‍රය විස්තර කිරීමටයි. එහි විස්තර වන්නේ සෑම දින අටකට වරක්ම සතර වරම් දෙවිවරුන්ගේ ඇමැතිවරු මිනිස් ලොවට පැමිණ මිනිසුන් අතර සිට දිව්‍ය ආත්මයන් සඳහා කුසල දහමෙහි නිතරවන අය හා අසුර ආත්මය ලැබීමට පහත් ක්‍රියාවන්හි යෙදෙන පිරිස සොයා බැලීමයි. එමෙන්ම සෑම තුදුස්වක දවසකම සතර වරම් දෙවිවරුද තමන්ම පැමිණ මේ කරුණු සොයා බලන බව තවදුරටත් මෙම සූත්‍රයේ විස්තර කෙරේ.
අද දිනයේ දී විස්තර කිරීමට බලාපොරාත්තු වන්නේ දෙව්යන් හා අසුරයන් අතර ඇති වූ යුද්ධයක දී ධාර්මික චර්යාවන් තුළින් දෙවියන්ට ජය අත් වූ බවත් අධාර්මික චර්යාවන් තුළින් අසුරයන් පරාජය වූ බවත් පිළිබඳ කරුණු ඉදිරිපත් වන සංයුත්ත නිකායේ ඇතුළත් කුලාවක සූත්‍රය පිළිබඳ විස්තර කිරීමටයි.
දිනක් සක්දෙව්රජු හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවිය. එම යුද්ධයේදී අසුරයන්ට ජය අත්විය. දෙවියන්ට පරාජය අත්විය. අසුරයන් අතින් පරාජයට පත් සක්දෙවි¾දු දිවි ගලවා ගැනීම පිණිස උතුරු දෙසට පලායන්නට විය. අසුරයන් ඔහු ලුහුබඳින්නට විය.
භූතපුබ්බං භික්ඛවෙ දේවාසුරසංගාමො සමුපබ්බුළ්හො අහෝසි – තස්මිං ඛො පන භික්ඛවේ, සංගාමෙ අසුරාජිනිංසු දෙවා පරාජිනිංසු පරාජිතා ච ඛො භික්ඛවෙ දේවා අපායංස්වේව උත්තරෙනමුබා, අභියංස්වේව නෙ අසුරා
සුපුරුදු පරිදිම ඔහුගේ රථය පැදවූයේ මාතලී රියදුරා විසිනි. එසේ උතුරු දෙසට පලා යද්දී සක්දෙව් රජුගේ රථය සිම්බිලි වනයේ ගුරුළු කැදැලි හා ගැටී ඒවා විනාශ වන්නට විය. මෙය දුටු සක් දෙව්රජු සිය රියදුරු මාතලීට දැන්වූයේ ගුරුළු කැදලි බේරා දැමීම වෙනුවෙන් දිව්‍ය අසුන් දහසක් යොදන ලද රථය වෙනත් මඟකට හරවන ලෙසයි.
කුලාවකා මාතලි සිම්බලිස්මිං - ඊසාමුඛෙන පරිවජ්ජයස්සු
කාමං වජාම අසුරෙසු පාණං - මායිමෙ දිජා විකුලාවකා
එසේ හරවා යන්නේ ඇයිදැයි මාතලී විමසූ විට සක් දෙව් රජු කීයේ තමන් අසුරයන් අතින් මැරැම් කෑවද ගුරුළු කැදලි විනාශවීම තමාට ඉවසිය නොහැකි බවයි. දෙව්රජුගේ රථය හරවනු දුටු ඔහු හඹා එමින් සිටි අසුර සේනා බියට පත්වූහ. දෙව්රජ වෙනත් දේව සේනාවක සහාය ලැබ තමන් සමඟ බලවත් සටනට එතියි සිතූ අසුර පක්ෂය බියපත්ව පලා ගියේය. මෙහිදී සක්දෙව් රජ ජයග්‍රහණය කළේය. එය ධර්මයෙන් ලද ජයග්‍රහණයකි.
එවං භද්දන්තවා ති ඛො භික්ඛවෙ මාතලි සංගාහකො සක්කස්ස දේවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං පච්චුදාවක්තෙසි අථ ඛො භික්ඛවෙ අසුරානං එතදහොසි පච්චුදාවත්තො ඛො දානි සක්කස්ස දේවානමින්දස්ස සහස්සයුත්තො ආජඤ්ඤරථො. දුතියම්පි ඛො දේවා අසුරෙහි සංගාමෙස්සන්තිති හීතා අසුරපුරමෙව පාවිසිංසු. ඉති ඛො භික්ඛවෙ සක්කස්ස දේවානමින්දස්ස ධම්මේන ජයො අහෝසි ති
අසුර නිකාය හෙවත් අසුර අපාය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ පෙර ලිපි කිහිපයෙන්ම වඩාත් අවධාරණය වූ කරුණක් වූයේ අසුරයන් දෙවියන්ගේ සතුරු පිරිසක් වශයෙන් කටයුතු කරන බවත් නිතර ඔවුන් අතර යුද්ධ ඇතිවන බවත්ය. එහෙත් ඒ සෑම යුද්ධයකින් අසුරයන්ට අත්ව ඇත්තේ ජය නොව පරාජයයි. මෙසේ මේ දෙපිරිස අතර නිතර නිතර යුද්ධ ඇතිවීමටත් දෙවියන් පිළිබඳ අසුරයන්ට ද්වේෂයක් ඇතිවීමටත් යම් යම් හේතු සාධක තිබිය හැක.
ප්‍රධාන වශයෙන් දෙවියන් අසුරයන්ට වඩා සම්පත්තියෙන් ආඪ්‍ය වූ බැවින් ඔවුන්ගේ සම්පත් පිළිබඳ අසුරයන්ට ද්වේශයක් ඇත. ඔවුන් සිතන්නේ දෙවියන්ගේ සම්පත් යුද්ධ කිරීමෙන් තමන්ට අත්කර ගත හැකි බවයි. ඒ නිසයි ඔවුන් දෙවියන් සමඟ නිතර යුද්ධයට පැමිණ ඇත්තේ. පෙර ලිපියේ සඳහන් වූ චාතුර්මහා රාජ සුත්‍රයෙන් විස්තර වූ පරිදි දෙවියන්ගේ සහවාසයට හා අසුරයන්ගේ සහවාසයට යන අයගේ ප්‍රතිපත්ති ඇත. මිනිස්ලෝකයේ ඉපිද යහපත් චර්යාවන්ගේ යෙදෙන අය දෙව්ලොවට යති. එම ප්‍රතිපත්ති හෙවත් චර්යාවන් මෙසේය.
මව කෙරෙහි මනාව පිළිපැදියා වූ, පියා පිළිබද මනාව පිළිපැදියා වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මනාව පිළිපැදියා වූ කුලදෙටුවන් පුදන්නා වූ සිල් රකින්නා වූ පෙර ගමන් වශයෙන් පොහොය අටසිල් රකින්නා වූ අය දෙව්ලොව උප්පත්තිය ලබති. එසේ නොකරන අය අසුර නිකායේ උපදිති. ඒ අනුව අපට තීරණය කළ හැක්කේ යහපත් ප්‍රතිපත්ති ඇති අය දෙවියන් බවට පත්වන බවත් අයහපත් ප්‍රතිපත්ති ඇති අය අසුර නිකායෙහි උප්පත්තිය ලබන බවත්ය.

එබැවින් යුද්ධයන් තුළින් හෝ ද්වේශ කිරීමෙන් හෝ දෙවියන් සතු වූ සම්පත්තිය කිසිදා අසුරයන්ට ලබාගත නොහැක. ඊට හේතුව දෙවියන් සම්පත්තීන් ලඟා කරගෙන ඇත්තේ යහපත් ප්‍රතිපත්ති පූරණය කිරීම තුළින් නිසාය. එබැවින් අසුරයන් යනු තම අයහපත් ප්‍රතිපත්ති නිසා දෙවියන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරමින් අල්ප සම්පත් වලින් යුක්තව දිවි ගෙවන පේ‍්‍රත කොට්ඨාසයක් බව මෙයින් පැහැදිලි වෙයි.



මහනුවර අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය 
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති 
මහරැඹෑවැවේ පාලිත හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 22 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment