බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර අභිප්‍රාය වූයේ මහා කරුණාව හා මහා ප්‍රඥාව තුළින් ප්‍රචණ්ඩත්වය පරදවා මිනිසා සතු මානුෂීය ගුණාංග මල්ඵල හට ගැනීමට ආර්යය පිළිවෙතක් දායාද කිරීමය. එහි පදනම වූයේ පංචශීලයයි.
බුදුදහම සමස්තයක් වශයෙන් ගත්කළ මානව හිතවාදී කරුණාව දයාව පතුරණ සෑම සත්වයකුගේම අයිතිවාසිකම් රැකෙන පරිදි දේශීත දහමකි. ආගම් ජාති කුලභේද පිටු දකිමින් සමස්ත මානව සමාජයේ උපරිම ඵලය නෙළා ගැනීම සඳහා මනෝ විද්‍යාත්මක හා දාර්ශනික පදනමකින් බිහිවූ ශ්‍රේෂ්ඨ ආර්ය පිළිවෙතකි. බුදුරජාණන් වහන්සේ අවබෝධකර ගත් දහම මුලින් දේශනා කිරීමට පසුබෑමක් ඇතිවූයේ මිනිසාගේ කරුණාව අනෙකා කෙරෙහි උපරිම වශයෙන් ලබාදීමට මිනිසා තුළ සැඟවුණු ප්‍රචණ්ඩකාරී බව දුටු නිසාය.
මිනිස් සිත ස්වභාවයෙන් වෘකයෙක් බඳු බව බොහෝ දාර්ශනිකයන් පවා පවසා තිබේ. තණ්හාවේ බීජයක් ලෙස පහළ වූ මිනිසා උපතේ සිට මරණය දක්වා ම අභිලාශයන් ඉටුකර ගැනීම සඳහා අනෙකා දඩමීමා කර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ. මිනිසා පරිණාමයට පත්වීමේදී ජීවිතය පවත්වාගෙන යාමට ලොකු සතා විසින් කුඩා සතා ආහාරය සඳහා ගෙන තිබේ. වර්තමාන සමාජය තුළද මෙම ලක්ෂණය එසේම පවතී. තණ්හාධිකව කටයුතු කරනු ලබන මිනිසා ප්‍රචණ්ඩකාරි සත්ත්ව කොට්ඨාශයකි.
බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර අභිප්‍රාය වූයේ මහා කරුණාව හා මහා ප්‍රඥාව තුළින් ප්‍රචණ්ඩත්වය පරදවා මිනිසා සතු මානුෂීය ගුණාංග මල්ඵල හට ගැනීමට ආර්යය පිළිවෙතක් දායාද කිරීමය. එහි පදනම වූයේ පංචශීලයයි. සමස්ත මානව සමාජයේ අයිතිවාසිකම් මෙන්ම යුතුකම් මැනවින් පෙන්වා දෙන ප්‍රචණ්ඩත්වයට පිටුපා සාධාරණ හා උසස් සමාජයක් නිර්මාණය කිරීම නිපුණතාවය කරගෙන මේ විශ්වයේ පහළ වී ඇති විශිෂ්ටතම අසමසම සමථ කරුවාණන් වහන්සේ බුදුරදුන්ය.
ප්‍රචණ්ඩත්වය යනු සත්ත්ව ඝාතනය නොකිරීම පමණක් නොව අනෙකාගේ දේපොළ පැහැර නො ගැනීම කාම අපරාධ, බොරුවෙන් සමාජය මුලා නොකිරීම හා විවිධ මත් ද්‍රව්‍යයෙන් මත් වී කටයුතු නොකිරී පංචශීල ප්‍රතිපත්තිය සුරැකමින් ජීවිත්වීමට දේශනා කළා පමණක් නොව පන්සාලිස් වසක් තුළ බුදුසිරිත පුරා සැබෑ සමථකරුවාණන් වහන්සේ ලෙස කටයුතු කළ සේක.
බුදුරජාණන් වහන්සේ අබියසට පැමිණි එක්තරා දේවතාවකු ඇතුළත අවුල්ය. පිටත අවුල්ය. මිනිස්සු අවුලෙන් අවුලට පත්ව සිටිති. මේ අවුල ලිහන්නේ කෙසේදැයි විමසූ අවස්ථාවේදී සීලයක පිහිටා සමාධිය ප්‍රඥාව වඩන ප්‍රඥාවන්ත භික්ෂුව මේ අවුල ලිහයි. මෙය අප ගෞතමයන් වහන්සේගේ පළමු සමථ පණිවිඩයයි. කකචූපම සූත්‍රයේදී සමස්ත සමාජයට දුන් පණිවිඩය නම් කියතකින් කපනවිට පවා ඒ තැනැත්තා පිළිබඳව ප්‍රචණ්ඩත්වය නොදක්වා සැබෑ සමථකරුවකු ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වාදෙන ලදී.
තමන් වහන්සේ ඝාතනය කිරීමට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු දේවදත්තට අවමන් කිරීමේ පවිටු චේතනාවෙන් පැමිණි විංචිමානවිකාවට පවා මෙත්සිත පැතිරවීම පරමාදර්ශි චරිතයක උතුම් ගුණාංග වේ. උන්වහන්සේගේ සන්නිවේදන කුශලතාව අතිශය වැදගත් වේ. පවිටු කාන්තාවට “නැගනියනි” යනුවෙන් ඇමතීම කෝපයට පත්නොවී ගැටලුවට පාත්‍ර වී ඇති පුද්ගලයා තුළ අභ්‍යන්තර ඥානයක් ඇතිවන ආකාරයෙන් මනෝ විද්‍යාත්මක ස්වභාවයක් දක්වා ඇත. මානව සමාජ සංදර්ශනය තුළ ඕනෑම කෙනෙකු ප්‍රචණ්ඩකාරී ස්වභාවයට පත්වන්නේ ඔහු තුළ නොසන්සිඳුණු ආශාවන් ඉටුකර ගැනීමට ඇතිවන මානසික විකෘතිභාවය නිසාය. සමාජයේ විවිධ ස්ථර හා ඇතිවන ගැටුම් මෙන්ම තමාට තමා එපාවීමෙන් සියදිවි හානිකර ගැනීම ලොව සුලබව දක්නට ලැබෙන සිදුවීම්ය.
බෞද්ධ පබ්බජ්ජාව ආරම්භ කළ බුදුරදුන් ශ්‍රාවක සංඝයා ගිහිගෙයි විසීම සම්බාධක සහිතය කෙලෙස් නිෂ්පාදනයට ආයතනයකි. පැවිද්ද අවකාශය මෙන් නිදහස්ය. මේ අනුව යථාවබෝධයෙන් සසුන්ගත වූ භික්ෂුව සමථකරුවන් වහන්සේ නමකි. උපසම්පදා භික්ෂුන්ට සතර පරාජිකාවන් පැනවීමේදී මනුස්ස විග්ගහ පාරාජිකාව තුළ මිනිසෙකු ඝාතනය කිරීම භික්ෂුත්වය අහෝසිවීමට හේතු වේ. ප්‍රචණ්ඩත්වයෙන් තොර ගැටුම් සමථයකට පත් කිරීම අරමුණු ඇතිව දේශනා කරන ලද්දකි. සංඝයා අතර ගැටුම් ස්වභාවයට පත්වුන ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ඇතිවූ ගැටලුකාරි අවස්ථාවේ මඟහැරයාම තාවකාලිකව ප්‍රශ්නය තේරුම් ගෙන ප්‍රශ්නය තේරුම් ගැනීමට කල්දීමක් ලෙස බැහැර වීම සමථකරණයකි.
මෙලොව පැන නඟින ඕනෑම ගැටලු සහගත තත්ත්වයකදී කටයුතු කළ යුතු ආකාර සතරක් පෙන්වාදී ඇති. ඉන් ඨපනිය. ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිටියහ. බුදුරදුන් හමුවීම සඳහා ජේතවනාරාමයට පැමිණි තරුණයන් දෙදෙනෙකුට එක හා සමාන ප්‍රශ්න ඇතිවී තිබුණි. ඒ අවස්ථාවේ උන්වහන්සේ එම තරුණයන් දෙදෙනාටම පිළිතුරු නොදී එකිනෙකාගේ සමථකරුවෙකු වී එකිනෙකාගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාව උදාකර දී තිබේ. වර්තමාන සමාජය තුළ සමාන ප්‍රශ්න ඇති අය එකට මුණ ගැසීම තුළ එකිනෙකාගේ ප්‍රශ්න තේරුම් ගෙන විසඳුම් ලබා ඇති අවස්ථා දකින්නට ලැබේ.
විභජ්ජකරණය තුළින් සමථකරුවෙකු කළ යුත්තේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට ප්‍රචණ්ඩත්වයට හේතු විශ්ලේෂණය කර ගැනීම සඳහා ඉඩ ලබාදිය යුතු බවයි. එසේම ඕනෑම සමථකරුවෙකුට මනුෂ්‍ය ගැටලුව පිළිබඳව සමස්ත අවබෝධයක් දැනුමක් ප්‍රඥාවන්තභාවයෙන් කටයුතු කිරීමට හැකියාවක් තිබිය යුතුවේ.
ප්‍රණ්ඩකාරි පුද්ගලයන් ඉදිරියේ පසුනොබා පැහැදිලි පිළිතුරක් ලබාදීමට හැකියාවක් බුදුරදුන් තුළ තිබිණ. ආලවක යක්ෂයා ප්‍රශ්න කිරීමේදී නොසැලි “මම මෙතැනින් නොයමි” යයි ප්‍රකාශ කිරීම අංගුලිමාලට “මම නැවතුනෙමි ඔබත් නවතින්න”යයි ප්‍රකාශ කිරීම එම ප්‍රචණ්ඩකාරි තැනැත්තා ප්‍රඥා පිළිවෙතකට ගෙන ගොස් ප්‍රචණ්ඩත්වය පිටුදැක එහි ආදීනය දැක අත්මිදීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන ලදී.
ප්‍රචණ්ඩත්වය තුළ ඒවා විසඳීමට එකවර පිළිතුරක් නොදී ඒ ඒ පුද්ගලයන්ගේ අභ්‍යන්තර හැකියාවන් මතුකර ගැනීමට සමථකරුවෙකුට හැකියාව තිබිය යුතුවේ. සෝණ නමැති භික්ෂුව අවුරුදු විසිනවයක් භාවනා කළද කිසිදු ප්‍රතිඵලයක් නොලැබූ විට ජීවිතය පවා අහිමිකර ගැනීමට කළකිරුණු විට බුදුරදුන් ඔහුගේ අභ්‍යන්තර කුශලතාවක් මතුකොට ඒ ඔස්සේ කටයුතු කර ගැනීමෙන් අරමුණු ඉටුකර ගැනීමට හැකියාව පෙන්වා දී ඇත. ඔහු පෙර භවයේ වීණාවාදකයෙකි. වීණාව හොඳට වාදනය කරන්නේ කෙසේදැයි සෝණ භික්ෂුවගෙන්ම ප්‍රශ්නකොට ඒ පිළිතුර ඔස්සේ නිවැරැදි මඟට යොමුකොට ඇත. එය සමථකරණයේ සුවිශේෂි අවස්ථාවකි.
රාහුලෝවාද සූත්‍රයේදී පාත්‍රය හා ජලය උපමා කර ගනිමින් භික්ෂුවට බොරුකීම සුදුසු නැති බව තහවුරු කර ඇත. මංගල සුත්‍රයේදී බහුශ්‍රැතවීම ශිල්පඥානය තිබීම විනය ශික්ෂණය සන්නිවේදනය සමථ කරණය සඳහා අවශ්‍ය නිර්නායකයන් වේ. ප්‍රචණ්ඩත්වයෙන් තොර පවුල් සමාජයක් සඳහා මාතා පිතු උපට්ඨානං මව්පිය දූ දරුවන් අතර සාමකාමී අන්‍යෝන්‍ය සුහදතාවය සඳහා අවධාරණය කොට ඇත. න්‍යෂ්ඨික අවි ආයුධ බෝම්බ අනෙකා ඝාතනය කොට විනාශ කිරීමට වඩා මිනිස් සිත ප්‍රබල බව ඔප්පු කොට ඇත. ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම නිවැරදි ජීවිකාව මත් ද්‍රව්‍ය පානයෙන් වෙන්වීම ගරු කිරීම යටහත් පහත්වීම ප්‍රමුදිතව කාලය ගත කිරීම සාමකාමි සමාජයකට හේතු වේ. තමා ගැටලු සහගතනම් තමාගේ අභ්‍යන්තරය පාපකාරි චේතනා තුළින් යුක්තනම් මතුපිටින් සාධු චරිතයක් පෙන්වා සිටියත් නියම සමථකරුවකු විය නොහැක. ඒ ප්‍රචණ්ඩතාවය පිටුදැකීමට බුදු දහමින් ලබා දෙන්නේ අගනා පිටුවහලකි.
සැබෑ මනුෂ්‍ය ගුණධර්ම තේරුම් ගත් සාධුචරිත ගත කරන්නන් සැබෑ සමථ කරුවන්ය. සංඝ සමාජය එදා සිට අද දක්වා ගම කේන්ද්‍ර කොට ගෙන සාමයේ බුදු පණිවිඩය මුළු ලොවට බෙදා හරිමින් විශිෂ්ඨ සමාජයක් බිහි කිරීමට දායකත්වය දී තිබේ.
නෙළුම් මල මඩෙහි හටගෙන ඉන් ඔබ්බට විහිදී ජලයෙන් මතුපිටට පිපී සිය සුවඳ සහ ප්‍රසන්න බව ලොවට කියාපාන්නා සේ සැබෑ සමථකරුවකු සිය ගුණ නුවණ තුළින් සමාජයට සැබෑ සමථකරුවකුගේ ආලෝකය ලබාදෙන බව බුදු දහමින් හෙළිවන අගනා පණිවිඩයකි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 22 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment