අනුන්ගේ සැප සම්පත් නො ඉවසන ස්වභාවය ඊර්ෂ්‍යාව නම් වේ. එය අටුවාවෙහි විග්‍රහ වන්නේ පරසම්පත්ති ඛීයණ ලක්ඛණය ඉස්සා” යනුවෙනි. ඊර්ෂ්‍යා සහිත පුද්ගලයා තමාට නැති අනුන් කෙරෙහි දක්නා හැකියාවන්ට බලයට, ධනයට, උගත්කමට, කථිකත්වයට, රූපයට, ප්‍රඥාවට, පරිත්‍යාගශීලි ගුණයට, සිලවත්කමට, නිරෝගිබවට, ආදි සියල්ලට ඊර්ෂ්‍යා කරයි. ඔහු හැමවිටම දුකෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පසුතැවෙමින් ජීවත්වෙයි.
ඊර්ෂ්‍යාව සමඟ පැනනඟින්නේ චිත්තෝප ක්ලේශය ද්වේශයයි. ඊර්ෂ්‍යාව බලය ඇත්තාට ධනය ඇත්තාට විනාශය පතමින් කටයුතු කරයි. දිවා රෑ ඒ ගැන සිතමින් තැවෙයි. අනුන්ට ඇති සැප සම්පත් නිසා තමන්ට දුක්වෙයි. පීඬා විඳියි. එලෙස සිතීමෙන්, එසේ වේදනාවට පත්වීමෙන් තමන්ට වන යහපතක් නැති බව වටහා නොගනී. ඔහු එලෙස දුකට පත්වන්නේ තමා තුළ පවත්නා ඊර්ෂ්‍යාව ඔහු නොදක්නා නිසයි. ඒ ඔහුගේ අවිද්‍යාවයි.කෙනෙකුට ඊර්ෂ්‍යාව පහකළ හැක්කේ ඔහුට ඒ ගැන දක්නට හැකියාවක් ඇතොත් පමණි.
ඊර්ෂ්‍යාව නම් වු ගණ අඳුර දුරු කල හැක්කේ සතිය හෙවත් සිහිකල්පනාව නම් වූ ආලෝකය දල්වාලීමෙනි.
බොහෝ දෙනා තමා තුළ ඊර්ෂ්‍යාවක් තිබෙනවා නොදනිති නොදකිති. මේ ක්ලේශ ධර්මය පුහුදුන් මිනිසාට නිවන් දක්නා තුරුම පවත්නා දෙයක් තමා තුළ පවත්නා මේ මනෝභාවය පළමුකොට වටහා ගනිමින්. එය ප්‍රහීණ කිරීමට උත්සාහ දැරිය යුතුය. මගේ නම් ඊර්ෂ්‍යාවක් නැහැ.අනෙක් අය මම ඊර්ෂ්‍යාව කරතැයි අප පවසන්නේ අපේ ඇති නොදැනුවත් කම නිසයි. ඔහු තමා තුළ පවත්වනා ඊර්ෂ්‍යාව නොදන්නා නිසා නොදක්නා නිසාම එය දිනෙන් දින වර්ධනය වේ.
කෙනෙකු තුළ පවත්නා ඊර්ෂ්‍යාවේ හා ලෝභයේ ස්වභාවය ඉතා සියුම් ලෙස විග්‍රහ කෙරෙන සෙන් බුදුදහමේ කතාවක් දක්වමි. ඒ මෙසේය.බොහෝ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටි සෙන් ගරු හිමියන් අපවත් වූ අවස්ථාවේ උන්වහන්සේ ඇසුරු කළ එක් අන්ධ මිනිසෙක් උන්වහන්සේ ගැන මෙසේ පැවසුවේය.”ලෝකයේ මිනිස්සු තවත් කෙනෙකුගේ ජයග්‍රහණයකදී සුබ පතනු මට ඇසේ. ඔවුන් එසේ සුබ පතන විට මම දුටුවේ මට දැනුනේ ඒ සුබපතන්නාගේ හදවතේ සියුම් ඊර්ෂ්‍යාවයි. එසේම කෙනෙක් තවත් කෙනෙකුගේ දුකෙහිදී දුක ප්‍රකාශ කරති. ඒ දුක ප්‍රකාශ කරන මිනිසාගේ මම දුටුවේ මට දැණුනේ සියුම් සතුටයි.එහෙමත් ඇත්තෙන්ම සමහර කෙනෙකුගේ විපතකදී දුකකදී අවංකවම දුක ප්‍රකාශ කරන විට මම දුටුවේ මට දැණුනේ ඔහුට විශාල අලාභයක් ඇතිවු බවයි. එහෙත් මේ ගුරු හිමියන් සතුට ප්‍රකාශ කළ විට මා දුටුවේ මට දැණුනේ සතුට පමණයි. දුක ප්‍රකාශ කළ විට මම දුටුවේ මට දැණුනේ ඒ හදවතේ සැබෑ දුකයි. (දුකෙහිදි කම්පාවන කරුණාවයි)
පුහුදුන් මිනිසාගේ ආත්මාර්ථකාමී ස්වභාවය ලෝකය පියෙවි ඇසින් බැලිය නොහැකි මේ අන්ධ මිනිසාට මිනිසුන්ගේ භාව තුළින් එය දැකීමට හැකි විය. කොතරම් මිතුරකු වුවත් තම මිතුරාගේ දරුවෙක් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවක සතුට ප්‍රකාශ කරනවායයි සිතමු. ඒ සතුට ප්‍රකාශ කරන මිතුරා තමාගේ දරුවාට එසේ ජයග්‍රහණය නොලැබීම ගැන ඊර්ෂ්‍යාව ඇති නොවන්නේද? තමාගේ මිතුරකුට පිළිකාවක් සැදී රෝහල් ගතව සිටින අවස්ථාවක මිතුරා බැලීමට යන ඔහු කනගාටු මුහුණක් රෝගියා කෙරෙහි පෙන්නුවද අනේ මට මේ වගේ රෝගයක් නැහැ නොවේදැයි සියුම් සතුටක් ඇති නොවන්නේද? සැබවින්ම කෙනෙකුගේ විපතකදී කෙනෙක් අවංකව දුක්වෙනවා නම් ඔහු ඒ මරණයට පත්වු තැනැත්තාගෙන් මින් පසු කිසිදු දෙයක් තමාට නොලැබෙන නිසා ඔහු දුක්වෙනවා නොවේද? අන්ධ මිනිසා දුටු යථාර්ථය එයයි.
මේ නිසා අප තුළ ඇති ඊර්ෂ්‍යාව තණ්හාව, කොතරම් ගැඹූරු ලෙස නොපෙනන ලෙස සිතෙහි සැඟවී සිටිනවාද යන්න පියවි ලෙස පරීක්ෂා කළ යුතුය. ඒ පියවි ඊර්ෂ්‍යාව පිළිබඳව හැමවිටම අවධියෙන් සිටිය යුතුය. එවිට ඊර්ෂ්‍යාව නම් වූ ක්ලේශය දුරු කිරීමට අපට හැකිවනු ඇත.
මුදිතා නම් වූ ගුණය අනුන්ගේ සැප සම්පත් දැක සතුටුවිය හැකි බවයි. එය ඊර්ෂ්‍යාව දුරුකර ගැනීමේ ක්‍රමයයි. මේ උතුම් වූ ගුණය වර්ධනය කර ගැනීමෙන් ඊර්ෂ්‍යාව දුරුකර ගැනීමට හැකිවනු ඇත. මේ උතුම් ගුණය දෙමාපියන් සතු සතර බ්‍රහ්ම විහරණ අතරින් එකකි. දරුවන්ගේ දියුණුව දැක දෙමාපියෝ සතුටුවෙති. තමාට වඩා ඉහළින් තම දරුවන් වැජඹී සිටිනු දැකීමට දෙමාපියෝ කැමැතිවෙති. එහෙත් මෙබඳු දෙමාපියන් තුළ පවා දරුවන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් දරුවන් දෙමාපියන් කෙරෙහිද ඊර්ෂ්‍යාවත් දක්වන සමහර දෙමාපියන් සිටින බව රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ පැහැදිලි කරති.
අන්‍යයන්ගේ සැප සම්පත් කෙරෙහි ඊර්ෂ්‍යාකරන මිනිසා අසරණ මන්ද බුද්ධිකයෙක් නොවේද ? ඔහුට එම ඊර්ෂ්‍යාවෙන් ලැබෙන්නේ කුමක්ද? ඊර්ෂ්‍යාකාරි මිනිසකුට කිසිදා දියුණුවක් නොලැබෙන බව ව්‍යවහාර ලෝකය දෙස බලන්නෙකුට පැහැදිලි වනු ඇත. අනුන්ට ඊර්ෂ්‍යා කරන මිනිසා මහත් අවසනාවන්තයෙකි. මහණෙනි ලෝකයෙහි යමෙක් ඊර්ෂ්‍යාවෙන් කැලැඹුණූ සිතින් අනුන් ලබන්නා වූ පුදසත්කාර වන්දනාමාන ගරුකිරීම් දැක එය ඉවසනු නොහැකිව ඊර්ෂ්‍යාවෙන් සුසුම් හෙළන්නෝ වෙතොත් ඔවුහු නිරයේ උපදින්නෝ වෙති.
ඉදින් මිනිස්බවක් ලැබුවොත් කිසිදා ආනුභාවයක් නැති බලයක් නැති පිරිහුණූ පුද්ගලයෝ වෙති. මේ බුද්ධ දේශනාවෙන් ඊර්ෂ්‍යා පරවශ පුද්ගලයාගේ දෙලොව පරිහානියත් අධ්‍යාත්මික හා භෞතික පරිහානියත් නියත බව වටහාගත යුතුය.
කෙනෙක් භෞතික වශයෙන් දියුණුවට පත්ව සිටින්නේ ඊර්ෂ්‍යා නොකරන නිසා දැයි ඔබට ප්‍රශ්නයක් නැගීමට හැකිය. කෙනෙක් අධෛර්ය හෝ අයුක්තියෙන් අසාධාරණයෙන් අනුන් පෙලමින් ධනවතෙක් බලවතෙක් වේ නම් එබඳු කෙනෙකුන් ගැන තවත් කෙනෙකුට ඊර්ෂ්‍යාවක් ඇතිවිය හැකිය.
ඒ බලවතා ගැන ධනවතා ගැන විරුද්ධ කථා කිරීමත් ඊර්ෂ්‍යාව ද? අපි මෙසේ සාධාරණව ජීවත් වෙනවා.
අපට ඒ වගේ දියුණුවක් නැහැ. එහෙත් අසාධාරණයෙන් ජීවත්වන කෙනා අපට වඩා යහතින් ඉන්නවා. මෙබඳු තර්ක රැසක් ඔබගේ සිතේ ඇතිවිය හැකිය. ඔබට ඒ ගැන කලකිරීමක් හෝ ද්වේෂයක් දැනෙනු ඇත. එහිදී ඔබ වඩාත් බුද්ධිමත් විය යුතුය. අන්‍යයන් කළ නොකළ දෙය ගැන නොව තමා කළ යුතු නොකළ යුතු දේ ගැන පමණක් සිතන්න.
අනුන්ගේ සැපත පිළිබඳ ඊර්ෂ්‍යා නොකළ හැක්කේ මුදිතා නම් වූ අනුන්ගේ සැප සතුට තමාගේ සැප සතුට ලෙස සලකා ඇති කරගත් උදාර මනෝභාවය දියුණූු කර ගැනීමෙනි.
එසේම කෙනෙක් ලබන්නා වූ යස ඉසුරු ලාභ සත්කාර හා ධනය බලයත් ඒ ලබාගත් පුද්ගලයාත් අනිත්‍ය බවත් ඒ සියල්ල අස්ථීරබවත් තාවකාලික බවත් වටහා ගන්න. උත්සාහ දරන්න.
එවිට ඊර්ෂ්‍යාව නම් වූ ක්ලේශය තුනි කරගැනීමට ඔබට හැකිවේවි.
එසේම අධර්මයෙන් අයුක්තියෙන් ධනය බලය යස ඉසුරු ලබාගත් පුද්ගලයෙක් පරිහානියට විනාශයට පත්වන විට ඔබ සතුටට පත්වේ නම් ප්‍රමෝදයට පත්වේනම් ඒ ඔබ තුළ සිටි ඊර්ෂ්‍යාවේ ගිනිපුපුරට බව වටහා ගන්න.
කෙනෙකුගේ සැබෑ දියුණුවක් දැක තමන්ද එම තත්වයට පත්වීමට උත්සාහ දැරිම ඊර්ෂ්‍යාව නොවේ. එය දෙයක් ආදර්ශයට ගැනීමකි. එසේම තමා පැමිණි උසස් තත්වයට තවත් කෙනෙක් පැමිණීමට උත්සාහ දරන්නේ නම් ඊට ඔබ අකමැති වන්නේ ඊර්ෂ්‍යාව නිසාය.
එසේ අනෙකාත් ඔබ මෙන් දියුණුවීමට උත්සාහ දරනවිට එයට මාර්ගය කියාදීම එයට අත හිත දීම ඒ ගැන සතුටුවීම මුදිතා ගුණයයි. එයින් ඔබට කිසිවක් නැතිවන්නේ නැත. එයින් ඔබේ දියුණුවක්ම මිස පරිහානියක් නො වන්නේමය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment