නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නිහීයතී පුරිසො නිහීනසේවී
නචහායෙච කදාචි තුල්‍යසේවී
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං
තස්මා අත්තනො උත්තරීං භජෙථාති
නචහායෙච කදාචි තුල්‍යසේවී
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං
තස්මා අත්තනො උත්තරීං භජෙථාති
පින්වතුනි,
සකල ජන මන ආනන්ද කරවූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ මෙලොව පරලොව දියුණුව උදෙසා හොඳ සමාජ ආශ්‍රයක් අවශ්‍ය බව මෙම ගාථා ධර්මයෙන් පෙන්වා වදාළ සේක.
පුද්ගලයෙකු සමාජගත වන්නේ දෙමවුපිය ආශ්‍රයෙන් හා පාසල් අධ්‍යාපනයෙන් අනතුරුවය. එහෙයින් මූලික දැනීම හා ශික්ෂණය අවශ්‍යවන්නේ එම යෝග්‍යතම කාල පරිච්ඡේදයටය. දූදරුවන් හදන වඩන දෙමවුපියන් දරුවන්ට පෙරදිගින් රක්ෂාවරණය සපයන අතර දරුවන් වෙනුවෙන් ප්‍රධානා කාරණ පහක් ඉෂ්ට සිද්ධ කළයුතු වග සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ ය.
‘පාපා නිවාරෙන්ති – පවින් වැළැක්වීම,
‘කල්‍යාණෙනිවෙසෙන්ති – යහපතේ යෙදවීම,
‘සිප්පං සික්ඛාපෙන්ති’ – ඉගැන්වීම,
‘පතිරූපෙන දාරෙන සංයොජෙන්ති’ – ආවාහ විවාහ කරදීම,
‘දයාජ්ජං නීය්‍යාදෙන්ති’ – දායාදදීම යනුවෙනි.
මෙම කරුණු පසම දූදරුවන් සමාජගත කිරීමේදී අත්‍යවශ්‍යවන අතර එයින් එකක් හෝ ක්‍රියාත්මක නොවී නම් දෙමවුපිය, දූ දරුවන් අතර අන්‍යෝන්‍ය සුහදතාවය හා විශ්වාසය දුබලවී කුමන කාරණයකදී හෝ ජීවන ගමන අඩාලවන්නේ ය.
ආශ්‍රය, නිශ්‍රය, භජනය, පයිරුපාසනය සෑම සත්වයාටම සෑම දේටම එකසේ බලපාන අතර එම බලයට අනුකූලව හොඳ නරක සිද්ධාන්තය අනාදිමත් කාලයක සිට මානව සමාජය තුළ ක්‍රියාත්මකය. තිරිසන් සතුන් වෙතද මෙය ක්‍රියාත්මක වන නමුත් හොඳ නරක විශ්ලේෂණය කිරීමේ බුද්ධියක් නොමැත. එහෙත් ජන්මය අනුව ඔවුන් ලබාගත් හැඟීමෙන් ජීවනය ප්‍රමාණවත් කරගත් සාමාන්‍ය හොඳ නරක කුසලතාවයක් ඇත.
දන්දීම ආදී සත්පුරුෂ ක්‍රියාවන්හි යෙදුන සිංහයන්, නාගයන්, අලි ඇතුන් පිළිබඳ විස්තර වර්ණනා බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම පුරාණ ඉතිහාස කතාවලින්ද දක්නට පුළුවන. උප්පත්තියේදී ඇතිවන සංකීර්ණත්වය අනුව කෙනෙකුගේ හොඳ, නරක ගති පැවතුම් ක්‍රමයෙන් පුරුදුවන බව ජීවවිද්‍යාවේ දැක්වේ.
මිනිස්බව ලබාගන්නේ සසරදී අතිමහත් කුසල සම්භාරයක් කිරීමේ ප්‍රතිවිපාක වශයෙනි. මේනිසා මිනිසාට කුමන ගතියක් හෝ වෙනස් කිරීමේ බුද්ධිමය වාසනාව පවතින අතර විශ්වයේ උපරිම තලයේ ක්‍රියාත්මක වන්නේ මිනිසාගේ ප්‍රමිතිකරණයයි.
මිනිසත්බවේ උපරිම තලය වූ ලොව්තුරා බුදුබව ලැබීමටත් අවමවශයෙන් තිරිසන් සත්ත්වයෙකු වීමටත් හේතු කාරක වන්නේ එයට අනුගුණවන පුද්ගලාන්තර ආශ්‍රයයි.
‘නච හායෙථ කදාචි තුල්‍යසේවී’ ගුණ නැණින් තමාට සමාන අය භජනය කිරීමෙන් මානුෂික ගුණාංගයන්ගෙන් නොපිරිහෙන්නේ ය. ගුණය ක්‍රියාත්මක වන්නේ එය දරාගැනීමට තරම් වාසනා මහිමය ඇති පුද්ගලයන්ගේ චරිත ආශ්‍රය කරගෙන බැවින් ප්‍රථමයෙන් ගුණාත්මක භාවය පිළිබඳ අවබෝධයක් ශාස්ත්‍රීය ලෙස මානව සමාජයට ලබා දිය යුතු ය.
‘සෙට්ඨමුපනමං උදෙතිඛිප්පං’
තමාට වඩා ගුණ නැණින් උසස් අය ආශ්‍රය කිරීමෙන් ඉතා ඉක්මනින් දියුණුවට පත් වන්නේ ය.
කලක් ආශ්‍රය කිරීමෙන් කල්‍යාණ මිත්‍රයාගේ ලක්ෂණ හඳුනාගත හැකිය. සමාජය තුළ පවතින ලෝභාදී සංකීර්ණ හැඟීම් යටපත් කොට විවෘත චිත්ත සන්තානයෙන් යුක්ත වූ අවංක මිතුරෙකු සමඟ ස්වල්ප කාලයක් හෝ ආශ්‍රය කරන්නට හැකිවේ නම් අනාගතය භාග්‍යවන්ත වන්නේ ය. දිනක් අප තථාගතයන් වහන්සේ මෙම සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් කල්‍යාණ මිත්‍රසේවනය මත පවතින බව ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරුවශයෙන් දේශනා කළ සේක.
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මනුලොව පහළ වන විට ඒ උතුම් කල්‍යාණ මිත්‍රයෝද පහළ වී ලොවට කල්‍යාණමිත්‍ර සේවනය පිළිබඳව අවබෝධයක් හා ක්‍රියාවලියක්ද ව්‍යාප්ත වන්නේ ය. අප බුදුරජාණන් වහන්සේ තරම් අති උතුම් කල්‍යාණ මිත්‍රයෙකු අපට හමුවන්නේ නැත. එහෙත් එම දහම ක්‍රියාත්මක වන සමාජය තුළින් සුවිශේෂ කල්‍යාණමිත්‍රයෙකු ලබා ගැනීමට හැකි වන්නේ ය.
සැබෑ මිතුරන් සතර දෙනෙකු පිළිබඳව විස්තර සිඟාලෝවාද සූත්‍රයේ දක්නට පුළුවන. උපකාරක මිත්‍රයා, දුක් සැප දෙකේ දී වෙනසක් නැති මිත්‍රයා, අත්ථක්ඛායි මිත්‍රයා සහ අනුකම්පක මිත්‍රයාය.
මේ සිව් දෙනාම ආශ්‍රයට ඉතා යෝග්‍යවන අතර සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති ඇත්තෝ ද වෙති. සමාජ අවබෝධය ලබා ගැනීම, අනාගත ජීවිතය තිරසරවීම, පරලොව සුගතියට යාම, සසරින් මිදීම කල්‍යාණ මිත්‍ර සේවනය නිසා අපට ලැබෙන ප්‍රතිලාභයන් ය.
බුදුදහමට අනුව ආශ්‍රය පිළිබඳ පුද්ගලයන් තුන් දෙනෙකුන් හඳුනාගත යුතු වන්නේ ය. ආශ්‍රය නොකළයුතු පුද්ගලයා, ආශ්‍රය කළයුතු පුද්ගලයා සහ ගරුසරු කොට ආශ්‍රය කළයුතු පුද්ගලයා වශයෙනි.
යමෙකු සීලයෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණ නම් ඔහු ආශ්‍රය කළ යුතු ය. යම් පුද්ගලයෙක් සීලාදී ගුණයෙන් දුරස්ථ නම් ඔහු ආශ්‍රය කරන්නට සුදුසු නොවන්නේ ය. යමෙක් අධිශීල, අධි සමාධි, අධි පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් සම්පූර්ණ නම් ඔහු ගරුසරු ඇතිව ආශ්‍රය නිශ්‍රය කළයුතු වන්නේ ය.
සිල්වත්, ගුණවත්, නැණවත් පුද්ගලයන් සේවනය කිරීමට කුඩා කල සිටම ලැබෙන්නේ නම් එය උතුම් මංගල කාරණයක් බව මහාමංගල සූත්‍රයේ දැක්වෙන අතර කලණ මිතුරන් ආශ්‍රය සම්පත්තියක් බව බුද්ධ දේශනාවෙහි සඳහන් වන්නේ ය.
පාප මිත්‍රසේවනය සියල්ලෙන්ම විපතක් වන අතර යහපත් මිතුරු මිතුරියන් ආශ්‍රය කිරීම නිවන් දක්නාතුරු ධනාත්මක සුසංයෝගයක් වන අයුරු ජාතක කතාවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.
සසර පුරුද්ද අනුව ජනක කර්මයේ ප්‍රතිවිපාක වශයෙන් ලබන පරිසරයට අනුගත වන සත්ත්වයා තමන්ට යෝග්‍ය පිරිස් සම්පත ලබාගෙන තම ජීවිතයේ දුක සැප විඳින්නේ ය.
කල්‍යාණ මිත්‍ර සේවනය මූලාශ්‍රය කරගෙන ලොව්තුරා බුද්ධත්වය ලබාගත් අප ගෞතම බෝසතාණන් වහන්සේ දානාදී සමතිංසත් පාරමී ධර්මයන් පුරමින් සූවිසි මහා විවරණ ලබාගනිමින් ප්‍රකට කළ ආදර්ශමත් භාව අසංඛ්‍ය සංඛ්‍යාත ජනී ජනයන්ට ශ්‍රේෂ්ඨතම මාර්ග උපදේශකත්වය මානව ඉතිහාසයේ සනිටුහන් වන්නේ ය.
කල්‍යාණ මිත්‍ර සේවනයේ අගය සැමට වැටහේවා.
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 26 වන ඉරිදා වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment