“පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්සකා) ඇත්තාහ. එසේ ම කර්මය දායාද කොට (කම්මදායාද ) ඇත්තාහ. කර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහ. කර්මය නෑයා කොට (කම්මබන්ධු) ඇත්තාහ. කර්මය පිළිසරණ කොට (කම්ම පටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස් පහත් බවට පමුණුවනු ලබන්නේ, කර්මය විසිනි.
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයක සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ සමඟින් පිළිසඳර කථාවක යෙදුණු සුභ විසින් අනතුරු ව මෙම ප්‍රශ්නය විමසන ලදී.
“පින්වත් ගෞතමයන් වහන්ස, මිනිසුන් අතර විවිධ උස්පහත්කම් දක්නට ලැබේ. එයට හේතුව කුමක් ද? පින්වත් ගෞතමයන් වහන්ස, ඇතැම් මනුෂ්‍යයෝ අල්ප වූ ආයුෂ ඇත්තෝ ය. ඇතැම් මනුෂ්‍යයෝ දීර්ඝායුෂ ඇත්තෝ ය. එසේ ම බොහෝ ආබාධ ඇත්තා වූ ද අල්ප ආබාධ ඇත්තා වූ ද දුර්වර්ණ වූ ද, වර්ණවත් වූ ද යසස් අඩු වූ (අල්පේශාක්‍ය ) ද බොහෝ යසස් ඇත්තා වූ (මහේශාක්‍ය) ද , අල්ප භෝග ඇත්තා වූ ද, මහාභෝග ඇත්තා වූ ද, කුලයෙන් හීන වූ ද, කුලයෙන් උසස් වූ ද, නුවණ නැත්තා වූ ද, නුවණින් යුතු වූ ද මනුෂ්‍යයෝ දක්නට ලැබෙත්. පින්වත් ගෞතමයන් වහන්ස, මේ වෙනස්කම් වලට හේතුව කුමක්ද? “
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්සකා) ඇත්තාහ. එසේ ම කර්මය දායාද කොට (කම්මදායාද ) ඇත්තාහ. කර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහ. කර්මය නෑයා කොට (කම්මබන්ධු) ඇත්තාහ. කර්මය පිළිසරණ කොට (කම්ම පටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස් පහත් බවට පමුණුවනු ලබන්නේ, කර්මය විසිනි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැකෙවින් වදාළ කරුණු වටහා ගැනීමට අපොහොසත් වූ සුභ තෙමේ එය විස්තර කර දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ එම අර්ථය මෙසේ විස්තර වශයෙන් වදාළ සේක.
1. පින්වත් මානවකය. මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීමෙහි යෙදෙයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු අල්පායුෂ්ක (අඩු ආයුෂ ඇති) වෙයි. මාණවකය, සියලු සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීම අල්පායුෂ්ක බව පිණිස හේතු වෙයි.
2. පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව අකුසල් කිරීමෙහි ලජ්ජිත වෙමින් හිංසාකාරී ආයුධ පසෙක තබා සතුන් මැරීමෙන් වැළකී වෙසෙයි. මෙසේ /ස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු දීර්ඝායුෂ්ක වෙයි. මාණවකය, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව සතුන් මැරීමෙන් වැළකීම දීර්ඝායුෂ්ක බව පිණිස හේතු වෙයි.
3.පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් පයින් ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීමෙහි (හිංසා කිරීමෙහි) යෙදෙයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු ආබාධ බහුල වූවෙක් වෙයි. මාණවකය, අතින් පයින් ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීම (හිංසා කිරීම) බොහෝ ආබාධ සහිත වීමට හේතු වෙයි.
4. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් පයින් ගල් මුගුරු , ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා) නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම් උපදින ඒ ඒ තැන දී ඔහු අල්පාබාධ ඇත්තෙක් වෙයි. මාණවකය, අතින් පයින් ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා ) නො කිරීම අල්පාබාධ සහිත වීමට හේතු වෙයි.
5. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන සුලු වූයේ සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළකරයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු දුර්වර්ණ වෙයි. මාණවකය ක්‍රෝධ කරන සුලු ව සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළකිරීම දුර්වර්ණ වීමට හේතු වෙයි.
6. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ නො කරන සුලු වූයේ මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළ නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස් ලොව උපදී නම් උපදින ඒ ඒ තැන දී ඔහු ප්‍රසාදනීය ස්වරූපයෙන් යුතු වෙයි. මාණවකය, ක්‍රෝධ නො කරන සුලු ව මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත් ද්වේෂයත් නො සතුටත් පළ නො කිරීම ප්‍රසාදනීය බව පිණිස හේතු වෙයි.
7.පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊර්ෂ්‍යා කරනසුලු වෙයි. අන් අයගේ ලාභ සත්කාර ගරු බුහුමන් පිළිබඳව ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම් , ඒ ඒ තැන දී ඔහු අල්පේශාක්‍ය යසස් අඩු වූවෙක් වෙයි. මාණවකය, අන් අයගේ ලාභ, සත්කාර ගරුබුහුමන් පිළිබඳ ව ඊර්ෂ්‍යා කිරීම අල්පේශාක්‍ය වීමට හේතු වෙයි.
8. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊර්ෂ්‍යා නො කරනසුලු වෙයි. අන් අයගේ ලාභ සත්කාර ගරුබුහුමන් පිළිබඳ ව ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල)) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නොලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහේශාක්‍ය බොහෝ යසස් ඇතියෙක් වෙයි. මාණවකය , අන්අයගේ ලාභ සත්කාර ගරුබුහුමන් පිළිබඳව ඊර්ෂ්‍යා නො කිරීම මහේශාක්‍ය වීමට හේතු වෙයි.
9. පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ ද්‍රව්‍ය සෙනසුන් පහන් ආදිය (මසුරුකම නිසා) නො දෙනසුලු වෙයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතුකොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු අල්පභෝග ඇත්තෙක් (ධන සම්පත් අඩු වූවෙක්) වෙයි. මාණවකය , පැවිදි උතුමන්ට ආහාර පානාදිය නො දීම හෙවත් මසුරුකම අල්පභෝග බව පිණිස හේතු වෙයි.
10. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ ද්‍රව්‍ය සෙනසුන් පහන් ආදිය දෙන්නේ වෙයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස් ලොව උපදී නම්, උපදී ඒ ඒ තැන දී ඔහු මහාභෝග ඇත්තෙක් (ධන ධාන්‍යාදී බොහෝ සම්පත් ඇත්තෙක්) වෙයි. මාණවකය, පැවිදි උතුමන්ට ආහාර පානාදිය දීම මහාභෝග බව පිණිස හේතු වෙයි.
11. පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතිමානයෙන් (අධික වූ මානයෙන්) තද බවට පත් ව, වැඳීමෙන්, නැඟී සිටීමෙන් අසුන් දීමෙන් මාර්ගයෙහි ඉඩ දීමෙන් ගරුබුහුමන් කිරීමෙන් පූජා කිරීමෙන් සත්කාර කළ යුතු බුදු,පසේබුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට, ගුණවතුන්ට සත්කාර නො කරයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු පහත් කුලයෙහි උපදී. මාණවකය, අතිමානයෙන් තද බවට පත් ව, ගරු කළ යුත්තන්ට ගරු සම්මාන නො කිරීම පහත් කුලයෙහි ඉපදීමට හේතු වෙයි.
12.පින්වත් මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අධික මානයෙන් තද බවක් නැති ව, වැඳීමෙන් නැඟී සිටීමෙන් අසුන් දීමෙන් මාර්ගයෙහි ඉඩ දීමෙන් ගරුබුහුමන් කිරීමෙන් පූජා කිරීමෙන් සත්කාර කළ යුතු බුදු , පසේබුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට , ගුණවතුන්ට සත්කාර කරයි.
මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැනදී ඔහු උසස් කුලයෙහි උපදී. මාණවකය, අධික මානයක් නැති ව තද බවක් නැති ව ගරු කළ යුත්තන්ට ගරු සම්මාන කිරීම උසස් කුලයෙහි ඉපදීමට හේතු වෙයි.
13.පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන් වෙත ගොස් “ ස්වාමීනි , කුසලය, අකුසලය කුමක්ද? වරද නිවරද කුමක්ද? පුරුදු කළ යුතු දේ පුරුදු නො කළ යුතු දේ කුමක්ද? මා විසින් කුමක් කරනු ලබන්නේ එය මාහට බොහෝ කලක් අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේ ද? “ යනුවෙන් නො විමසයි. මෙසේ රැස් කර ගත් ඒ (අකුසල) කර්මය හේතුකොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක් ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්ලොව උපදී නම් , උපදින ඒ ඒ තැන දී ඔහු දුෂ්ප්‍රාඥ (නුවණ අඩු) වෙයි. මාණවකය, පැවිදි උතුමන් වෙත ගොස් ධර්මය - අධර්මය නො විමසීම දුෂ්ප්‍රාඥ බව පිණිස හේතු වෙයි.
14. පින්වත් මාණවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිදි උතුමන් වෙත ගොස් “ ස්වාමීනි, කුසලය අකුසලය කුමක්ද? වරද නිවරද කුමක් ද? පුරුදු කළ යුතු දේ පුරුදු නො කළ යුතු දේ කුමක්ද? මා විසින් කුමක් කරනු ලබන්නේ එය මාහට බොහෝ කලක් අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේද? “ යනුවෙන් ප්‍රශ්න කර විමසයි. මෙසේ රැස් කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහාප්‍රාඥ (බොහෝ නුවණැති) වෙයි. මාණවකය, පැවිදි උතුමන් වෙත ගොස් ධර්මය - අධර්මය විමසීම මහාප්‍රාඥ බව පිණිස හේතු වෙයි.
පින්වත් මාණවකය, මෙලෙසින් සත්ත්වයෝ තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්සකා) ඇත්තාහ. එසේ ම කර්මය දායාද කොට (කම්මදායාද) ඇත්තාහ. කර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහ. කර්මය නෑයා කොට (කම්මබන්ධු) ඇත්තාහ. කර්මය පිළිසරණ කොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් ව උසස් පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතෙකින් දේශනාව සමාප්ත කරන ලදී. මෙම දේශනාව අසා සතුටු වූ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක තෙමේ තෙරුවන් සරණ ගියේ ය.
සාධු! සාධු !! සාධු!!!
(චූළකම්ම විභංග සූත්‍රය)
ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක්වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ මැයි මස 08 වන සිකුරාදා බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment