Labels

Wednesday, May 10, 2017

ලොවට සැනසීමේ මඟ කියාදුන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ

බුදු වීමට පෙර බුදුන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නම් වූහ. පුරාකෘත කුශල ශක්තිය නිසා ඍද්ධිබල සම්පන්න පෞරුෂේය චරිතයක් එම කුමරාට හිමිවිය. තරුණ වියේ දී ධන ධාන්‍යයෙන් ආඪ්‍ය පවුලක සෞන්දර්යාත්මක ජීවිතයක් ගෙවූ අතර ත්‍රිවේදය, ගණිතය, මිනින්දෝරු ශාස්ත්‍රය, තර්කය, න්‍යාය, ලලිත කලා, ජ්‍යොතිෂ, වෛද්‍ය විද්‍යාව ආදී විවිධ ශබ්ද ශාස්ත්‍රයන් පිළිබඳ පරතෙරට පත් විය. ජව සම්පන්න තරුණයෙකු වශයෙන් ද තම මිත්‍රයන් සමඟ සමස්ත ඉන්දියාවේ සොළොස් මහ ජනපදයන්හි හැසිර ලබාගත් ඥාන සම්භාරයක් සහ ජීවිත පරිඥානයක් සතුව සිටි කෙනෙකි.
එසේම යශෝධරා නම් සුරූපී කුමරිය සමඟ විවාහ ජීවිතයක් ගෙවමින් රාහුල නම් පුත් කුමරෙකු ද ලොවට සුජාත කළ පියෙකි. මෙබඳු පසුබිමක සිට සිද්ධාර්ථ කුමරුන් ගිහි ජීවිතය අතහැර යාම විශේෂ සිද්ධියකි. එය රාජකීය කුමරෙකු රජ පෙළපතෙන් සමුගැනීමක් විය. දිව්‍යාංගනාවක බඳු බිරිඳක හා පුත් කුමරෙකු අතහැර යාමේ ශෝකජනක සිදුවීමක් විය. සැප අතහැර දුක පිළිගැනීමේ තීරණාත්මක හා විප්ලවීය ක්‍රියාදාමයක් විය.
මේ නිසා සිද්ධාර්ථ කුමරුන්ගේ අබිනික්මන යනු ලාමක ක්‍රියාවක් නොව අලාමක පුරුෂ ශ්‍රේෂ්ඨයෙකුගේ විශිෂ්ට කැප කිරීමකි. බුද්ධත්වය යනු සාමාන්‍ය ගිහි ජීවිතයට වඩා අසාමාන්‍ය ලෙස චරිත ලක්ෂණ හා ප්‍රඥාව විකසිත කිරීමෙන් ලද උත්තරීතර තත්වයකි. වරක් බුදුන් වහන්සේ තමන් කිසිඳු දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ නොවන බවත් මනුෂ්‍යයෙකු වන බවත් පැවසූහ. මේ නිසා තථාගතයන් වහන්සේ අප විසින් හඳුනාගත යුත්තේ මුනුෂ්‍යයෙකු හැටියටය. එහෙත් උත්තරීතර හා අසාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසය. කිසිඳු දේව බ්‍රහ්ම මාර යක්ෂ යනාදී කිසිවෙකුට අභියෝග කළ නොහැකි තරමේ හැකියාවන් සහිත වූ කෙනෙකි. බුද්ධ යන පාලි පදය සෑදී ඇත්තේ බුධ යන ධාතුවෙනි. එහි එක් තේරුමක් වන්නේ පිබිදීම යන්නයි. සැබැවින්ම නිදා සිටි භාරතීය ජනතාව අවදි කළ තැනැත්තා නම් බුදුරජාණන් වහන්සේය.

උන්වහන්සේ ලොව පහළ වන විට සිය මිනිසුන් ද ඇතුළුව දහස් ගණන් සතුන් මරමින් යාග පවත්වා දියුණුවට මඟ පෙන්වූ ආගමික කොටස්වලින් ද එයම අනුගමනය කරමින් ක්‍රියා කළ ජනයාගෙන් ද සමස්ත භාරතය යුක්ත විය. දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් ජන සමාජය මෙහෙයවනු ලැබිණ. වීමංසන බුද්ධියට සමු දී නිද්‍රාවට වැටී සිට එම ජනයාගේ දෑසේ අවිද්‍යා අන්ධකාරය නමැති කඩතුරාව ඉවත ලූයේ බුදුරජාණන් වහන්සේ විසිනි. අජාසත් වැනි දේශපාලනඥයන්, පොට්ඨපාද වැනි ආගමික නායකයන්, උපාලි ගෘහපති වැනි ආගමික අනුගාමිකයන්, අනාථපිණ්ඩික වැනි ව්‍යාපාරිකයන්, තාලපුට වැනි කලාකරුවන්, අංගුලිමාල වැනි දාමරිකයන්, සච්චක වැනි පණ්ඩිතමානී දේශකයන් පමණක් නොව දුසිරිතෙන් දිවි ගෙවමින් ඊට සුසිරිතෙහි අරුත ආරෝපණය කරමින් සිටි අපමණ ජන කොටස් බුදුරදුන්ගේ මඟ පෙන්වීම නිසා යහ මඟට පිවිසියහ. මේ නිසා ජනයා අවදි කළ උතුමන් වහන්සේ යන අරුතින් ද බුද්ධ යන්න බුදුරජාණන් වහන්සේට අන්වර්ථ නාමයක් වේ. මෙය බෞද්ධ ඇසකින් බලා පැමිණෙන නිගමනයක් නොවේ. ජාති, ආගම්, කුල, ග්‍රෝත්‍රාදී භේද රහිතව එවකට සමස්ත ඉන්දියානු ජනයා විසින් අවිවාදයෙන් පිළිගන්නා ලද්දකි. ඇතැම් අන්‍යාගමිකයන් බුදුන් වහන්සේට ගරු කළේ කවර හේතු නිසා දැයි දීඝනිකායේ සෝණදණ්ඩ සූත්‍රයෙන් මැනවින් දැකගත හැකිය. වරක් සෝණදණ්ඩ නම් ප්‍රකට අන්‍යාගමික ශාස්තෘවරයා මහපාර දිගේ විශාල පිරිස් ගමන් කරනු දුටුවේය. ඊට කරුණු විමසා බලද්දී ඔහු දුටුවේ බුදුන් වහන්සේ පැමිණ ඇති හෙයින් මෙසේ පිරිස් ඇදී යන බවයි.

බුදුරදුන් හමුවීම සඳහා යාමට ඔහුට සිතුණි. ඒ බැව් දැනගත් සෝණදණ්ඩ බමුණාගේ ශ්‍රාවකයෝ කරුණු දක්වමින් කියා සිටියේ සෝණදණ්ඩ බමුණා බුදුරදුන් බැහැ දැකීමට නොයා යුතු බවයි. එහෙත් එය නො පිළිගත් සෝණදණ්ඩ බුමුණා තමා බුදුරදුන් බැහැ දැකීමට යා යුත්තේ මේ මේ කරුණු නිසා යැයි අවධාරණය කළේය. ඔහු බුදුරදුන් සතු විශේෂ කරුණු කිහිපයක් දුටුයේය. ඉන් පළමුවැන්න බුදුන් වහන්සේ මව්පිය දෙපසින්ම සුජාත කෙනෙකු බවය. දෙවැන්න සත් මුතු පරපුර දක්වා පිරිසුදු කළළ ඇත්තෙකි. තෙවැන්න ජාති කුල ගෝත්‍ර සම්බන්ධයෙන් අපවාද නො ලද්දෙකි. සිවුවැන්න විශාල ඥාති පිරිසක් ඇත්තෙකි. පස්වැන්න ධන ධාන්‍ය සම්පත්තියෙන් ආඪ්‍ය කෙනෙකි. සයවැන්න භද්‍ර යෞවන අවදියෙහි සිටින කෙනෙකි. සත්වැන්න අනුව උන්වහන්සේ දැකීමට කිසිදු දෝෂයක් නැති තරම් රූප සෞන්දර්යයෙන් සමන්විත කෙනෙකි.

 අටවැන්න ආචාරශීලී කෙනෙකි නවවැන්න අනුව උගතෙකි. දසවැනි කරුණ අනුව බුදුරජාණන් වහන්සේ යම් දෙසක වෙසෙත් නම් එහි වෙසෙන අමනුෂ්‍යයන් මිනිසුන්ට හිංසා නො කිරීමට තරම් උන්වහන්සේ බලගතු කෙනෙකු වන බවයි. ඉහත සඳහන් කරුණු අනුව බුදුරදුන් තුළ පැවතියේ අපූර්ව කායික හා මානසික පෞරුෂයක් බව පැහැදිලිය. අනෙක් අතින් විද්‍යාව අතින් ලෝකය දියුණුවත්ම බුදු වදන අඳුරු කඩතුරාවන්ගෙන් නිරාවරණය වී බැබළීම වැළැක්විය නො හැකිය. බුදුදහම යනු විශ්ව සත්‍යය පිළිබඳ අනාවරණයක් වීම ඊට හේතුවයි. බුද්ධ ධර්මය පුද්ගල කේන්ද්‍රීය වූවක් නොවේ. බුදුන් වහන්සේ ධර්මයේ නායකත්වය ධර්මයටම පැවරූ උතුමෙකි.
එය කිසියම් රටක පාලකයෙකු අනුව නොව ව්‍යවස්ථාව අනුව රට පාලනය කිරීමක් බඳුය. බුදුන් වහන්සේගේ දූරදර්ශීභාවය තේරුම් ගැනීමට එය පමණක් වුවද ප්‍රමාණවත්ය. වර්තමානය වන විට විශේෂයෙන් යුරෝපා රටවල බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේත් ලෝක නායකයින් බුද්ධිමතුන් හා නිදහස් මතධාරීන් බුදුදහම වැළඳ ගන්නේත් බුදුන් වහන්සේ නමැති ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරයාගේ ප්‍රතිපත්තිය හා ඉගැන්වීම දිනෙන් දින සනාථ වන බැවිනි. තවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යනු ලෝකයේ පවතින මහා කරුණාවේ සහ මහා ප්‍රඥාවේ අග්‍රගණ්‍ය ප්‍රතිමූර්තිය වේ. උන්වහන්සේ සතුව පැවති මහා ප්‍රඥාව ඉතා ප්‍රකටය. තථාගත දේශනාවෙහි ඇති එක අක්ෂරයක පවා ගැඹුරු දාර්ශනික අර්ථයක් ඇත. ඊට සමාන දේශනාවක් ලෝකයේ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් සිදු කොට නැත. තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේ එකී මහා ප්‍රඥාව මහා කරුණාවත් සමඟ බැඳී තිබීමයි. ලෝකයේ මහා කරුණාවක් සහිත පුද්ගලයෙකුට මහා ප්‍රඥාවක් හිමි වේ නම් එය ලෝකයාගේ කෙතරම් භාග්‍යයක් දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත.

ශාස්තෘවරුන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රගණ්‍ය වන ලක්ෂණ රාශියක් දක්නට ලැබේ. එයිනුදු විශේෂ කරුණක් වන්නේ යමෙක් තමන්ට අපහාස කළ ද එහි දී උරණ නොවන ලෙසත් ඊට හේතු විමසා බැලීමට නින්දා අපහාස කරන්නන්ට අවස්ථාව සලසා දෙන ලෙසටත් තම ශ්‍රාවකයන් දැනුවත් කොට තිබීම නිසාය. මෙම උත්තුංගගුණය වඩාත් අර්ථවත් ලෙස වටහා ගත හැකි වන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් වෙනත් ආගම් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය විමසා බැලීමෙනි. බුද්ධ ධර්මය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ පිළිගැනීම වූයේ එය විවෘත වන තරමට බබළන බවය. මේ නිසා පිරිසුදු බුද්ධ ධර්මයත්, සංඝය රත්නයත් ලෝකයේ පවතින තුරු එහි පැවැත්ම හෝ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසි තැනක හෝ කිසි කලෙක ඊට අභියෝගයක් නොමැත. එබැවින් බුදුදහම ආරක්ෂා කිරීම විෂයෙහි අප විසින් විශේෂයෙන් යමක් කළ යුතු නැත. කළයුතු එකම දෙය වන්නේ තථාගතයන් වහන්සේගේ අනුශාසනය අනුව පිළිවෙත් රැකීම පමණකි. සියලු ආකාරයේ පව් නො කිරීමත්, කුසල් කිරීමත් තම සිත පිරිසුදු කර ගැනීමත් සමස්ත බුද්ධානුශාසනය හෙවත් බුදුදහම බව බුදුන් වහන්සේ විසින්ම දේශනා කොට ඇත. එබැවින් ගෞතම තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ යනු ප්‍රඥා සාගරයකි. කරුණා නිධානයකි.

සංසාරයේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිත පාරමිතා ශක්තීන්ගෙන් පහළ වූ පුරුෂෝත්තමයෙකි. බුදුරදුන් සැබෑ ලෙස දැකිය හැකි වන්නේ උන්වහන්සේ විසින් දේශිත ධර්මයෙන්මය. යො ධම්මං පස්සති සො මං පස්සති යනුවෙන් වදාළේ එහෙයිනි. විද්‍යාවෙන් දියුණුව කරා පිය මනින ලෝකය රාග ද්වේෂ මෝහයන්ගෙන් දැවෙන අයුරු බලන්න. බුදුන් වහන්සේ එකී ලෝකය තුළ නො දැවී සිටිමේ මාවත හෙළි පෙහෙළි කර දුන් සේක. එබැවින් එකී බුදුරදුන් පිළිබඳ ඔබ තුළ ඇතිවන භක්තිය ඔබ ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් පිරිපුන් පුරුෂයෙකු බවට පත් කරවනු ඇත.


කැලණිය විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය, 
වෑඋඩ, බුජස්ලෙන රාජමහා විහාරවාසී,
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වෙසක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 10 වන බදාදා වන  බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment