Labels

Saturday, May 13, 2017

සීලය අනවශ්‍යද?

අහසින් කඩා වැටුණා සේ පැමිණ සීලය අවැසි නැත, සීලයෙන් තොරව නිවන් ලැබේය, එය කරන්නේ මෙසේය කියා අලුත් බණ කියන ශ්‍රමණ වේශධාරී පිරිසක්‌ අද සමාජයේ අන්ධ භක්‌තියෙන් හෙබි නාමික බෞද්ධයින් අසරණ කරනු පෙනෙයි. ඔවුනට අනුව සීලය යනු නිඝන්ට වතකි. බුද්ධ දේශනාවෙහි සීලය නොමැත. සිල් රැකීම අනවශ්‍ය දුක්‌ විඳීමකි. එසේම සීලයෙන් තොරව ක්‌ෂණික නිවන් මාර්ග පනවන ඔවුන් කා බී විනෝද වන ලෙස අවවාද අනුශාසනා සිදු කරනු ද පෙනෙයි.
එකී පුද්ගලයෝ බුද්ධ දේශනාවෙන් සුත්‍ර පාඨයක්‌ පමණක්‌ උපුටා එහි සෙසු හරය හැර දමා එකී සුත්‍ර පාඨය ස්‌වකීය විකෘති අරුතට අනුව පද පෙරලමින් අනුගාමිකයින් මිත්‍යාවෙන් අන්ධ කරයි. අනුගාමිකයෝද උන් හිටි තැන් අමතක වී මාර්ගඵලාධිගමය කර අරී සවුවෝ වූ බව දිවුරයි.

මහා සුපින ජාතකය සිහි වන්නේ මෙවිටය.

කවරක්‌ නමුත් මෙකී අඳ බාලයෝ පවසන සීලය අවැසි නැත යන ප්‍රකාශයට පිළිතුරු සැපයිය යුතුය. මේ එකී ප්‍රකාශයන්ට පිළිතුරය. විමසත්වා.

සීලය. 

සැබැවින්ම සීලය යනු කවරක්‌ද? 

''සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඤාණං'' අසා සංවර වීමෙහි ප්‍රඥාව සීලමය ඤාණයයි. (පටිසම්භිදාමග්ග, ඤාණ කථා)

එහි අටුවා අර්ථ මෙසේයි.

''සීලමයේ ඤාණන්ති එත්ථ සීලන්ති සීලනට්‌ඨේන සීලං. කිමිදං සීලනං නාම. සමාධානං වා කායකම්මාදීනං සුසීල්‍යවසේන අවිප්පකිණ්‌ණාති අත්ථෝ. උපධාරණං වා කුසලානං ධම්මානං පතිට්‌ඨාවසේන ආධාරභාවෝති අත්ථෝ''

සීලමයේ ඤාණය යන එහි සීලය යනු සීලන අර්ථයෙන් සීල නම් වේ. මේ සීලනය නම් කිම? සුසීල්‍ය වශයෙන් නොවිසිරීම් ලෙස කායකර්මාදීන්ගේ සමාධානය හෝ ප්‍රතිෂ්ඨාභාවයෙන් ආධාර ලෙස කුසලධර්මයන්ගේ උපධාරණය හෝ යන අර්ථයි.

එනම් සීලය යනු කාය කර්මයන්ගේ සිල්වත් බව හෙවත් කායික අනාචාර ආදියෙන් වෙන් වීම ලෙස සමාධානය හෝ කුසල කර්මයන්ට උපකාර ආධාර වශයෙන් දරා ගැනීම හෝ වෙයි. සරලව පවසනවා නම් කය වචනය දෙකේ සංවරය හෝ කුසල කර්මයන්ගේ දරාගැනීම හෝ වේ.

ඒ අනුව සීලය යනු අකුසලයෙන් මුදවා කුසලය දරාගැනීමට උපකාර ධර්මයකි.

සීලයේ ආනිසංස කවරේද?

''අවිප්පටිසාරත්ථානි ඛෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසානි.'' 

(අ.නි, ද නි, ආනිසංස වග්ග, කිමත්ථිය සුත්ත)

ආනන්දය කුසල සීලයෝ අවිපිලිසර බව අර්ථ කොට අවිපිලිසර බව ආනිසංස කොට පවතී. 

එනම් ඉහත සේ සමාධාන හා උපධානාර්ථය සිදු කරන සීලයෝ ඒ හේතුවෙන්ම අවිපිලිසර බව අර්ථ කොට පවතියි. කෙසේද යත්,

කාය කර්මයන්ගේ වාග් කර්මයන්ගේ සංවරය පවතී නම් එතුළින් අකුසල් සිදුව නොමැත. අකුසල් සිදුව නොමැත්තේ නම් කුක්‌කුච්චය නොහොත් කළ පවුකම් පිළිබඳ හා නොකළ පිංකම් පිළිබඳ පසුතැවිල්ල ඇතිවීමට ඉඩ නොමැත. කුක්‌කුච්චය නොමැති තැන සිත විසිරෙන්නේ නැත. එලෙසින් කය වචන දෙකේ සංවරය සිතේ නොවිසිරීම අර්ථ කොට පවතී.

එසේම කුසල කර්මයන් දරා ගනී නම් එකී කුසල ධර්මයන්ගේ ස්‌වභාවය වූ අවිපිලිසර බව ස්‌වභාවයෙන්ම ලැබෙන බැවින් සීලය අවිපිලිසර බව අර්ථ කොට පවතී.

එසේම තවද සීලානිසංස මෙසේ පවතී.

''පඤ්චිමේ ගහපතයෝ ආනිසංසා සීලවතෝ සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අප්පමාදාධිකරණං මහන්තං භෝගක්‌ඛන්ධං අධිගච්චති. -පෙ- කල්‍යාණෝ කිත්ති සද්දෝ අබ්භුග්ගච්ඡති. -පෙ- විසාරදෝ උපසංකමති -පෙ- අසම්මූල්හෝ කාලං කරෝති -පෙ- සුගතිං සග්ගං ලෝකං උප්පඡ්ජති.'' 

(දී.නි, මහාපරිනිබ්බාන සුත්‍රය)

ගෘහපතිවරුනි, සිල්වතාගේ සීල සම්පත්තිය නිසා මේ ආනිසංස පස ඇත්තේය. කවර පසක්‌ද? ගෘහපතියනි සිල්වත් වූ සීලසම්පන්නයා අප්‍රමාදය හේතුවෙන් මහත් භෝගස්‌කන්ධයක්‌ රැස්‌කර ගනී. 

කල්‍යාණ කීර්ති ශබ්ධයක්‌ නැගෙන්නේය. ක්‌ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ පිරිස්‌ වෙත විශාරදව එළබෙන්නේය. නොමුලාව කලුරිය කරන්නේය. මරණින් මතු සුගතියෙහි උපදින්නේය.

මෙසේ සීලය යනු මේ ආදී මෙලොව පරලොව දෙකෙහිම ආනිසංස සහිත වුවකි. 

එය නිවනට උපනිශ්‍රය වන්නේද? නොවන්නේද?

සීලය නිවනට නියතවම උපනිශ්‍රය වන්නේමය. කෙසේද යත්,

''සීලේ පතිට්‌ඨාය නරෝ සපඤ්ඤොa - චිත්තං පඤ්ඤඤ්ච භාවයං

ආතාපි නිපකො භික්‌ඛු - සෝ ඉමං විජටයේ ජටං'' 

(සං. නි, සගාථ වර්ගය, ජටා සුත්‍රය)

චතුපාරිශුද්ධි සීලයෙහි පිහිටියා වූ කර්මජ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාවෙන් යුතු වූ සමාධිය හා විදර්ශනාව වඩන කෙලෙස්‌ තවන විරියෙන් යුතු පාරිහාරිය ප්‍රඥාවෙන් යුතු පුද්ගලයා මෙකී සසර නමැති ගැටය ලිහණු ලැබෙයි, 

යනු හෙයින් සීලය තුල පිහිටියාවූ ම තැනැත්තා නිවන දක්‌නා බැවින් සීලය නිවනට නියතවම උපනිශ්‍රය වේ.

එය සිදු වන්නේ කෙසේද?

මෙසේය.

සීලය යනු කය වචනයන් සංවර කර ගැනීම මෙන්ම කුසල් දහම් දරා ගැනීම බව ඉහත දක්‌වන ලද අතර එහි ආනිසංස ලෙස අවිපිලිසර බවද ලැබෙන බව දක්‌වන ලදී. ඒ ඔස්‌සේ නිවන ශාක්‌ෂාත් වන අකාරය විමසා බලමු.

''කිමත්ථියානි, භන්තෙ'' කුසලානි සීලානි කිමානිසංසානී''ති? 

ස්‌වාමීනි, කුසල සීලයන් කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''අවිප්පටිසාරත්ථානි ඛො'' ආනන්ද ''කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසානී''ති. 

ආනන්දය, කුසල සීලයෝ වනාහි අවිපිලිසරබව අර්ථ කොට අවිපිලිසරබව ආනිසංස කොට පවතී.

පාතිමොක්‌ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය යන චතු පාරිශුද්ධි සීලය පුරණු ලබන්නා වූ පුද්ගලයා හට එකී සීලය මගින් ඕලාරික අකුසල් බැහැර කරවන බැවින් සිතෙහි විසිරීමක්‌ නොපවතී. කෙසේද යත් සිත යම් අකුසල අරමුණක්‌ කරා දුවන්නේ නම් උද්ධච්ච කුක්‌කුච්චයට බර වේ. උද්දච්ච කුක්‌කුච්චයට බර සිත ස්‌වභාවයෙන් විසිරුණු සිතකි. 

එනමුත් සිතට අරමුණු වන අකුසලයක්‌ නොමැති නම්, සීලය මගින් කායික වාචසික අනාචාර දුරු කරවා තිබේ නම් එකී සිත අකුසලයෙන් බැහැර අන් අරමුණක්‌ ගනී. අකුසලයක්‌ නොමැති නම් හා සීලය තිබේ නම් සිත බර වන්නේ කුසලයටයි. සිත කුසලයට නැඹුරු වන කල ස්‌වභාවයෙන්ම තැන්පත් වේ. 

එය සීලයෙහි මූලික ආනිසංසය වේ.

''අවිප්පටිසාරො පන, භන්තෙ, කිමත්ථියො කිමානිසංසො''ති? 

ස්‌වාමීනි, අවිපිලිසරබව කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''අවිප්පටිසාරො ඛො, ආනන්ද,පාමොඡ්ජත්ථො පාමොඡ්ජානිසංසො''ති 

ආනන්දය, අවිපිලිසරබව වනාහි ප්‍රමෝදය අර්ථ කොට පවතී. ප්‍රමෝදය ආනිසංස කොට පවතී.

අකුසල් බැහැර වූ හා කුසලයට නැඹුරු වීම හේතුවෙන් නොවිසුරුණු සිත අනවඡ්ජ කර්ම ඇති බව හේතුවෙන් හා ඒවා සිහිපත් වීම හේතුවෙන් ප්‍රමෝදයට නැඹුරු වේ. 

''පාමොඡ්ජං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංස්‌'න්ති? 

ස්‌වාමීනි, ප්‍රමෝදය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''පාමොඡ්ජං ඛො, ආනන්ද, පීතත්ථං පීතානිසංස්‌'න්ති.

ආනන්දය, ප්‍රමෝදය වනාහි ප්‍රීතිය අර්ථ කොට පවතී. ප්‍රීතිය ආනිසංස කොට පවතී.

ප්‍රමෝදමත් සිත නිතර කුසලයෝ අරමුණු කරන බැවින් ප්‍රීතියට නැඹුරු වේ.

''පීති පන, භන්තෙ, කිමත්îයා කිමානිසංසා''ති? 

ස්‌වාමීනි, ප්‍රීතිය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''පීති ඛො, ආනන්ද, පස්‌සද්ධත්ථා පස්‌සද්ධානිසංසා''ති.

ආනන්දය, ප්‍රීතිය වනාහි පස්‌සද්ධිය අර්ථ කොට පවතී. පස්‌සද්ධිය ආනිසංස කොට පවතී.

කුසල සිතේ ඇති ප්‍රීතිය මගින් ව්‍යාපාද නීවරණය දුරු කරනු ලැබේ. එය ප්‍රථම ධ්‍යාන අංගයක්‌ බැවිනි. එසේ ව්‍යාපාදය දුරු වූ සිත සැහැල්ලු සිතකි. එය කායික මානසික දෙපසට ලැබෙන සැහැල්ලුවකි.

''පස්‌සද්ධි පන, භන්තෙ, කිමත්ථියා කිමානිසංසා''ති? 

ස්‌වාමීනි, පස්‌සද්ධිය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''පස්‌සද්ධි ඛො, ආනන්ද, සුඛත්ථා සුඛානිසංසා''ති.

ආනන්දය, පස්‌සද්ධිය වනාහි සුඛය අර්ථ කොට පවතී. සුඛය ආනිසංස කොට පවතී.

කායික මානසික සැහැල්ලු බව සැපය පිජිස පවතී. කුසල් සිතේ ඇතිවන සුඛ වේදනාව පහල කරවීමට එකී කායික මානසික සැහැල්ලුව ප්‍රත්‍ය වේ.

''සුඛං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංස්‌'න්ති? 

ස්‌වාමීනි, සුඛය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''සුඛං ඛො, ආනන්ද, සමාධත්ථං සමාධානිසංස්‌'න්ති.

ආනන්දය, සුඛය වනාහි සමාධිය අර්ථ කොට පවතී. සමාධිය ආනිසංස කොට පවතී.

තවද ප්‍රථම ධ්‍යාන අංගයක්‌ වන සුඛය මගින් උද්ධච්ච නීවරණය දුරු කරන්නේ වෙයි. එසේම එකී සීලය මෙනෙහි කිරීම යන විතර්ක විචාර නිසා ථීනමිද්ධ, විචිකිච්චා නීවරණයන් ද දුරු වේ. එකල සිතේ පවතින එකග්ගතාවය නිසා එනම් සීලය නමැති කුසල අරමුණෙහි එකඟ බව නිසා කාමච්ඡන්ද නීවරණයද දුරු වේ. 

මෙසේ පංච නීවරණයන් ම දුරු වන කල සිත ස්‌වභාවයෙන්ම සමාධිය භජනය කරන්නේ වෙයි.

''සමාධි පන, භන්තෙ, කිමත්ජියො කිමානිසංසො''ති?

ස්‌වාමීනි, සමාධිය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

සමාධි ඛො, ආනන්ද, යථාභූතඤාණදස්‌සනත්ථො යථාභූත ඤාණදස්‌සනානිසංසො''ති.

ආනන්දය, සමාධිය වනාහි යථාභූතඤාණදස්‌සනය අර්ථ කොට පවතී. යථාභූතඤාණදස්‌සනය ආනිසංස කොට පවතී.

සමාධිමත් සිතේ නීවරණාදී උපක්‌ලෙශයෝ නොමැති බව හේතුවෙන් යථාර්ථය මුවා වීමක්‌ සිදු නොවේ. එබැවින් යථා ස්‌වභාවය ප්‍රකට කිරීම සමාධියේ අර්ථය වන්නේ වෙයි. ආනිසංසය වන්නේ වෙයි.

''යථාභූතඤාණදස්‌සනං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංස්‌'න්ති? 

ස්‌වාමීනි, යථාභූතඤාණදස්‌සනය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''යථාභූතඤාණදස්‌සනං ඛො, 

ආනන්ද, නිබ්බිදාවිරාගත්ථං නිබ්බිදාවිරාගානිසංස්‌'න්ති.

ආනන්දය, යථාභූතඤාණදස්‌සනය වනාහි නිබ්බිදාවිරාගය අර්ථ කොට පවතී. නිබ්බිදාවිරාගය ආනිසංස කොට පවතී.

සර්ව ලෝකය අනිත්‍ය දුක්‌ඛ අනත්ත යන යථාර්තය දුටු පුද්ගලයා හට එකී ලෝකය පිලිබඳ ඇල්මක්‌ හට නොගනී. එකී නොඇලෙන ස්‌වභාවය නිබ්බිදාවයි.

''නිබ්බිදාවිරාගො පන, භන්තෙ කිමත්ථියො කිමානිසංසො''ති?

ස්‌වාමීනි, නිබ්බිදාවිරාගය කුමක්‌ අර්ථ කොට පවතීද? කුමක්‌ ආනිසංස කොට පවතීද?

''නිබ්බිදාවිරාගො ඛො, ආනන්ද, විමුත්තිඤාණදස්‌සනත්ථො මුක්‌තිඤාණදස්‌සනානිසංසො''

ආනන්දය, නිබ්බිදා විරාගය වනාහි විමුත්තිඤාණදස්‌සනය අර්ථ කොට පවතී. විමුක්‌තිඤාණදස්‌සනය ආනිසංස කොට පවතී. නොඇලෙන තැනැත්තා දුකින් නිදහස්‌ වෙයි. එකල විමුක්‌තියත් විමුක්‌තිය ලැබුවේ යන ඤාණ දර්ශනයත් පහළ වේ. මෙසේ සීලය අනුපිළිවෙලින් නිවන ළඟා කර දෙන්නේ වෙයි. ඉදින් සීලය අනවශ්‍ය යෑයි කියනා පුද්ගලයෝ මෝඝ පුරුෂයෝ හැර අන් කවරහුද?



පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි

2017 අප්‍රේල් 10 වැනිදා සඳුදා දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment