Labels

Tuesday, May 9, 2017

රාත්‍රියට පිරිත් දැමීම හොඳ ද?නරක ද?

මෘදු වූත්, සුමට වූත්, සුමිහිරි වූත් වදන් තුළින් සහනදායී සාමකාමී වටපිටාවක් ගොඩ නැඟිය හැකියි. එසේ නම් ගැඹුරු වූ මානසික භක්තිය තුළින් ගොඩ නැඟෙන සත්‍ය වූත්, හරවත් වූත් වාග් මාලාවකට ඇත්තේ එයටත් වඩා අපරිමිත වූ බලයකි.
 ‘පිරිත’ නමින් හැඳින්වෙන්නේ ද සත්‍ය වූ ගුණ සමුදායක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීම තුළින් කරනු ලබන ආශීර්වාද දේශනයකි. මේ නිසාම පිරිත තුළ ඇත්තේ අසීමිත බලයකි. ශක්තියකි.
ලෝකවාසී බෞද්ධයෝ දුකේදීත් සැපේදීත් තෙරුවන් පිහිට පැතීමට කවදත් හුරු පුරුදු වී සිටිති. තිසරණ සරණ මිස ඔවුන්ට අන් සරණක් නැත. සියලු දුක්, සියලු රෝග, සියලු බිය දුරු කොට සියලු සම්පත් ළඟාකර ගැනීමේ ශක්තියෙන් යුත් පිරිත නිරන්තරව භාවිත කිරීමට බෞද්ධයෝ ප්‍රිය කරති. මේ නිසාම පිරිත පිළිබඳ අසීමිත භක්තියක් හා විශ්වාසයක් ඔවුන් තුළ ගොඩනැඟී ඇත.
මේ විශ්වාසය, භක්තිය තවදුරටත් පවත්වා ගැනීම උදෙසාත්, ඇතැමුන් අතර පිරිත්වලට සවන්දීම කෙරෙහි පවත්නා මිථ්‍යා මත දුරුකරලීම උදෙසාත් මේ දහම් දේශනාව පූජ්‍යපාද කැටවල හේමාලෝක හිමිපාණන් වහන්සේගෙනි.
සීල, සමාධි, ප්‍රඥාවන්ගෙන් දෙවියන්, බඹුන් සහ මිනිසුන් ඉක්ම වූ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්‍යයෙන් ද, අර්ථයෙන් ද බුද්ධ වචනය මඟින් කෙරෙන ආශීර්වාදය පිරිතයි. දේශක තෙමේ සිල්වත්ව, ගුණවත්ව හිඳිමින් දේශනා කරන මේ මහානුබල පිරිත දරුවනේ ඔබලත් සවන් දිය යුත්තේ ශ්‍රද්ධා, ශීල ගුණ පෙරදැරි කොටගෙනයි. එවන් පිරිත් දේශනයකින් සහ පිරිත් සවන්දීමකින් ලෙඩ දුක්, කරදර පීඩා දුරුකොට ආරක්ෂාවත් අභිවෘද්ධියත් උදාකරගත හැකි වේ. පිරිතේ බලය එක් චන්ද්‍ර සූර්ය යුග්මයකින් ආලෝකවත් වන එක් චක්‍රාවාටයකට පමණක් නොව අනන්ත චක්‍රාවාටයන්ටම පතුරවා ලිය හැකියි. පින්වන්ත දරුවන්ට දැන් අවබෝධ වෙනවා නේද පිරිතෙහි බලය කෙතරම් ද කියා.
ඒත් පුතේ බලන්න වර්තමානයේ ඔබ පිරිත් දේශනාවලට සවන් දෙන ක්‍රමය හරි ද කියා. ඔබ හැම අවිවේකී ජීවන රටාවක් ගත කරන බව ඇත්තයි. ඉන්නා තත්ත්වයට වඩා අඩියක් හෝ වැඩි පියවරක් තබන්නට පුදුමාකාර වෙහෙසක් දරන්නේ. ඒ තත්ත්වය උඩ ඇතැමුන්ට පිරිත් සජ්ඣායනාවකට සවන් දෙන්න කාලය නැති විය හැකියි. ඇතැම් විට එවන් දරුවෝ තමයි ගුවන් විදුලි මාධ්‍ය මඟින් රාත්‍රිය පහන් වනතුරු ප්‍රචාරය කරන පිරිත් දේශනා ශ්‍රවණය කිරීමට යොමු වී ඇත්තේ. එහෙත් සත්‍ය වශයෙන්ම පුතේ ඔබ පිරිත් ශ්‍රවණය කරනවාද? ගුවන් විදුලිය දමා ඔබ සුව නින්දක පසුවන බව නම් නොඅනුමානයි. මෙහෙම අහන පිරිතක නම් නියමිත ප්‍රතිඵලයක් අත්විඳිය නොහැකියි. දුවේ පුතේ පිරිතට ගරුත්වයක් ඇති තරමටයි ඔබට ඉන් යහපතක් උදා වනුයේ.
පිරිතක ආනිශංස පිහිටන ලෙස ඔබට සවන් දිය හැකි ක්‍රම දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ ශබ්ද තරංග. මාධ්‍යයක් ඔස්සේ කෙරෙනුයේ මෙයයි. මේ සඳහා සවන් දෙන ඔබට යමිකිසි ප්‍රතිඵලයක් ලැබේ. එහෙත් දෙවැනි කාරණාව වන ආධ්‍යාත්මිකව පිරිත් දේශනයක් කිරීම හා සවන්දීම මඟින් ලැබෙන පින බලවත්. නිවෙසේ සිදු කෙරෙන සර්වරාත්‍රික පිරිත් දේශනාවක් තුළින් දුවලට පුතාලට වඩාත් යහපතක් සිදු වන්නේ එබැවිනි.
එවැනි සර්වරාත්‍රික පිරිතකදී සිදුකරන වත් පිළිවෙත් සමුදායක් තිබෙනවා. පසුගියදා මෙවැනි පිරිත් පිංකමකට මම සහභාගි වුණා. ගිහියන් හාරසීයක් විතර මුලින් නිවෙසේ ගැවසුණා. රාත්‍රී ආහාරයෙන් පසුව ඔවුන්ගෙන් භාගයයි නිවෙසේ රැඳුණේ. මෙහෙම පිරිත් දේශනා කරගෙන යනකොට මැදියම් රැයේදී වයෝවෘද්ධ උපාසක අම්මලා දහයක් පහළොවක් විතරයි ඉතිරි වුණේ. මෙහෙම කියන පිරිතක කිසිම තේරුමක් නැති බව හඟවන්න මමත් පිරිත් දේශනය නතර කළා. ඔන්න නිවෙස අයිති මහත්තයා ඇවිත් ඇයි හාමුදුරුවනේ මොකද වුණේ සද්දෙ නැති නිසයි බලන්න ආවේ කිව්වා. ඒ මහත්තයා ආව අයට වෙන සංග්‍රහයක් දෙමින් ඉඳලා තියෙන බව මට තේරුණා.
බලන්න, අද සමාජයට උදාවෙලා තියෙන තත්ත්වය. සර්වරාත්‍රික පිරිත් පිංකම, මඟුල් ගෙදරක් කරගෙන අවසන්. තවත් පිරිසක් පෙර කී පරිදි රාත්‍රිය පහන් වනතුරු ගුවන් විදුලියෙන් හෝ සීඩී පටයකින් පිරිත් දමා සුව නින්දක පසු වෙනවා. මේ පිරිත් අහන ක්‍රම දෙකම වැරැදියි.
අද පටන්වත් නිවැරැදි වත් පිළිවෙත් ඇතුව පිරිත් අහන්න පුරුදු වෙන්න. පිරිත් ඇසෙන ඔබේ නිවෙසේ පරිසරය ප්‍රියමනාප, පිරිසුදු විය යුතුයි. අපේ අයගේ නිවෙස්වල කුස්සියේ කෑම කාමරේ මස් මාළු. මැද සාලේ මත්පැන්. මේ ඔක්කොම එක්ක රෑ එළිවෙනකම් පිරිත් දානවා. මෙහෙම අහන පිරිතෙන් ගුණ පිහිටන්නේ නැහැ. පිරිහෙනවා මිස. දරුවනේ ගුවන් විදුලියෙන් හෝ පිරිත් ශ්‍රවණය කරන විට ඔබත් පිරිත් කියන්න. බුදු පහන දල්වා මල් පූජාකර පිරිත් ශබ්ද නඟා සජ්ඣායනා කරන්න. හැකි නම් පිරිත් සූත්‍රවල සිංහල තේරුම සොයා දැනගන්න. එවිට ඔබටම සත්‍ය ක්‍රියාවක් ලෙසින් පිරිත් සජ්ඣායනා කළ හැකියි. අපේ රට මෙවැනි තත්ත්වයකට අලුත් විය යුතුයි.
මේ ආකාරයට පිරිතේ ආනුභාවය හා ආරක්ෂාව සාකල්‍යයෙන්ම ඉටුකර ගැනීම පිණිස පිරිත් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත යුතුයි. පිරිත හුදු දේශනාවක් පමණක්ම නොවේ. එහි අරමුණු සාධනය උදෙසා පිරිතේ ජීවමානත්වය ගොඩනඟා ගත යුතුයි. මේ සඳහා පිරිත් සූත්‍රයන්හි අර්ථය, එහි පරමාර්ථය, ඒ සඳහා දක්වන මානසික සම්බන්ධය යන සෑම එකක් කෙරෙහිම ඔබ අවදියෙන් සිහියෙන් යුතුව සැබෑ සත්‍ය ක්‍රියාවක ස්වරූපය ගොඩ නඟා ගත යුතුය. සත්‍ය වශයෙන්ම පිරිතක් කියන්නේ මමෝ විද්‍යාත්මක පදනමක් සහිත ආශීර්වාදයකි.
සිංහල බෞද්ධයන් තුළ පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත වූ ගෞරවයකි. විශ්වාසයකි. එහෙත් පිරිත් දේශනයේ අග භාගයේ සජ්ඣායනය කරන ආටානාටිය සූත්‍රය නිවෙසක කියැවෙන්නට නුසුදුසු යැයි ඇතැමුන් අතර මිථ්‍යා විශ්වාසයක් ගොඩ නැඟී ඇත. එහෙත් එය මුළුමනින්ම අසත්‍යයකි. අපේ බුදුරජාණන් වහන්සේ අප්‍රිය වූ අමනුෂ්‍යයන්ට ද කාරුණික වූහ. කාටත් සම සිතින් පුණ්‍යානුමෝදනා කළහ. ආටානාටිය සූත්‍රයෙනුත් සිදු කරන්නේ එයයි. මේ සූත්‍රය දස ලක්ෂ සීයක් තරම් වූ ලෝක පද්ධතීන් කෙරෙහි බලපෑමක් කළ හැකිය.
භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා යන සිවුවනක් පිරිසට අමනුෂ්‍යාදීන්ගෙන් පැමිණෙන උවදුරු වළක්වා ගැනීමට මේ ආටානාටිය සූත්‍රය පිහිට වේ. එබැවින් ඔබ මේ කෙරෙහි කිසිදු බියක් උපදවා ගත යුතු නොවේ. මෙයින් ඔබට යහපතක්මයි සිදු වෙනුයේ.
ආටානාටිය ද ඇතුළු පිරිතේ බලය කෙබඳු ද කිවහොත් රුවන්වැලි මහා සෑයේ ධාතු නිධාමෝත්සවය අවස්ථාවේදී මහා සඟරුවන මුළු රෑ පිරිත් ධර්මය දේශනා කරන ලදී. එසේම පිරිතේ බලය දුර්භික්ෂය සමනය කරන්නට තරම් ප්‍රබලය. පිරිත් සජ්ඣායනයේදී ආධ්‍යාත්මික, බාහිර පාරිශුද්ධිය සේම අර්ථ ගෞරවයත් ශබ්ද ගෞරවයත් ආරක්ෂා කරගන්න මතක තබා ගන්න.
ඔබට එදිනෙදා කටයුතුවලදී භාවනා මාර්ගයක් ලෙසත් පිරිත භාවිත කරන්නට හැකියි. අසහනයෙන් බියෙන් විපතෙන් තොර සාමකාමී ආධ්‍යාත්මික රටක් ගොඩ නැඟීමට පිරිතෙන් මහත් ආශීර්වාදයක් ලබා ගත හැකියි.
  දහම් දෙසුම ගම්පහ මිරිස්වත්ත හෙට්ටියාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති අති පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ ගෙනි
2017.05.8 දින තරුණි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment