Labels

Monday, May 8, 2017

හදවතට තෙතමනයක්.

අන්‍යෝන්‍ය  සුහදත්වය, සාමය, සමගිය දුරාතීතයේ සිටම අපේ සමාජයට නුපුරුදු අත්දැකීමක් නොවීය. එහි කිසිවෙක් සිය යුතුකම්, වගකීම් පැහැර නොහළහ. වහලයට පොල් අතු සෙවිළි කිරීමේ සිට ගොයම් කයියට, හේනට, කුඹුරට, කමතට, මංගල්‍යයට, අවමංගල්‍යයට, ගමේ පන්සලේ පිරිතට, පින්කමට ආදී මේ කවර කටයුත්තක දී වුව ඒ සුහදත්වය කැපී පෙනුණි. සංවේදීකමෙන් පොහොසත් හදවත් අනුන්ගේ දුක මඟ නොහළහ.
ඒ හදවත්හි වූ තෙතමනය ටිකෙන් ටික වියළී යන්නට පටන් ගත්තේ ආර්ථික වෙනස් වීම් සමඟ ය. පරම්පරා බොහෝ ගණනක් නොව ස්වල්පයක් ඉක්මවන්නට පෙර අපි ඒ අනර්ථය භුක්ති විඳිමු. තාක්ෂණය මොන තරම් දියුණුව වුවද අප ඉදිරියට යා යුතු වන්නේ මානව ගුණධර්ම අමතක කොට නොවේ. ඒ සෑම පියවරකම මිනිස් සුවඳ සටහන් විය යුතු ය. නිරවුල් මනසින්, සතුටින් ජීවත් වන්නට වඩාත් යෝග්‍ය වන්නේ එවැනි මිනිසුන්ගෙන් පොහොසත් පරිසරයක් ය. ධර්මානුකූල පැවැත්ම එවැනි පරිසරයක් නිර්මාණය කිරීමේ ඇති එකම මඟ ය.
අපේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ ධර්ම චර්යාවෙහි හැසිරීමෙන් හා සහජීවනයෙන්, අන්‍යොන්‍ය විශ්වාසයෙන් තමන්ගේ ජීවිතය පී‍්‍රතිමත් කර ගන්නා ලෙසටය.
‘ධම්මො හවෙ රක්ඛති ධම්මා චාරී’ යැයි ධර්මයෙහි ඉගැන්වේ. ධර්මයට අනුව ජීවත්වනවා නම් ධර්මය විසින්ම අප ආරක්ෂා කරනු ලබන බව ඉන් කියැවේ. එසේ මනාව පිළිපදින ලද ධර්මය සැප, සතුට ගෙන දෙන බව බුදුහිමියන්ගේ ඉගැන්වීමයි. ධර්ම චර්යාවෙන් යුතු පුද්ගලයා දස අකුසලයන්හි නොයෙදේ. එනම් සිතින්, කයින්, වචනයෙන් වන වරදින් මිදේ. දස කුසල කර්මයන්හිම නිරත වේ. වැරදිවලින් මිදෙන විට ජීවිතය සැපවත් වේ. පරලොව ද සුගතිගාමී වේ. නරකාදී සතර අපාගත නොවේ. මනුෂ්‍ය දිව්‍ය, බ්‍රහ්මාදී සම්පත් ලැබේ. වරදින් මිදෙන පුද්ගලයා අර්ථවත් වන්නේ තමන්ට පමණක් නොවේ. ඒ ජීවිතයේ යහපත් ඵල සමාජයට ද හිමි වේ.

වියවුල් මනස සියලු කටයුතු අවුල් කරන බව ඔබ දනී. දියුණුව අඩපණ කරන බව දනී. ධර්මයේ නොහැසිරෙන පුද්ගලයාගේ මනස නිරන්තරයෙන්ම අවුල් සහගත ය. වැඩ කටයුතුද එලෙසය. නිරවුල් මනසකට ධර්මානුකූල සිතිවිලි මෙන්ම ක්‍රියාකාරකම් ද සහජීවනය ද අත්‍යවශ්‍ය ය. සහජීවනයක්, සාමයක් නැති ගෙදරක නිරවුල් මනසින් ජීවත්විය නොහැකිය. ආදරයෙන්, සෙනෙහසින් අමතන වචන නෑසෙන පරිසරයක වැඩිහිටියන් සේම දරුවන්ද අවුල්ය. තමන් කවා පොවා පෝෂණය කළ අම්මට, තාත්තට, අවවාද අනුශාසනා දෙමින් ජීවිතයට නිවැරැදි මඟ කියාදෙන වැඩිහිටියන්ට ගරු කරන්නට, ප්‍රති උපකාර දක්වන්නට සිත නොකැමෙත්තේනම්, ඒ තරමට අදැහැමි නම් ඒ නිවසෙට සතුටක්, සැනසීමක්, දියුණුවක් නැත.

අද අපේ සමහර තරුණ දූ පුතුන් වෙත යටහත් පහත් ගති ඇත්තේ ම නැත. එහෙත් යටහත් බව ජීවිතයේ දියුණුවට අත්‍යවශ්‍ය ය. බුදු දහමේ ‘නිවාතොච’ ලෙසින් ඉගැන්වෙන්නේ යටහත් පහත් පැවැත්ම පිළිබඳවයි. එය කෙනෙකුගේ දියුණුව පිණිස හේතුවන මංගල කරුණකි. වයස, රූපය, දැන උගත්කම, සිල්වත්කම ආදී තමන් කෙරෙහි වූ ගුණ ගැන ආඩම්බරයෙන්, එයම උසස් කොට සලකමින් අන් අය පහත් යැයි සලකනවා නම් ඒ පුද්ගලයා කෙරෙහි නිවාත ගුණය පවතින්නේ නැත. ඇතිවන්නේම අහංකාරය, උඬගුකම, මානය වැනි පවිටු හැඟීම් ය. එවැනි ගති ගුණවලින් හිස උදුම්මාගත් පුද්ගලයාගෙන් අසල්වැසියන්ට, සමාජයට තබා තමන්ගේ අම්මට, තාත්තට, ගුරුවර ගුරුවරියන්ට ද සැලකීමක් නැත. සිල්වත්, උතුමන් කෙරෙහි ගරු කිරීමක් නැත.

දිනක් ගෙවී තවත් දිනක් උදාවන විට අපි තත්පර 86400 ක් ගෙවා දමමු. ඒ තත්ත්පර දස දහස් ගණින් එක දහසක් ඔබ වෙනුවෙන් වෙන් කරන්න. නින්දට යන මොහොතේ ඔබ ගැන සිතන්න. ගෙවුණ දිනයේ ඔබ කළ කී දේනිසා ඔබට සිදු වූ යහපත, අයහපත ගැන සිතන්න. අනුන්ට සිදු වූ යහපත අයහපත ගැන ද සිතන්න. තමන්ට අයහපත්, අනුන්ටද අයහපත් දෑ සිදු කළේ නම් පසුතැවිලි නොවන්න. ඒ සියලු අයහපත් අතීතයට එක් කරන්න. යහපත පමණක් ඉතිරි කරගන්න. වැරැදි නිවැරැදි කරගන්න. හදවතේ අනුන් වෙනුවෙන් තෙතමනයක් ඇති කර ගන්න. සංවේදී වන්න. ජීවිතය ජය ගන්නටත්, කඳුළ වේදනාව පළවා හරින්නටත් ඔබට පුළුවන්. සහජීවනයෙන් යුතු සමාජ සාමාජිකයෙක් වන්නට පුළුවන්.


යාපහුව රජමහා විහාරාධිපති 
මීගම්මන සිරිරතන හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 26 වන ඉරිදා වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment