උපතේ සිට රැගෙන ආ සිතුම් පැතුම්, ක්‍රියාකාරකම්හි වර්ධනයක් සිදුවන කාලය නව යොවුන් වියයි. දරුවෙකු වැඩිවියට පත්වීමත් සමඟ පැමිණෙන වයස අවුරුදු දොළහත් විස්සත් අතර කාලය යොවුන් විය ලෙස හඳුනාගැනේ. කායික මානසික ක්‍රියාවලියේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදුවන මේ වයසේ දරුවන් ස්වාධීනව සිතන්නට, නිදහසේ තීරණ ගන්නට, තමන්ගේ රැකවරණය තමන්ටම සලසා ගන්නට හැකි යැයි සිතීම සාමාන්‍ය ස්වභාවයයි. දරුවන් හිතුවක්කාරී වන්නේ, වැරැදි ක්‍රියාවන්ට යොමු වන්නේ ළමා වියෙන් නව යොවුන් වියට පත් වීමත් සමඟ මේ සිතිවිලි වැරැදි ලෙස ක්‍රියාත්මක වීම නිසා ය.
මවුපියන්ගේ වගකීම වන්නේ එම මානසිකත්වය හා ක්‍රියාකාරකම් තේරුම් ගෙන දරුවන්ට වඩාත් සමීපවෙමින් නිසි මඟ පෙන්වීම හා ආදර්ශ ලබා දීමය.
යොවුන් දරුවන් පිළිබඳ පර්යේෂණ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන තහවුරු කර තිබෙන්නේ මෙම කාලයේ බලාපොරොත්තු වූ ආදරය, සැප සම්පත් ආදිය නොලැබීම නිසා ඇති කර ගන්නා මානසික පීඩාව සහ සාංකාව වැනි තත්ත්වයන් ඔවුන් වැරැදි ක්‍රියාවන්ට යොමුවීමට වැඩි වශයෙන් බලපාන බවයි.
අද අපේ පාසල් වියේ ඇතැම් දරුවන් මත්කුඩු ආදී විවිධාකාර ස්වරූපයෙන් එන මත්ද්‍රව්‍යවලට යොමු කරවා ගන්නට විවිධ බලවේග, විවිධ වේශයන්ගෙන් ක්‍රියාත්මක වේ. ඇතැම්විට දරුවන් නොසිතන චරිත, වංචනික ලෙස දරුවන්ට සමීප වී ඔවුන් ඒවාට ඇබ්බැහි කරවා ගනී. මානසික පීඩාවෙන්, සාංකාවෙන් පෙළෙන දරුවන්, පහසුවෙන් ඔවුන්ගේ ගොදුරු බවට පත් වේ. සාහසික ක්‍රියාවන්ට සේම විවිධ අපචාරයන්ට යොමු වේ.
ළමාකම ඉක්මවූ මෙවැනි හැසිරීම් සඳහා දරුවන් පෙළඹෙන්නේ පවුල් පරිසරයේ, පාසල් පරිසරයේ, සමාජයේ හා ජීවත්වන වටපිටාවේ ස්වභාවය යහපත් නොවූ විටය.
‘පතිරූපදේස වාසෝච’ යනුවෙන් වඩාත් සුදුසු ප්‍රදේශයක ජීවත් විය යුතු බව බුදුහිමියන් පෙන්වා දුන්නේ උපතේ සිට මිය යන මොහොත දක්වාම ජීවිතය නිවැරැදිවත්, ක්‍රමාණුකූලවත් පවත්වාගෙන යන්නට ජීවත්වන පරිසරය සුවිශේෂී බලපෑමක් කරන හෙයිනි. ගෙදර, පාසල, සමාජය, වටපිටාව ඒ ක්‍රමාණුකූලබවින් පිළිවෙළින් බැහැර වූ තැනය, දරුවන් වරදට පෙළඹෙන්නේ. මේ ගැන මවුපිය අවධානය යොමු විය යුතු ය. සරල උදාහරණයක් විමසමු. අඩු වයසින් විවාහ වූ මවුපිය දෙපළකට අත්දැකීම් විරලය. ජීවිතය යනු අභියෝගයකි. විවිධ ප්‍රශ්න හමුවේ අත්දැකීම් අඩු එවැනි මවුපියන් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ වෙනම විදියකටය. දෙමහල්ලන්ගේ විරසකකම්, අඬ දබර, වාද විවාද, වැරැදි විසඳුම්, අසභ්‍ය වදන් දරුවන්ටද අත්දකින්නට ලැබේ. මවුපියන් විසින් දැන හෝ නොදැන දරුවන්ගේ හිස මත එසේ පටවනු ලබන පීඩාව ඔවුන්ගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කිරීමේ සමත්ය. එවැනි පවුලක දරුවෙකුගෙන් දරදඬුකම් මිස යහපත් චර්යාවක් බලාපොරොත්තු විය නොහැකිය.
ජීවන අරගලයේ දී බොහෝවිට මවටත් පියාටත් දෙදෙනාටම රැකියාවක නිරත වන්නට සිදුවේ. ඒ වෙනුවෙන් වෙන් කළ යුතු කාලය උදුරා ගන්නේ, දරුවන්ට, ආදරය, සෙනෙහස, රැකවරණය දීමට ඇති ඉඩය. දරුවන් ගැන සොයා බැලීමට කාලය මදිවීම, තුළ දරුවන්ට උපරිම නිදහසක් ලැබේ. හික්මීමක් නැති දරුවා ඒ නිදහසින් උපරිම ප්‍රයෝජන ගනී. නිතර තනිවෙන්නට උත්සාහගනී. අනවශ්‍ය මිතුරන් ඇසුරට යොමුවේ. මෙවැනි අහිතකර තත්ත්ව මත ඔවුන් අවේගශීලී වේ. විෂමාචාරයන්ට පෙළඹේ. හිතුවක්කාරී වේ.
අනෙක් අතට නිසි මඟ පෙන්වීමක් නොලබන දරුවාගේ පෞරුෂය හීන වේ. ජීවිතයේ මුහුණ දෙන සුළු ප්‍රශ්නයක් විසඳාගත නොහැකි තැන ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නේ එසේ හීන පෞරුෂ ඇත්තෝ ය. ප්‍රශ්නයකදී ආවේගශීලී වන්නේ, අවි ආයුධ අතට ගන්නේ, මත්ද්‍රව්‍යවලට යොමුවන්නේ හීන පෞරුෂය නිසා ය.
බුද්ධ දේශනාවේ, ‘යොබ්බන මදය’ යනුවෙන් පැහැදිලි කිරීමක් වේ. එනම් යමක් තේරුම් ගන්නට බැරි කාල සීමාව, කරන කියන දේ තෝරා බේරාගත නොහැකි, සිතාගත නොහැකි කාල සීමාවයි. යොවුන් මදයෙන් මත් වූ තරුණයකු කායිකව, වාචසිකව, මානසිකව වරදට පෙළඹීමට පුළුවන. මේ නිසා තරුණකමෙන් මත් නොවීමට තරුණ දරුවන්ගේ අවධානය යොමු විය යුතු වේ.
මව්පිය වැඩිහිටියන් නුරුස්නා බව, අවවාද ප්‍රයෝජනයක් නොවේ යැයි සිතීම, ඔවුන් කරදරකායින් බව සිතීම තරුණ මදයෙන් මත්වූවන්ගේ ස්වභාවයයි. ඒ මත්වීම ජීවිතය අඳුරට ඇද දමනවා මිස, අනාගතය අඳුරු කරනවා හැර තමන්ට යහපතක් ගෙන නොදෙන බව තරුණ දූ පුතුන් අවබෝධයට ගත යුතු වේ. ඒ සඳහා දරුවන්ට අවශ්‍ය පෙළඹවීම, හික්මවීම කුඩා කල සිටම ලබා දීම මවුපිය වගකීම වේ.
තරුණ දූ පුතුනි, වැඩිහිටියන් වරදක් පෙන්වා දෙන්නේ ඔබ පිළිබඳ තරහින් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ 'නිධීනංව පවත්තාරං' වරදක් පෙන්වා දෙන්නා තමන්ට නිධානයක් පෙන්වාදෙන කෙනෙකු ලෙස පිළිගන්නා ලෙසයි. එය අවබෝධ කර ගන්නා දරුවන්ට ජීවිතය වරදින්නේ නැත.
තරුණ දරුවන් දඩබ්බර වීමට මවුපිය ක්‍රියාකාරකම් දැඩි බලපෑමක් ඇති කරයි. වරදක් වූ තැන දරුවාගෙන් වුවද සමාව ගන්නට අම්මගේ තාත්තගේ හිත නැමෙනවා නම් ඒ නිහතමානී බව දරුවාට ද නිතැතින්ම ආරෝපණය වේ.
සැරියුත් මහරහතන් වහන්සේ සම්බුදු සසුනේ අගසවු තනතුරක් ලැබුවද සිවුරු කොණ බිම ගෑවෙන බවට කුඩා සාමණේර නමක් පෙන්වා දුන් අඩුපාඩුව ඉතා නිහතමානීව පිළිගත්හ.
අද අධ්‍යාපන රටාව නිසා ගුරුවරු තමන්ට නියමිත විෂයය කොටස් ආවරණය කිරීමටම ප්‍රමුඛතාව දෙති. දරුවන් ශික්ෂණය කිරීමට අඩු සැලකිල්ලක් දෙති. මේ ක්‍රමවේදය තුළ දරුවන්ට හිතන්නට වේලාවක් නැත. අනුන්ගේ දුක දැනෙන්නට ඉඩක් නැත. සෞන්දර්යය විඳින්නට, අන් අය සමඟ ගනුදෙනු කරන අයුරු ඉගෙන ගන්නට, ජීවිතය වටහා ගන්නට වේලාවක් නැත. මේ ක්‍රමවේදයේ වෙනසක් ඇති නොකළේ නම් මිනිස්කමින් යුතු අනාගතයක් බලාපොරොත්තු වීම ඵල රහිතය.
මීට කලකට පෙර ප්‍රාථමික පන්තියක ඉගෙන ගන්නා කුඩා දරුවෙකු කළ වරදට එක්තරා ගුරුවරියක් දුන් දඬුවම ඒ දරුවාට පැන්සලක් ගිලීමට කීමය. එවැනි සාහසික දඬුවම්වලට පොළඹවන්නේ ද පෞද්ගලික ජීවිතයේ, ළමා වියේ ලද අහිමිරි අත්දැකීම්ය. මේ නිසා ළමා විය සෞන්දර්යයෙන්, මිහිරියාවෙන්, ආදරයෙන්, සෙනෙහසින් පුරවා, දරුවන්ගේ යොවුන්විය හික්මවීම ගෙදරින්, පාසලෙන් සිදුවිය යුතු ය.
ආගමික පරිසරය දරුවා ශික්ෂණයෙන් පරිපූර්ණ කරයි. එවැනි පරිසරයකට නිරන්තරයෙන් යොමු කරවීමද වැදගත්ය. එවිට දරුවන් මුරණ්ඩු යැයි, ඉගෙනීමට මුල් තැන නොදෙන්නේ යැයි, අසංවරයැයි පසුතැවිලි වීමට සිදු වන්නේ නැත.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
පාලි අධ්‍යයන අංශාධිපති ආචාර්ය
මොරගොල්ලාගම උපරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 05 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment