පරිනිබ්බාන සූත්‍රයේදී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකිය යුතු, සංවේගය ඉපදවිය යුතු ස්ථාන හතරක් ගැන බුදුරදුන් විසින් පෙන්වාදුන් සේක. එනම් උන්වහන්සේ උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, දම්සක් සූත්‍රය දේශනා කළ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය යනුවෙනි.
ශාක්‍ය ජනපදය හා ලුම්බිනිය
සිදුහත් කුමරාගේ දෙමාපියන් ලෙසින් සඳහන් වනුයේ ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා මව මහාමායා නම් කෝලිය වංශික දේවියය. තම පියාගේ ශාක්‍ය ජනපදය වනාහි හිමාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇති අතර, ශාක්‍ය හා කෝලිය රජ දරුවන්ගේ වාසභූමිය ද රෝහිණී ගංඟාවේ දෙතෙර පිහිටා තිබුණි.
එදා ශාක්‍යයන්ගේ අග නගරය කපිලවස්තුව වේ. කපිල තපස්හු වාසස්ථානය කොට ඉදිකළ නගරය නිසා කපිලවස්තුව වී යැයි සැලකේ. හත්වැනි සියවසේදී ඉන්දියාවට පැමිණ වාර්තා තැබු චීන ජාතික භික්ෂුවක්වන හියුං සීයෑං භික්ෂුව තමා එදා දුටු කපිල වස්තුව ගැන මෙසේ දක්වයි. “කපිලවත්තු රාජධානිය වනාහි වටින් ලී 400 ක් වේ. රජමාළිගාව පිහිටි භූමිය ලී 14 ක් පමණ වටය. එහි සියලු ගොඩනැගිලි ගඩොලින් නිමවා තිබුණි. එහි අත්තිවාරම් බිත්ති තවමත් ඉතාමත් ශක්තිමත්ය. උස්ය. මාලිගා භූමිය තුළ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති හතරක් ඇත. මෙය සුද්ධෝදන රජුගේ නිවාසය කැඩී බිදීගිය පසු ඉතිරිව පවත්නා දෑය. ප්‍රසාදය පැවැති තැන සුද්ධෝදන රජුගේ ප්‍රතිමාව පිහිටුවා තිබෙන විහාරයක් ඇත. මෙයට නුදුරෙන් මායාදේවියගේ සයනය වූ තන්හි විහාරයක් වේ. එය බෝසතුන් කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේ’ මායා බිසව නිදාගත් තැනය. මේ ප්‍රවෘත්තිය එහි බිත්තියේ සිතියම් කර තිබේ. ලුම්බිණී නම් රාජකුමාරියක නමින් රාජකීය උද්‍යානයට සමීපයෙන් පිහිටි ගමක්ද වේ. මෙම උයන සිද්ධාර්ථ කුමාරයාගේ ජාත භූමිය විය. කපිලවස්තුව හා දෙව්දහනුවර අතර මෙම උද්‍යානය පිහිටා අත. අශෝක රජු මේ ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක්ද පිහිටුවා තිබේ.” හියුං සියැංගේ විස්තරයේ ලුම්බිණි වනයේ ශාක්‍යයන්ගේ නාග පොකුණ වූ බවත් එහි ජලය කැඩපතක් මෙන් පැහැදිලි වන අතර පොකුණෙන් පියවර විසිපහක් පමණ ගිය තැන දිරාගිය අශෝක රුකක් වු බවත් දක්වයි.
ලුම්බිනි නාමය හා උයන
මායා දේවියගේ පියා කෝලිය වංශික අංජන රජුය. මව යසෝධරාය. දක්නවුන්ගේ සිත් විලුම්පනය කරන හෙයින් මැය ලුම්බිනි නමින් ප්‍රකට විය. අංජන රජු විසින් සිය දේවියගේ ඉල්ලීම මත මෙම රමණීය උද්‍යානය ඉදිකොට ඇත. එය ලුම්බිණි බිසවට තෑගි ලෙසින් දුන් අතර එතැන් සිට උයන ලුම්බිණි නම් විය. කිඹුල්වත සිට දෙව්දහනුවරට යන මග මෙය පිහිටා තිබුණ බව සංස්කෘත සාහිත්‍යය කියයි.
බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි
බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූබව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රාජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වු බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත්, එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.
බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මගින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.
1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන, ඒ. ෆිහියුරේ විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත.
වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.
බුදුරදුන්ගේ බුද්ධත්වය සනිටුහන් කරනු ලබන ස්ථානය ලෙසින් බුද්ධගයාව සඳහන් කළ හැකිය. උරුවෙල, සම්බෝධි, වජ්‍රාසනය හා මහාබෝධි මැයෙන් නම් කෙරුණු මෙම ස්ථානය 18 වැනි සියවසේ සිට බුද්ධගයා හෝ බෝධිගයා යනුවෙන් ව්‍යවහාරයට පත්ව තිබේ.
සාංචියේ උතුරු දොරටුව අසල ඇති වාහල්කඩ තුළ දක්නට ඇති සුංග හා සාතවාහන යුගයනයට අයත් කැටයම්හි මහාබෝධිය හා මහාබෝධියට කරනු ලබන පූජාවන් ගැන තොරතුරු අන්තර්ගතය. ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන පරිදි බුද්ධගයාවේ මුල් ඉදිකිරීම් ක්‍රි.ව. පළමුවැනි සියවසේ කුෂාන් යුගයට අයත්වන අතර ගුප්ත යුගයේදී ලක්දිව පාලක කිත්සිරිමෙවන් රජු ලක්දිවින් මහාබෝධිය වෙත වැඩම කරවනු ලබන භික්ෂූන්ගේ ඉල්ලීම මත උන්වහන්සේලාගේ සුඛවිහරණය පිණිස මහාබෝධිය සමීපයේ සංඝාරාමයක් ඉදිකිරීමට අවසර පැතූ පුවතක් චීන වාර්තාකරුවෙකුගේ සටහනක දැක්වේ. එමෙන්ම 19 වැනි සියවසින් පසු මෙම ස්ථානයේ කැණීම් කටයුතු කළ ඇලෙක්සැන්ඩර් ඛනිම්හැම් ,ජේ.ඩී. බෙල්ගාර් හා ආචාර්ය රාජේන්ද්‍රලාල් මිත්‍රා වැනි පුරා විද්‍යාඥයින්ගේ වාර්තාවන් තුළත් බුද්ධගයාවේ ඓතිහාසිකත්වය සනාථ කිරීමට අවශ්‍ය පුරාවිද්‍යාත්මක සාධක රැසක් එළිදක්වා තිබේ.
පරිනිර්වාණය හා කුසිනාරාව
ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ සොළොස්මහ ජනපදයනට අයත් මල්ල රාජ්‍යයේ අගනගරය ලෙසින් සැලකෙන කුසිනාරාව බුදුරදුන්ගේ පරිනිර්වාණය සනිටුහන් කළ නගරය ලෙසින් පරිනිබ්බාන සූත්‍රයේ දැක්වේ. පුරාණයේදී කුසාවතිය නම් වූ මෙම නගරය රාමගේ පුත්වන කුෂ්ව විසින් ගොඩනඟන ලද්දක් බව රාමායනයේ සඳහන්ය. මෞර් සුංග කුෂාණ ගුප්ත හා හර්ෂවර්ධන රාජවංශ පාලන අවධිවලට අයත් නටබුන් මෙම නගරයෙන් ලැබීමත් සමඟ එම පාලකයන් හා කුසිනාරාව අතර පැවැති සම්බන්ධතා කවරාකාරවී ද යන්න අවබෝධ කර ගැනීමට අවකාශයක් එමඟින් ලැබේ.
ක්‍රිස්තු පුර්ව තෙවැනි සියවසේදි අශෝක රජු විසින් මේ ස්ථානයට ගෞරව දක්වා තිබේ.
එමෙන්ම පරිනිර්වාණ විහාරයට කිලෝමීටර් 1.5 පමණ දුරකින් පිහිටි රම්භාර් ස්ථුපය උසින් අඩි 49 ක් පමණවන අතර මෙම ස්ථානය වනාහි බුදුරදුන්ගේ ආදාහනය සිදුකර ස්ථානය ලෙසින් සැලකේ. උප්පත්තිය , බුද්ධත්වය හා පරිනිර්වාණය සමරණ වෙසක් සමයේ බුද්ධ චරිතයට සම්බන්ධ තෙමඟුලට සම්බන්ධ ස්ථාන හඳුනා ගැනීමට හා එම ස්ථානයන්හි ඓතිහාසිකත්කවය පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යයික සාක්ෂි මගින් සනාථවීමත් සමඟ බුද්ධ චරිතය නිවැරදිව අවබෝධ කොට ගැනීමටත් බුද්ධ චරිතය තුළ මූර්තිමත්වූ අල්පේච්ඡතාවය කුමක්ද යන්න නිවැරදිව වටහා ගැනීමටත්, අවකාශයක් සැලසෙන අතර බුද්ධ භූමිය ගැන පැනනගින මතවාදවල නිරවද්‍යතාවය පසක් කර ගැනීමටත් හැකියාවක් ලැබෙන බවද කිව යුතුය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වෙසක් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 10 හා 18 වන දිනයන්හිදි බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment