ලජ්ජා බය නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකු බව අපේ පැරැන්නෝ කීවේ සුළු අර්ථයකින් නොවේ. විටෙක බස රසවත් කළ, පෝෂණය කළ මේ කියමන් පවට ලජ්ජා බිය නැති පුද්ගලයන්, නින්දාවට හිරි ඔතප් නැති පුද්ගලයන් උපහාසයට ලක් කළේ අන් අයටද වරදෙහි ආදීනව ඉඟි කරමිනි. කාලයක් පුරා පරපුරෙන් පරපුරට රැකි සමාජ ආචාර ධර්ම , සිරිත් විරිත් කඩ කරන, ශික්ෂණයෙන් බැහැර, කවරෙකුට වුව මෙ වැනි කියමන් ගළපන්නට ඔවුහු පසුබට නොවූහ.
එකල දරුවන් ශික්ෂණය කිරීමෙහි ලා අම්මාගෙන් තාත්තගෙන් මෙන්ම කිරි අම්මා, කිරි අත්තාගෙන්ද නොමද ආදර්ශ, අවවාද ලැබුණි, දහම් පාසලෙන්, පාඨශාලාවෙන් වැඩි බරක් දුන්නේ පාඩමේ ප්‍රශ්නවලට පිළිතුරු ලියනවාට වඩා ජීවිත ප්‍රශ්නවලට පිළිතුරු කියා දීමටය. දරුවන් ගුණයෙන් පෝෂණය කරන්නටය. ඒ සමබර බව එදා දරුවන් ශික්ෂණය කළේය.
අද අපේ සමහර තරුණ දරුවන් හැසිරෙන ආකාරයෙහි හිරි ඔතප් ඇති බවක් නොපෙනේ. අඩුම තරමේ ඒ හැසිරීම් නිසා අඳුරු වන අනාගතය ගැන, මවුපිය නෑදෑයන්ට, හිතමිතුරු, අසල්වැසියන්ට මුහුණ දෙන්නේ කෙලෙසද යන්න ගැන යම් තරමට හෝ අවබෝධයක් නොවූ බවක් පසුගියදා සිදුවු සිදුවීම් දෙස බැලීමෙන් පැහැදිලිය. සම වයස් මිතුරු මිතුරියන් සමඟ ඇති කරගන්නා මතභේද, හිංසාකාරී සිතිවිලි දුර දිග ගෙන යාමෙන් නිරපරාදේ මේ තරුණ ජීවිත තමන්ට මෙන්ම අධ්‍යාපනය ලබන ආයතනයන්ට ඇතිකර දුන් කැළල සුළුවෙන් අමතක නොකළ යුතු වන්නේ ඒ ආදර්ශම බාල පරපුරටද යන්නට ඉඩ ඇති බැවිනි.
නීතියෙන් දඬුවම් ලැබූවද එවැනි වැරැදි නැවත නිවැරැදි වන්නේ නැත. පිළිතුරු දිය යුතු වන්නේ හේතුවටය. ශික්ෂණයක් නොවු චර්යාවන්ටය. දරුවන් වැරැදි කරනවා නම් එහි වගකීම සියයට සියයක්ම ඔවුන්ට පවරා වැඩිහිටියන්ට නිදහස් විය නොහැකිය.
අද දරුවන්ට අධ්‍යාපනය, පෝෂණය හැරුණූ විට ආදරය, සෙනෙහස දෙන්නට මවුපියන්ට වේලාවක් නැත. වේලාවක් තිබුණද දරුවන්ට දැනෙන්නට ආදරය දෙන්නට සැලකිල්ලක් නැත. මොන තරම් වැඩ බහුල වුවද රාත්‍රියේදි පවුලේ සියල්ලෝ හමුවෙති.ආදරය බෙදා ගන්නට, අදහස් හුවමාරු කරගන්නට, සිතුම්’ පැතුම් හඳුනා ගන්නට ඒ සුළු කාලයද ප්‍රමාණවත්ය. දරුවෝ වෙනත් තැනකින් විකල්ප සොයන්නේ, ආවේගශීලි වන්නේ එහි හිඩැසක් ඇතිවූ තැනය.
ආදරය පෙන්වනවා යන්නෙන් අනවශ්‍ය ලෙස දරුවන් සුරතල් කිරීමක් ගම්‍ය නොවේ. ඉල්ලන සියල්ල දීම, නැති බැරිකම නොපෙන්වීම, ආදරය නොවේ. ජීවිතයේ දුක, අභියෝග දැනෙන්නට ඉඩ දිය යුතුය. වැරැදි කළොත් පවුලෙන්, සමාජයෙන්, නීතියෙන් ලැබෙන දඬුවම්, නින්දා අපහාස ගැන දැනුම්වත් කළ යුතුය.
ඒ වගේම වරදේදී දඩුවම් දී නිවැරැදි කර නොගත්තේ නම් නැවත වරදට පෙළඹීම, වරදට බිය නොවීම වැළැක්විය නොහැකිය.
විශේෂයෙන් භාෂාව හා සාහිත්‍ය, ආගම පිළිබඳ නිර්දේශිත පාඩම් අතර එන කතා පුවත් ජීවිතයට වටිනාකමක් කියාදෙන ඒවාය. කියවීමට,අභ්‍යාස කරවීමට පමණක් සීමා නොවී ඒ වටිනාකම් ජීවිතයට සමීප කර ගන්නට හැකිවන ලෙස දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුන්ගේ කාරුණික අවධානය යොමු විය යුතුමය. දරුවන් ශික්ෂණය කිරීමට එය ඉතා වැදගත් වේ.
ජාතක පොතේ එන දේව ධර්ම ජාතකය අතීතයේ නම් ජන සමාජයේ නිරන්තරයෙන් කියවීමට තෝරා ගැනුණු කතාංගයකි. සිය දෙවැනි බිසව සුර්යකුමරුට රජකම ඉල්ලා කරදර කළ විට රජු මහිංසාස සහ චන්ද්‍ර කුමරු වනයට පිටත් කරන්නේ ඇයගෙන් ඒ දරුවන්ට නපුරක් වේ යැයි බියෙනි. එහෙත් දෙසොහොයුරන් සමඟ කුඩා සුර්ය කුමරුද වනගතවේ. පැන් ගෙන එන්නට විලට ගිය දෙසොහොයුරන් දිය රකුසාට හසුව ඇතිබව දැනගත් මහිංසාස කුමරු ඔවුන් බේරා ගත්තේ දිය රකුසාට දේව ධර්මය කියා දීමෙනි. දේව ධර්මය නම් පවෙහි ලජ්ජා වීමය. බිය වීමය.
ලෝක චාරිත්‍රධර්ම කඩ කිරීමේ බියය. දේව ධර්මය අසා සතුටුව එක් සොහෙයුරෙක් නිදහස් කරන්නට සුදානම් වු දිය රකුසාට බාලම මලනුවන් නිදහස් කරන්නට යැයි කී කල රකුසා කීවේ මහිංසාස කුමරු දේව ධර්මය දැනගෙනත් ක්‍රියාවේ නොයෙදෙන බවය. වැඩිමහල් සොහොයුරු සිටියදී බාලයා නිදහස් කරන බවය. එවිට කුමරු පැහැදිලි කළේ තමන් වනගත වුණේ බාල මලනුවන් නිසා බවත් ඔහු දිය රකුසාට ගොදුරු වූයේ යැයි කීවේ නම් රටවැසියන් එය නොපිළිගන්නා බවත්ය.ඒ නින්දාවට බියෙන් ඔහු බේරා ගන්නා බවත්ය.
දේවධර්ම ජාතකය දරුවන්ට ජීවන වටිනාකමක් සමීප කරවන කියැවීමකි. එවැනි කතා හදවතට දැනෙන ලෙස තේරුම්කර දෙනවා නම් දරුවන් ශික්ෂණය කිරීම අපහසු වන්නේ නැත. එහි වගකීම මවුපියන්ට හා ගුරුවරුන්ටය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම්.හේරත් මැතිතුමා
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 26 වන ඉරිදා වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment