Labels

Thursday, May 11, 2017

ලොවම එකලු කළ වෙසක් පුන් පොහොය දිනය

සමස්ත ලෝකවාසී සැදැහැති බෞද්ධයාගේ පරම පූජනීය ඓතිහාසික වැදගත්කමකින් අනූන ආගමික දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.
අපගේ ශාස්තෘන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ, සිද්ධාර්ථ නමින් උපත ලබා සත්පියුමක් මතින් පා තැබූ අසිරිමත් දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. එසේම උන්වහන්සේ අසම සම බුද්ධත්වය ලැබුවේද, ලොවට අනියත වටහාදුන් සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දවසකයි. මෙය බුද්ධ චරිතයට ඇතුළත් වූ වැදගත් වූ කාරණා තුනයි. තෙමඟුල සිදුවූ වෙසක් දවස ආගමික වශයෙන් ලෝක බෞද්ධ ජනතාව බොහොම ඉහළින් අගයනවා. තවද වෙසක් පොහොය දිනයෙහි වැදගත්කම දැක්වෙන සුවිශේෂී කාරණාවන් තිබෙනවා.
අප මහ බෝසතාණන් වහන්සේ සසරේ එක්තරා ආත්ම භාවයක සුමේධ තාපසයාණන්ව, දීපංකර බුදු පියාණන්ගේ පාද මූලයේදී මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකයි. සසරේ අවසන් ආත්ම භාවයේදී විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට පැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය. බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමා මහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.
බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය වූ කැලණියට වැඩම කොට චූලෝදර, මහෝදර නා රජුන් ප්‍රමුඛ බොදු මහ ජනතාවගේ දානය වළඳා ඔවුනට ධර්ම දේශනා කර ශී‍්‍ර පාද පද්මය පිහිටුවා අනෙකුත් ස්ථානයන්ට වැඩම කිරීම සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
තවද, විජය කුමරාගේ ලංකා සම්ප්‍රාප්තිය සිදු වූයේ ද, බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වදාළ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වෙයි. මෙසේ බුදුරදුන්ගේ පිරිනිවන් මංගල්‍යය ද, විජය කුමරුගේ ලංකාගමනය ද එකම දිනයක සිදුවීම විශේෂිතයි.
එසේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් හතළිස් වසරකින් පසු රෝහිණී නදිය මධ්‍යයේ වැඩ සිටි ආනන්ද මහ රහතන් වහන්සේ අවුරුදු එකසිය විස්සක් ආයු වළඳා පරිනිර්වාණය කරා එළඹියේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
ක්‍රි.පූ තෙවන සියවසේදී භාරතයේ රාජාභිෂේක ලත් ධර්මාශෝක රජතුමා සමඟ පැවැති මිත්‍ර සබඳතාව තවත් වර්ධනය කර ගැනීමට ලක්දිව රාජාභිෂේක ලත් දේවානම් පියතිස්ස රජතුමා තුටු පඬුරු රැගත් රාජ දූතයන් පිරිසක් දම්සෝ නිරිඳු වෙත පිටත් කර යැවුවේය. මේ කලණ මිතු දමට ප්‍රතිචාර වශයෙන් රාජාභිෂේකයට අවශ්‍ය උපකරණද දහම් පණිවුඩයක්ද දම්සෝ නිරිඳු විසින් එවා දේවානම් පියතිස්ස රජතුමා දෙවන වරට රාජාභිෂේක ලැබුවේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
බොදු බලයෙන් රට බැබළවූ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයෙහි වැඩ ඇරඹුවේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනක වීමද විශේෂිතය.
දුටුගැමුණු රජතුමා වෙසක් උළෙල සූවිස්සක් ද , භාතිය රජතුමා වෙසක් උළෙල විසි අටක් ද , වසභ රජතුමා වෙසක් උළෙල හතළිස් හතරක් ද පැවැත්වූ බව මහා වංශයට අනුව පැවසෙයි. ප්‍රදර්ශන හා පෙරහර රැසකින් වෙසක් පුර පසළොස්වක අසිරිමත් වූ බව අශෝක චක්‍රවර්තීන්ගේ සිව්වන සෙල් ලිපියෙහි සඳහන් කරයි.
මහා විහාර භික්ෂූන් වහන්සේ වසරක් පුරා උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
මෙවැනි සුවිශේෂී කාරණා රැසකින් පරිපූර්ණ වූ වෙසක් පුර පසළොස්වක පොහොය අපට ආගමික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද ඉතා වැදගත් වෙයි.
සමස්ත ලෝකවාසී සැදැහැති බෞද්ධයාගේ පරම පූජනීය ඓතිහාසික වැදගත්කමකින් අනූන වූ වෙසක් පුර පසළොස්වක දිනය අවුරුදු දෙදාස් පන්සියයකට ආසන්න කාලයක් පුරා අපේ රුධිරයට කාවැදී තිබෙයි. මෙවර වෙසක් දිනයද විශේෂිත වෙයි. එයට හේතු වන්නේ ,ජනාධිපතිතුමා ඇතුළු රජය මඟින් ලෝක බෞද්ධයන් වෙත කරන ලද ඉල්ලීමක් මත ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවර ලංකාවෙහි පැවැත්වීමට සූදානම් කර තිබීමයි. විවිධ රටවල භික්ෂූන් වහන්සේ සමඟින්, ජනපතිවරු, අගමැතිවරු මෙන්ම බුදුරජාණන් වහන්සේ උපත ලද (දඹදිව) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධි මහතා ද මෙවර ලක්දිවට පැමිණීම සුවිශේෂී වෙයි.
මහනුවර විශේෂයෙන් දළදා වහන්සේ මුල්කරගෙන මෙවර වෙසක් උත්සවය සිදු කරන බව කවුරුත් දන්නා ප්‍රකට සිද්ධියක්. මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ ආගමික වතාවත් ආරම්භ වන්නේ අන්තිම මහ රහතන් වහන්සේ වූ මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි වට්ටාරම රජ මහා විහාරස්ථාන පින්බිමේ සිටයි.
මෙවැනි කාරණා අනුව අපට අමතක කළ නොහැකි , අප විසින් අමතක නොකළ යුතු ඉතාමත් වැදගත්ම පොහොය දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය ගැන කල්පනා කර රටේ යහපත, සදාචාරය, ඇතිකර ගැනීමට මෙම ආගමික උත්සවය උපයෝගී කරගත යුතුයි.
තථාගත බුදුපියාණන් වහන්සේ වදාළ, අප විසින් කළ යුතු දෙය වන්නේ සදාචාර සංවර්ධනයයි. හික්මීම, ගුණයට නැඹුරු වීම, විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදාවට ගරු කිරීමයි. රටක, සමාජයක, සදාචාරය, සාමය, සමෘද්ධිය ඇති කරගැනීමට වෙසක් පුර පසළොස්වක පොහොය උපයෝගී කර ගත යුතුයි.
වට්ටාරම මාධ්‍යයව රටපුරාම පැවැත්වෙන වෙසක් උත්සවය සාර්ථක කරගැනීමට රජය සමඟ රට වැසියන් එකතු විය යුතුයි.
වෙසක් දිනවල ගත යුතු ප්‍රයෝජනය ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා කළ දහම් කරුණු දැන කියාගෙන උගන්වා ඇති කරුණු දරුවන්ටත් පරිශීලනය කරවා රට සමෘද්ධිමත් කර ගැනීමට මේ වෙසක් දවස අරමුණු කරගත යුතුයි. එවිට ලෝකයා පවා අප ගැන සතුටු වෙති.

අපේ රටේ ජනතාව රට සෞභාග්‍ය සම්පන්න කරගන්න, සදාචාරවත් කරන්න, ගුණ නුවණින් යුත් ජනතාවක් රටේ ඇති කරවීමට, ක්‍රෝධය, කෝපය ඇති නොවන ක්‍රියාවන්ගෙන් තොරව ජීවත් වීමට අදාළ අයුරින් වෙසක් උත්සවයක් සංවිධානය කරගත යුතු බව තෙමඟුල සමරන අසිරිමත් දිනයේ මහත් වූ කරුණාවෙන් දන්වා සිටිමු.



අමරපුර මහා නිකායේ 
අමරපුර පාර්ශ්වයේ මහානායක 
අග්ගමහා පණ්ඩිත 
කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වෙසක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 10 වන බදාදා වන  බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment