Labels

Sunday, May 7, 2017

සීලයේ අනුසස්

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නිය පිටට වැලි ස්වල්පයක් ගෙන භික්ෂූන් වහන්සේ අමතා, “මහණෙනි, වැඩි ප්‍රමාණයක් වැලි තිබෙන්නේ මාගේ නිය පිටෙහි ද? එසේත් නැතිනම් මේ මහ පොළොවෙහිද?”යි විමසූහ.
‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ මහපොළොවේ ඇති වැලි ප්‍රමාණය අප්‍රමාණය. ඔබ වහන්සේගේ නිය පිට ඇත්තේ ඉතා ස්වල්පයක් පමණ’ය යි භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්හ.
මෙය උපමා කරගනිමින් නඛසිඛ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ මහපොළොවේ වැලි කැට ගණනට මිනිසුන් වේ නම් ඒ මිනිසුන්ගේ මරණින් මතු නැවත මිනිසත් බවක් ලබන්නේ තමන් වහන්සේගේ නිය පිට වූ වැලිකැට ස්වල්පය මෙන් ඉතා ටික දෙනෙක් පමණක් බවය.
දුර්ලභ ලෙසින් මනුලොව ඉපිද, මිනිස්කම ඉක්ම වූ , පාපයන්හි නියැළෙමින් නැවත මිනිසත් බවක් නොලබන පිරිස මහත් බව, ගණනය කළ නොහැකි බව පෙන්වා දීමටය උන්වහන්සේ උත්සාහ කළේ.
‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ’ යනු අවස්ථාවට උචිත ලෙස භාවිත කෙරෙන ජන කියමනකි. බෞද්ධ දර්ශනය ඇසුරින් ජන සමාජයේ ප්‍රචලිත වූ මේ උපමාව පසුබිම් වන්නේද ඉතා දුර්ලභ අවස්ථාවක් විස්තර කිරීමේ දීය. එය දහමෙහි සඳහන් වන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් පුරසඳ දකිනවා වගේ යනුවෙනි. විය ගස යනු ශක්තිමත් ලීයකින් තැනූවකි. ලෙහෙසියෙන් නොදිරන්නේය. ගොවිතැන ජීවනෝපාය කරගත් අතීත ජන සමාජයට නැතිවම බැරි වූවකි. වියගස කලෙකින් දිරා ගියද වෙනත්
ප්‍රයෝජනයකට වුව ගත හැකිය. විසිකර හරින්නේ එය ද මගහැරුණේ නම් ය. එසේ වීසිකළ විය ගසක් මහ වැස්සකට හසුව මග නොරැඳී ගංගාවකට වැටෙන්නේය. ගඟෙන් මහ මුහුදට ගසාගෙන යන්නේය. මහ මුහුද කුණු කසළ බාර ගන්නේ නැත. වැටෙන දේ නැවත ගොඩ ගැසීම මුහුදේ සැටිය. එයින්ද මඟ හැරී මේ විය ගස මුහුද මැදටම තල්ලු වී යන්නේය. ඒ මොහොතේ මුහුදු පතුලේ සිටින එක් කණ කැස්බෑවෙක් දිය මතට එන්නේය. විය සිදුරෙන් අහස බලන්නේය. ඒ මොහොතේ වළාවෙන් මිදුණු අහසේ පුරහද පායා තිබිය යුතුය.
මේ ඉතා කලාතුරකින් විය හැකි දෙයකි.
මේ ඝෝර වූ සසරේ මිනිසත් බව ලැබීමද ඒ සා අසීරු, දුර්ලභ කරුණකි.
බුදු හිමියන් මේ දුර්ලභ බව පෙන්වා දෙමින් ලෝකයට පැහැදිලි කළේ සිත කෙලෙස්වලින් පුරවාගෙන සතර අපායට නොවැටී ජීවත්වීමේ වටිනාකම පිළිබඳවය.
අපි කවර හෝ ජීවන වෘත්තියක නියැළෙමු. එහිලා වන සුදුසුකම්, දක්ෂකම් දනිමු. වෘත්තීය ලබන්නට කළ වෑයම කෙතෙක්ද යන්න දනිමු. එහෙත් මිනිසත් බව ලබන්නට කළ කී දේ නොදනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.
‘සීලෙන සුග්ගතිං යන්ති’ කෙනෙක් සතර අපායේ නොවැටී සුගතියට ගෙන යන්නේ සීලය බවයි. සංසාරයේ කළ කුසල් නිසා, සීලය නිසා මිනිසත් බව ලැබු කෙනෙක් සිල් බිඳ ගන්නවා නම් නැවත සුගතියක් ලද නොහැකිය.
කෙනෙකුගේ දේපළ අත්පත් කර ගන්නට හෝ වෙනයම් බලාපොරොත්තුවක් මුදුන් පමුණුවා ගන්නට හෝ සත්ත්ව ඝාතනය කළා නම් නැවත මිනිස් බවක් ලැබීම අසීරුය. අනුන්ට, අයත්, තමන් සතු නොවූ දේපළ භුක්ති විඳිනවා නම් එතැන සීලයක් නැත. කාමය වරදවා හැසිරීම නම් ස්ත්‍රි පුරුෂයන්ගේ වැරැදි සේවනය බව බොහෝ දෙනා සිතති. එහෙත් එය එක කරුණක් පමණි. ඇස් දෙකෙන් වැරැදි දේ දකිනවා නම්, අනුන්ට අයත් දේ දකින්නට පි‍්‍රය කරනවා නම්, කන , නාසය, දිව, ශරීරය යන අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන් තමන්ට අදාළ අයත් නොවන දේ විඳින්නට , ලබන්නට සූදානම් නම් එතැන සීලයක් නැත.
ආත්ම ලාභය වෙනුවෙන් බොරු කියනවා නම්, තවත් කෙනෙකුගේ සිත් බිඳෙන, කේලාම්, අන් සිත් රිදවන පරුෂ වදන් කියනවා නම් ධර්මයෙන් බැහැර හිස් වචන බිණිනවා නම් නැවත මිනිසත් බවක් ලබන්නේ කෙලෙසද?
තේරුම්ගත යුතු වැදගත් දෙයක් තිබේ. මිනිසුන් ලෙස අපි ඉපිදී සිටින්නේ මොන තරම් කැප කිරීමෙන්ද? එය වටහා නොගත් කෙනා, අවබෝධයෙන් ජීවත් නොවන කෙනා මේ ලබා සිටින්නේ පළමු හා අවසන් මිනිස් බවය වීමට පුළුවන. අනේක දුක් සහිත වු මේ සංසාර ගමනේ කෙළවර දකින්නට නම්, කෙලෙස් ප්‍රහීණ කරන්නට නම්, සුගති අත්බවයක් ලබන්නට නම් ධර්මාව බෝධය ලැබිය යුතුය. කුසල් වැඩිය යුතුය.
පින් දහම් කරන්නට, කුසල් වඩන්නට හැකි වන්නේ මිනිස් බවක් ලැබුවේ නම් පමණි. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා යායුතු මඟ අපට පෙන්වා දී තබේ. රකින්නට පුළුවන් ප්‍රතිපදාවක්, නිත්‍ය ශීලය ලෙස ගිහියන්ට හඳුන්වා දී තිබේ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ.

‘මනුස්ස ලාභං ලද්දාය
සද්ධම්මේ සුප්ඵ වේදිතේ
යේ ඛණං නාධි ගච්ඡන්ති
අතිතා මෙන්ති තේ ඛණංති’


දුර්ලභ මිනිසත් බවක් ලබා, සද්ධර්මය දැන ගැනීමට ලද මේ උතුම් අවස්ථාවේ වටිනාකම යමෙක් වටහා නොගන්නේ නම් හේ ඒ වටිනා මොහොත නිකරුණේ ඉවතලන අයෙක් වන්නේය යනුවෙනි.


ශාස්ත්‍රපති,
විතාරන්දෙණියේ මේධානන්ද හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 26 වන ඉරිදා වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment