‘යංකිංචි විත්තං ඉධවා හුරංවා
සග්ගෙසු වායං රතනං පනීතං
න නෝ සමං අත්ති තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පනීතං
එතේන සච්චේන සුවත්ථි හොතු’
(රතන සූත්‍රය)
අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. බෝසත් උපත, සම්බුද්ධත්වාබෝධය, පරිනිර්වාණය සිදු වූ මෙම පරම පූජනීය පොහෝ දින ශ්‍රද්ධා ශීලා දී ගුණයෙහි පිහිටා ධර්මාවබෝධයෙහි උත්සුක වීම අත්‍යවශ්‍ය වන්නේ ය.
2561 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලංකාද්වීප වාසීන්ට බෙහෙවින් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි පැවැත්වෙන හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කරගෙන විවිධ රටවල පැවැත්වූ මෙම මහෝත්සවය 14 වැනි වරට අපේ රටෙහි පවත් වනු ලබන අතර එහි තේමාව වන්නේ සමාජ සාධාරණත්වය හා තිරසර ලෝක සාමය උදෙසා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගන්නා ආකාරයයි. මෙමගින් අද්‍යතන ලෝකයට ලබාදිය හැකි ආධ්‍යාත්මීය, චින්තනමය, චර්යාමය ගුණාංග අතිශයින්ම අර්ථවත් වන බව ඉතා පැහැදිලි කරුණකි. වෙසක් චින්තනය සමග බුද්ධානුභාවය මෙනෙහි කිරීම විශ්වයටම ශාන්තියක් වන්නේ ය.
රතනසූත්‍ර දේශනාවෙහි ඇතුළත් උක්ත ගාථා ධර්මය මෙලෙසින් පරිවර්තනය කළ හැකිය. ‘
මේ මනුෂ්‍ය ලෝකයෙහිද නාග සුපර්ණාදී සෙසු ලෝක හෝ සතුට උපදව වන යම්කිසි සැපතක් වස්තුවක් ඇද්ද ස්වර්ගයක් වශයෙන් සලකන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධරත්නය හා සදෘශ නොවේය. බුද්ධරත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍යය හේතුකොට ගෙන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. (සියලු සත්වයන්ට සෙතක්ම වේවා) මෙම ප්‍රාර්ථනාව වර්තමාන ලෝකයට අත්‍යවශ්‍ය වන්නේ ස්වාභාවික විපත් ආදියෙන් සිදුවන ජීවිත විනාශාදී ව්‍යසනයන් එමෙන්ම බල අරගලය හා සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ තරගයත්, එකිනෙකා පරයා කටයුතු කිරීමේ අනර්ථකාරී ක්‍රියාදාමයත් තුළින් ලෝකයෙහි ඇතිවන ගැටුම් ව්‍යාකූලතා පිළිබඳව අවධානය යොමු කරන විටයි.
බුදුවරයන් වහන්සේගේ පහළ වීම සියලු සත්ත්වයන්ගේ සැප පිණිස හේතු වන්නේ ය. ‘බුද්ධ’ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද, තථාගතයන් වහන්සේම සේල නම් බමුණාට වදාළ අයුරින් ලෝකයෙහි දතයුතු සියල්ලම තථාගතයන් වහන්සේ විසින් වෙසෙසින් දක්නා ලදහ. වැඩිය යුතු සියල්ල වඩනා ලදහ. ඈ හල යුතු සියල්ල අත්හලහ. එහෙයින් මම බුද්ධ නම් වෙමි. යනුවෙන් බුද්ධත්වයෙහි අර්ථවත් බවත් ගාම්භීරත්වයත් දේශනා පාලියෙන්ම ඉදිරිපත් වේ.
අසමසම සම්බුද්ධත්වය මහා ප්‍රඥාවෙන් ද මහා ඤාණසම්පත්තියෙන්ද උපලක්ෂිතය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදි සමතිස් පෙරුම් සපුරාලමින් පියවරින් පියවර ආධ්‍යාත්ම චරියා සංවර්ධනයෙහි නිරත වෙමින් බෝධිසත්වයන් වහන්සේ සත්‍යාවබෝධය සඳහා කටයුතු කළ ආකාරය එමගින් දත හැකිය. බෝමැඩ කරා වැඩම කොට අපරාජිත පර්යංකයෙන් සතර සම්‍යක්පධාන වීර්යයෙන් වැඩ හිඳ මාර පරාජයෙන් අනතුරුව ආනාපානසති භාවනාවෙන් ධ්‍යානාදිය සපුරාගනිමින් අනේක සංඛ්‍යාත අතීත ආත්මභාවයන් දකිමින් ‘පුබ්බේනිවාසානුස්සතිඤාණ’ උපදවා ගනිමින් අතීත ආත්මභාවයන්හි උපන් තැන් විඳිනා ලද සුවදුක් පැහැදිලි ලෙස දකිමින් අතීතය වසා ලන මෝහාන්ධකාරය දුරැකරලීමට සමත් වූහ. අනතුරුව සත්වයින්ගේ උප්පත්තිය, පැවැත්ම හා මරණයද සුගති හා දුගති සංඛ්‍යාත භව ගමන ද කුසලාකුසල කර්ම විභාගයාදිය දකිමින් දිවැස පහළ කර ගත් සේක. ඊට අදාළවම චුති උප්පත්ති ඤාණ සම්පත්තිය ද උපදවා ගත් සේක. අනතුරුව සසර බැමි ලිහා දැමීමේ මග කරා සිත් යොමු කළෝ සතර මග සතර ඵල පිළිවෙලින් ‘සර්වඥතාඤාණ’ සම්පත්ති ප්‍රතිලාභී වූහ. ඒ වනාහි බුද්ධ විෂයෙන්ම ප්‍රකාශිත වූ අයුරින් ඇස පහළ වීමකි. චක්ඛුං උදපාදි නැණ පහළ වීමකි. ප්‍රඥාව පහළ වීමකි. විද්‍යාව පහළ වීමකි. ආලෝකය පහළ වීමකි. විද්‍යාව පහළ වීමකි. ආලෝකය පහළ වීමකි. මෙම පඤ්ඤවිධ ක්ෂේත්‍රය ලෝකයෙහි අර්ථ සිද්ධිය පිණිස පුද්ගල සංවර්ධනය පිණිස ආයතනික මනා පැවැත්ම පිණිස උපයෝගී කරගත හැකිය.
සම්මාසම්බුද්ධත්වය පරිපූර්ණ වන්නේ ය. අතිවිශිෂ්ට වන්නේය. බුද්ධත්වයෙහි පවතින අසිරිමත් භාවය ඊට අදාළ ඤාණ සම්පත්තියෙන් මැනවින් තේරුම්ගත හැකිය. කාල කාරාම සූත්‍රයෙහි ‘සබ්බඤ්ඤු භූමි – ඛීණාසව භූමි සච්ච භූමි - සංඤත භූමි – තාදි භුමි’ වශයෙන් ප්‍රභේද පහක් යටතේ එම කරුණු විස්තර වී පවතී.
චුද්දස්ස බුද්ධඤාණය කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වන්නේ ය. එනම්,
1. දුක්ඛෙ ඤාණං
2. දුක්ඛ සමුදයේ ඤාණං
3. දුක්ඛ නිරෝධෙ ඤාණං
4. දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං
5. අත්ථ පටසම්භිධෙ ඤාණං
6. ධම්ම පටිසම්භිධෙ ඤාණං
7. නිරුක්ති පටිසම්භිධෙ ඤාණං
8. පටිභාන පටිසම්භිධෙ ඤාණං
9. ඉන්ද්‍රිය පරොපරීයත්ති ඤාණං
10. ආසයානුසයේ ඤාණං
11. යමකපාටිහාරයේ ඤාණං
12. මහාකරුණා සමාපත්තියා ඤාණං
13. සබ්බඤ්ඤුත ඤාණං
14. අනාවරණ ඤාණං
2. දුක්ඛ සමුදයේ ඤාණං
3. දුක්ඛ නිරෝධෙ ඤාණං
4. දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං
5. අත්ථ පටසම්භිධෙ ඤාණං
6. ධම්ම පටිසම්භිධෙ ඤාණං
7. නිරුක්ති පටිසම්භිධෙ ඤාණං
8. පටිභාන පටිසම්භිධෙ ඤාණං
9. ඉන්ද්‍රිය පරොපරීයත්ති ඤාණං
10. ආසයානුසයේ ඤාණං
11. යමකපාටිහාරයේ ඤාණං
12. මහාකරුණා සමාපත්තියා ඤාණං
13. සබ්බඤ්ඤුත ඤාණං
14. අනාවරණ ඤාණං
යනුවෙන් එම ඤාණ සම්පත්ති සම්පත්තිය සාධාරණ ඤාණ අටකින් ද අසාධාරණ ඤාණ හයකින් ද ප්‍රභේදගත වේ. බුද්ධත්වය හා බැඳී පවතින මෙම ඤාණ විභාගයෙහි විශිෂ්ට හරවත් බව සිතාගත හැක්කේ ඉතා සියුම්ව හා විචාරක්ෂියෙන් යුතුව සමස්ත භාරතීය දර්ශන සම්ප්‍රදායන් කෙරෙහි අවධානය යොමු කිරීමෙනි.
නිර්මාණවාදය, උපයෝගිතාවාදය, කර්මවාදය, සර්වඅසුභවාදය, සර්වසුභවාදය, භෞතිකවාදය ආදී වූ දාර්ශනික විග්‍රහයන්හි පවත්නා ඌණතා මැනවින් අවබෝධ කරගත හැක්කේ හේතුඵලවාදී තාර්කික විග්‍රහයන් කෙරෙහි අවධානය යොමු කරලීමෙනි. මෙහිලා අතීත, වර්තමාන, අනාගත තෛ‍්‍රකාලයටම සම්බන්ධ වන පටිච්චසමුප්පාද ධර්මය හා එමඟින් ඉදිරිපත් කෙරෙන න්‍යාය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය. විද්‍යා ක්ෂේත්‍රයේ දී හේතුව හා ඵලය අතර සම්බන්ධතාවය නැඹුරු වන්නේ භෞතික වූ ද අචේතනික වූ ද ද්‍රව්‍යයන්ටය. බුදු සමයෙහි එය වඩාත් යොමු වන්නේ සංචේතනික සත්වයන් කෙරෙහිය. පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගන්නා තෙක් සසර සැරි සැරීම තෙරක් නැතිව සිදුවේ.
වර්තමානයෙහි මුළු මහත් ලෝකධාතුවෙහි පවත්නා විවිධාකාර මානව අර්බුධ හා ගැටුම් නිරාකරණය කර ගැනීමටත් සමාජ සාධාරණත්වය හා තිරසර ලෝක සාමය උදාකර ගැනීමටත් භෞතික සහ ආධ්‍යාත්මික ජීවන රටාව අර්ථවත් කර ගැනීමටත් අසිරිමත් සම්බුද්ධත්වයෙහි මෙම විශේෂ ඉගැන්වීම් ලෝක ව්‍යාප්ත කිරීමෙන් අපේක්ෂිත අරමුණු ඉටුකරගත හැකිය. එබැවින් වෙසක් පුරපසළොස්වක පොහෝ දින නුවණැති සත්පුරුෂයන් බුද්ධානුස්මෘතිය වඩා ලොව් ලොව්තුරා සැපත් සිද්ධ කටයුතුයි.
ඔබ සැමට තෙරුවන් තෙරුවන් සරණයි!
සද්ධම්මඡ්‍යොතිකධජ,
ආචාර්ය, නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වෙසක් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 10 වන බදාදා වන බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment