අහාරය වැළැක්වීමේ කර්මයෙන් ලද දරුණු විපාක විස්තර කරන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ හතළිස් එක්වන වන ජාතක කථාව ලෝසක ජාතකයයි. එය ලෝසක තිස්ස නම් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරබයා දේශනා කරන ලද්දකි.
කොසොල් රට පවුල් දහසක් වෙසෙන ගමක එක්තරා ධීවර පවුලක ධීවර කාන්තාවකට දරුවෙකු පිළිසිඳ ගත්තේය. එම දරුවා පිළිසිඳ ගත් දිනයෙහි ම ධීවරයන්ට මසුන් නොලැබුණ අතර ගම ද සත්වරක් ගින්නෙන් දැවී ගිය අතර සත්වරක් ම රජුගේ උදහසට ලක් වී දඩ ගෙවන්නට ද සිදු විය. මෙසේ ක්‍රමයෙන් එම ධීවර ගම්මානය පිරිහීමට පත් වූ අතර එයට හේතු සෙවූ ඔවුන්ට පෙනීගියේ මෙම ධීවර කාන්තාවගේ කුස පිළිසිඳගත් දරුවාගේ අවාසනාව නිසා එසේ අභාග්‍යමත් කාලයක් උදා වී තිබෙන බවයි. ගම්වැසියන් සියලු දෙන එක් වී එම ධීවර පවුල ගමෙන් බැහැර කරනු ලැබීය. අතිශය දුකට පත් ධීවර කාත්තාව කෙසේ හෝ තම දරුගැබ ආරක්ෂා කොට ගෙන නිසි කල පැමිණි පසුව දරුවා බිහි කළාය.
අතිශය බාධක මැද්දේ දරුවා පෝෂණය කළ අතර ඔහුට තනිව ඇවිදීමට හැකියාව ලැබුණු පසු සිඟමනට යොමුකොට, මව්පියන් වෙනත් පළාතකට පලා ගියහ. එතැන් පටන් මෙම ළදරුවා තැනින් තැන සිඟමන් යදිමින් අපිරිසුදුව පිසාචයෙකු මෙන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේය. එක් දිනෙක පිඬු සිඟා වැඩි අර්හත් සැරියුත් මහරහතන් වහන්සේ ඔහුගේ උපනිශ්‍ර සම්පත්තිය අනුව රහත් වීමට භාග්‍ය ඇති බව දැක ඔහු රැගෙන ගොස් බුදුසසුනේ පැවිදි කළහ. පැවිද්දට පත්ව විසිවයස් සම්පූර්ණ වූ පසුව උපසම්පදා කළ අතර නොබෝ කලකින්ම බවුන් වඩා අර්හත් ඵලයෙහි පිහිටි අතර ලෝසක තිස්ස යනුවෙන් ප්‍රසිද්ධියට පත්විය. පෙර ආත්මභවයෙහි කළ අකුශල කර්මයේ බලවත් විපාක වශයෙන් ප්‍රත්‍ය ලාභය නොලැබීමෙන් අතිශය දුකට පත් ලෝසක රහත් තෙරණුවෝ අප්‍රමාණ ලෙස කුස ගින්නෙන් පීඩාවට පත් වූහ.
පිරිනිවන් පාන දිනයෙහි සැරියුත් මහරහතන් වහන්සේ සියතින්ම පාත්‍රය අල්ලාගෙන සිටි හෙයින් කුස පුරා චතුමධුර වැළදීමට හැකියාව ලැබුණි. පිරිනිවන් පාන ලද ලෝසක හිමියන් පිළිබඳ දම්සභා මණ්ඩපයෙහි ඇති වූ සංවාදය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝසක තෙරුන්ගේ අතීත ජීවිත කථාව ඉදිරිපත්කළ සේක. ලෝසක තිස්ස හිමියන් කාශ්‍යප බුදුරදුන් සමයෙහි බුදුසසුන් හි පැවිදිව ප්‍රත්‍යන්ත ප්‍රදේශයක පිහිටි ආරාමයක වාසය කළ අතර එක් දිනෙක එහි පැමිණි රහත් භික්ෂුවක් කෙරෙහි ආවාස මච්ඡරිය හේතුවෙන් ද්වේෂයෙන් කටයුතු කළේය. ගමෙහි ප්‍රධාන දායක තැන විසින් එම රහතන් වහන්සේට ලබාදුන් චතුමධුර පාත්‍රය අසල හේනක ගිනි මැලයකට දමා එම රහත් භික්ෂුවගේ ප්‍රත්‍ය ලාභයද වැළක්වීය. රහත් භික්ෂුව පිළිබඳ දායකයාට නොයෙක් අගුණ ප්‍රකාශ කරමින් දායකයා උන්වහන්සේ කෙරෙහි බිඳවීය.
රහත් භික්ෂුව ආරාමය අතහැර ගිය පසුව තමා කළ පාප කර්මය පිළිබඳ දොම්නස උපදවා ගත් නේවාසික භික්ෂුව මරණය තෙක් මනුෂ්‍ය ප්‍රේතයෙකු ලෙසින් දිට්ඨධම්මවේදනීය වශයෙන් දුකට පත්ව මරණින් පසුව නරකයෙහි උපන්නේය. පිළිවෙළින් ආත්ම පන්සියයක් යක්ෂව ඉපිද ගර්භමල පමණක් ලද්දේය. ආත්ම පන්සියයක් සුනඛ යෝනියෙහි ඉපිද කුසපුරා ආහාරයක් නොලද්දේය. එයින් චුතව මිත්තවින්දක නමින් දුප්පත් කුලයක ඉපිද මහත් දුක් සමූහයක් වින්දේය. ජාතක කථාවෙහි මිත්තවින්දකයාගේ කථා පුවත දීර්ඝව විස්තර කෙරෙන හෙයින් ඒ සියල්ල මෙහි ඇතුළත් කිරිමට නොහැකිය. ලෝසක තිස්ස හිමියන් විසින් අර්හත් භික්ෂුවකගේ ප්‍රත්‍ය ලාභය වැළැක්වීම හේතුවෙන් නිවන් දක්නා ආත්ම භාවය දක්වා තමා කළ පාපකර්මයට අනුරූපීව කුස පුරා ආහාරයක් නොලද්දේය. ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේ සමඟ පිඩු සිඟා වැඩි අනෙක් ස්වාමින් වහන්සේලාටද පිණ්ඩපාතය නොලැබුණි. උන්වහන්සේට කුස පුරා ආහාරයක් ලැබුණේ සැරියුත් හිමියන්ගේ මැදිහත් වීමෙන් පිරිනිවන් පාන්නට සුළු මොහොතකට පෙරය.
රහත් වීමට අවශ්‍ය පින තිබුණත් අතීත අකුශල කර්මය බලවත් හෙයින් මුළු ජීවිත කාලයේම කුසගින්නේ ගතකරන්නට සිදු විය. භික්ෂුවක් අරබයා ඉදිරිපත් කරන ලද මෙම ජාතක කථාව සිංහල බෞද්ධ ජනයා අතර වඩාත් ප්‍රචලිත කථා පුවතකි. කර්මයේ අනුරූප විපාකවල පවතින අතිශය බිහිසුණු ස්වරූපය මෙන්ම ලෝභය හේතුවෙන් මිනිස් සිත අතිශය කෲර තත්ත්වයට පත්වන අයුරු ඉතා ගැඹුරින් විශ්ලෙෂණය කෙරේ. ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ ආරාමික භික්ෂුව තුළ ඇති වූ මසුරු සිත හා බැඳුණු ආකල්පය කොතරම් දරුණු අයුරින් ක්‍රියාවට නැගුණේ ද යන්න ආහාර ගින්නට දැමීමෙන් මෙන්ම දායකයාට ආගන්තුක භික්ෂුවගේ නුගුණ කීමෙන් පැහැදිලි වේ. ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරිය යනුවෙන් මසුරු බව ප්‍රභේද පහකින් යුක්ත වේ. පෙර ආත්මයේ ආරාමික භික්ෂුව (වර්තමාන භවයේ ලෝසක හිමියන්) තුළ ඇති වූයේ මුල් මසුරු ස්වභාවයන් තුනයි. රහත් භික්ෂුව ආරාමයේ වාසය කළ හොත් තමාට යම් කලෙක එය අහිමි වන්නට ඉඩ තිබේ යැයි යනුවෙන් උන්වහන්සේ කෙරෙහි ආවාස මච්ඡරිය ඇතිකරගත්හ. ප්‍රධාන දායකයා රහත් භික්ෂුව කෙරෙහි පැහැදුන හොත් තමාට දායකයාගේ සැළකිලි සත්කාර අහිමි වේයැයි සළකා කුල මච්ඡරිය ඇතිකරගත්හ. රහත් භික්ෂුව ඉදිරියටත් නේවාසිකව වාසය කළහොත් තම ප්‍රත්‍ය ලාභයට හානි වේයැයි සිතා ලාභ මච්ඡරිය ඇතිකරගත්තේය. මේ වනාහි ගිහි වුවද පැවිදි වුවද මසුරු මානසික ස්වභාවයේ පවතින යථා ස්වභාවයයි.
එය කොතරම් සියුම් ආකාරයෙන් පුද්ගල මනසේ පැළපදියංව පවතින්නේද යන්න ආවාසික භික්ෂුව පිඩුසිඟා යාමට පෙර හැසිරුණ ආකාරයෙන් ද රහත් භික්ෂුව වෙනුවෙන් ලද චතුමධුර පාත්‍රය ගින්නට දැමීමට පෙර එය කළ යුතු ආකාරය සැළසුම් කිරීමෙන් ද පැහැදිලි වේ. ගිහි වුවද, පැවිදි වුවද කෙනෙකුගේ වාසස්ථානය අහිමි කිරීමත්, ලාභයට හානිකිරීමත් බරපතල අකුශල විපාක ලැබෙන්නක් බව ලෝසක හිමියන්ගේ අතීත භවය හා සම්බන්ධ කථා පුවත් වලින් පැහැදිලි වේ. ඒ අතරිනුත් කෙනෙකුගේ ආහාරය වැළක්වීම දරුණු විපාක ගෙනදෙන්නක් බව නිවන් දක්නා තෙක් කුසපුරා අහරක් නොලැබීමෙන් ගම්‍ය වේ. කර්මය හා එහි විපාක නොසළකා ඒ ගැන අවබෝධයක් නොමැති වීමෙන් විවිධ හේතු සළකා අන් අයගේ මූලික අයිතිවාසිකම්වලට හානි කිරීම පුරුද්දක් කරගත් බොහෝ දෙනෙක් වර්තමානයේ දක්නට ලැබේ. එැවැනි පුද්ගලයන්ගේ අනාගත ඉරණම යහපත් එකක් නොවන බව මෙම ජාතක කථා පුවතෙන් පැහැදිලි වේ. අනෙක් අතට වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් යනුවෙන් සංස්ථාගතව ඉදිරිපත් කරන සංකල්ප කර්මය හා විපාක යටතේ බෞද්ධ ජාතක කථාවල මැනවින් අන්තර්ගත වී ඇති අයුරු පැහැදිලි වේ. බෞද්ධයා මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය ඇතිකරගත්තේ නෛතික ස්වරූපයෙන් නොව සදාචාරාත්මක සද්ගුණයක් වශයෙනි.
එම සද්ගුණය ක්‍රියාවට නැංවූයේ සම්‍යග්දෘෂ්ටිය පදනම්කරගත් සදාචාරමය ප්‍රඥාව අනුව මිස නීතිය හෝ ඒ හා සම්බන්ධ අධිකරණමය තත්ත්වයන් සැළකිල්ලට ගැනීමෙන් නොවන බව ජාතක කථා විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. වරදක් කළ පසුව වරදකාරී මානසික ස්වභාවය කර්ම විපාකයේ ආරම්භය ලෙස සැළකිය හැකිය. වරද බලවත් වන තරමට වරදකාරී හැඟීමද බලවත් වන බව ජාතක කථාවෙහි එන ආරාමික භික්ෂුව වරදකාරී මානසික තත්ත්වයේ බලපෑමෙන් නිරයේ ඉපදීමෙන් පැහැදිලි වේ. ඇතැම් විට වරදකාරී මානසික ස්වභාවය කෙනෙකු තුළ බරපතල මානසික ආබාධයන් ඇතිවීමට හේතුවක් විය හැකිය. එම පීඩාකාරී මානසික ස්වභාවය දරා ගැනීමට නොහැකි වීමෙන් කෙනෙකු මත් පැනට ඇබ්බැහිවිය හැකි මෙන්ම සියදිවි හානිකරගැනීමට ද පෙළඹිය හැකිය.
මසුරුකම නමැති මනෝභාවය හේතුවෙන් පුද්ගලයා විසින් සිදුකරනු ලැබූ පාපක්‍රියාවෙහි අනුරූපී විපාක අතිශය දුක්ඛදායක බවත් එය මෙලොවට පමණක් නොව අනාදිමත් සංසාරය තුළ දුකට කාරණයක් වන ආකාරයත් ලෝසක ජාතකයේ මැනවින් නිරූපණය වී තිබේ. ආරාමික අර්බුද මෙන්ම ගෘහස්ථ ජීවිතය හා සම්බන්ධ ඇතැම් ගැටලු විසඳා ගැනීමේදී ලෝසක ජාතකයෙන් ලැබෙන ආදර්ශය ඉමහත්ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නවම් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා වන බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment