Labels

Thursday, May 11, 2017

පිරිහෙන ගෙවල්

කුටුම්භ සංරක්‍ෂණයේ යෙදෙන සියලු ගිහි පිංවතුන්ගේ බලාපොරොත්තුව පැහැබර අනාගතයට තම පවුල යොමු කිරීමයි. ඒ වෙනුවෙන් දිවා රෑ අසීsමිතව කටයුතු කරන ඔවුහු බොහෝවිට කායික හෝ මානසික සුඛවිහරණය ද අනාගතය වෙනුවෙන් කැපකරති. එහෙත් ඉලක්‌ක කරා හැල්මේ දුවන බොහෝ දෙනෙක්‌ ඉලක්‌කයම එකම ජීවන අරමුණ යෑයි සිතීම මුලාවකි. ඉලක්‌කය දිනාගන්නා දිනය පිළිබඳ සිතේ ඇති බලාපොරොත්තු ගමනට ඉන්ධන ද සපයන බව සැබෑ වුවත් දහනය වන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය නම් එය කෙතරම් මුලාවක්‌ද?
භද්දේකරත්ත සූත්‍රයේදී (සොඳුරු එක්‌ රැයක්‌ ගැන කළ දෙසුම) බුදුන්වහන්සේ වදාළේ වත්මන් මොහොතේ සැනසීමෙන් ජීවත්වීමේ වැදගත්කමයි. ඒ ස`දහා පුද්ගලයෙකුට ජීවිතය පිළිබඳ යථා අවබෝධයක්‌ තිබිය යුතුයි. සැබැවින්ම ඉලක්‌කය මෙන්ම ගමන ගමන් ගන්නා අයුරු පිළිබඳවද මනා සිහියක්‌ පැවැත්විය යුතුයි. මන්ද ගෙවෙන්නේ යළි ළගාකරගත නොහැකි කාලය නිසයි. හැම මොහොතක්‌ම වටිනාකමෙන් අනූන මොහොතක්‌ බව සිතමින් ජීවත්විය යුතු ජීවිතයේ බොහෝ දෙනෙක්‌ තම පවුලේ අනාගත අභිවෘද්ධියට කටයුතු සැලසීමේදී දියුණුව බිඳ වැටෙන කරුණු හතරක්‌ පිsළිබඳව සැළකිලිමත්විය යුතු බව අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ කුල සූත්‍රයේදී දක්‌වා තිබේ.

1. නැතිවුණ දෑ නොසොයන්නා 
('නට්‌ඨං න ගවේසංතො')

යමෙක්‌ නැති වුණ දේ පිළිබඳව සැලකිලිsමත් නොවන්නේ නම් ඒ මිනිසුන්ගේ පවුල පිරිහීමට පත්වේ. සැබැවින්ම එය කොතරම් වටිනා උපදේශයක්‌ද? බොහෝවිට භෞතික සම්පත් නැති වුණ විට ගෙවල්වල සිදුකරනුයේ අලුත් භාණ්‌ඩයක්‌ ඒ වෙනුවට මිලදී ගැනීම නොවේද? වැඩෙන දරුවන් බොහෝදෙනෙක්‌ නැතිවුණ දේ සොයාගැනීමට මහන්සිවෙනවා වෙනුවට තම දෙමවුපියන් ලවා අලුත් එකක්‌ ගෙන්වා ගැනීමට පෙළඹෙති. එය පිරිහෙන ගෙයක ලකුණකි. අරපිරිමැස්‌ම පිළිබ`දව කියාදෙන මේ පාඩම අපේ වැඩිහිටියෝ ඉතා හොදින් සැලකිලිමත් වූ කරුණක්‌. ඉස්‌සර ගැමි ගෙවල්වල පැලැස්‌තර හත අට දැමූ කළගෙඩි වතුර ගෙනයන්නට ළිං ළඟට කිසිම ලැඡ්ජාවක්‌ මදිකමක්‌ සේ නොසලකා ගෙන එන්නට අපට පුළුවන් විය. එසේ අරපිරිමැස්‌මෙන් කටයුතු කරන අය පිළිබ`දව සමාජයේ සුභවාදී ආකල්පයක්‌ද පැවතුණි. එහෙත් අද තත්වය එය නොවේ. පාචිච්චි කරන භාණ්‌ඩ වල ඇති වෙළඳ නාම හා අලුත් බව මත පුද්ගල තරාතිරම් මනින ක්‍රමයක්‌ බිහිව තිබේ. පරණ ඇඳුම, ජංගම දුරකථනය වාහනය තම අවශ්‍යතාවය පිරිමසා ගැනීමට හැකි මට්‌ටමක තිබියදීම අලුත් මොඩල් එක තෝරා ගැනීම විලාසිතාවකි. මේ තත්ත්වය පුද්ගලයෙක්‌ පිරිහීම කරාම යොමුකරයිs. භෞතික භාණ්‌ඩ පමණක්‌ නොව ආධ්‍යාත්මිකව නැතිවන දේවල් ද යළි සොයාගත යුතුය. අපේ වැඩිහිටි පරපුරේ අය පවත්වාගෙන ආ යාවත්කාලීන වටිනාකමක්‌ සහිත අපේ උදාර ගති පැවතුම් නැති වූ විට විමසිලිමත් නොවන්නේ නම් ඒ ගෙවල් පිරිහෙන බව පැහැදිලි කරුණකි. මේ අනුව 'නට්‌ඨං න ගවේසංතො' යන අවවාදය අද සමාජයට පුළුල් සංවාදයකට ඉඩ විවරකරන බව පෙනේ.

02. බිඳුණ දේ නොහදන්නා 
(ජිණ්‌ණං න පටිසංකරොන්තො)

කැඩුණු බිඳුණු දේ යළි පිළිසකර කර නොගන්නා අය සිටින පවුල පිරිහෙන බව යටකී සූත්‍රය දක්‌වයි. යළි පාවිච්චියට ගත හැකි දෑ උපරිමයෙන් පාවිච්චියට ගැනීම බෞද්ධයෙකුගේ සිරිත විය යුතුය. අද වන විට බොහෝ ගෙවල්වල මේ මූලධර්මය අමතකකර තිබේ. මුළු ලෝකයේම විද්වත් මිනිසුන් අසීමිත මිනිස්‌ පරිභෝජනයට ලොව සම්පත් ප්‍රමාණවත් නොමැති බව වටහාගෙන සම්පත් යළි භාවිතය පිළිබ`දව අවධානය යොමුකර ඇති යුගයක අපේ රටේ මිනිසුන් අසීමිතව ප්‍රයෝජනයට ගත හැකි සම්පත් ඉවත දමමින් සිටියි. ගෘහස්‌ථ භාණ්‌ඩ බොහෝමයක්‌ මෙම ඉරණමට හසුවී තිබේ. බොහෝවිට අඩු වියදමකින් බාල වර්ගයේ බඩුවලින් ගෙවල් පුරවාගන්නා මිනිසුන් ඉතා ඉක්‌මනින් පරිභෝජනයෙන් ඉවත්වන සේ සාදා ඇති එම භාණ්‌ඩ ඉවත් කර නැවත තවත් එවැනිම එකක්‌ ගෙන එති. ඉස්‌සර සපතේරුවන්ට වැඩ තිබිණි. ඇඳුම් මසන්නන්නට වැඩ තිබිණි. 

කම්මල්කරුවන්ට වැඩ තිබිණි. දැන් ඒ සියලු දෙනාත් ඇඟලුම් කර්මාන්තශාලා වැනි ආයතනවල සේවයට යන බව පෙනේ . මන්ද මිනිස්‌සු පාවිච්චි කරන්නේ අලුත් දෙවල් නිසාම ඔවුනට වෙන විකල්ප නැත. ඕනෑම නිවසක ටිකෙන් ටික කැඩී බිඳීයන දෑ මුලදීම ප්‍රතිසංස්‌කරණය කරගන්නේනම් ඒ සම්පත් දීර්ඝකාලීනව පාවිච්චි කළ හැකිය. කුඩා සිsදුරකට විශාල නැවක්‌ ගිල්විය හැකි සේ පුංචි පුංචි දේ කලින් පිළිසකර කර නොගැනීම අවාසනාවන්ත කතාවක මුල් පේළි කීපය ලිවීමකි.

03. අපරිමිත පරිහරණය 
(අපරිමිත පාණභොජනා හොන්ති)

සම්පත් අසීමිත පරිහරණය පිරිහෙන ගෙයක ලක්‍ෂණයකි. වෙළඳපොළ තරගකාරීත්වයට හසුවන බොහෝ පාරිභෝගිකයෝ නිෂ්පාදකයින්ගේ ගැටවලට හසුවෙති. වෙළඳ දැන්වීම්වලට මුලාවෙති. කිසිදු පදනමක්‌ නොමැති දෑ විශ්වාස කරති. මේ බොරදියේ තරම දන්නා කූට සේරිවාණිජයන් මිනිසුන් අසීමිත පරිහරණයට තල්ලු කරයි. තුන් වේලක්‌ බත් කෑ අයට අමතර පුංචි බඩගිනි හැදෙති. හත්මුතු පරම්පරාවකට නෑසූ අස්‌ථි රෝග ගැන බියවෙති. නොයෙක්‌ විටමින් වර්ග පානය කරති. අතිධාවනකාරී තරග රටාවේ තරග කරුවන් වන මිනිසුන් සුපර් මාර්කට්‌ රැල්ලට එක්‌වෙති. අවශ්‍ය භාණ්‌ඩ දෙක තුනක්‌ ගන්නවා වෙනුවට කරත්තයක බඩු පුරවාගෙන තල්ලුකරගෙන යාම නම්බුවක්‌ සේ හිතති. පයින් ගිය ගමන් වාහනයෙන් යාමටත් ගිහින් කියපු පණිවිඩ කෙටි පණිවිඩ මගින් කියන්නටත් පෙළඹෙති. අහෝ මෙය මායාවක්‌ වූ තරමක මහත. අවසානයේදී බොහෝ මිනිසුන් දෛනිකව පොලී ගෙවන ණය කාරයන් වී හමාරය. එබඳු ගෙවල් නොපිරිහී තියේද?

04.අධිපතියා දුසිල් වීම 
(දුස්‌සීලෙ ඉත්ථියා වා පුරිසං වා ආධිපච්චෙ ඨපෙති)

ඕනෑම කණ්‌ඩායමක ඉරණම තීරණය කිරීමට නායකයාට පුළුවනි. ප්‍රතිපත්ති ගරුක නොවන ගුණ දහමින් හීන නායකයෙක්‌ ඇති ගෙදරක ඉරණම පිරිහීමයි. මව පියා ආදර්ශවත් ගුණ ගරුක අය නොවුවහොත් එම නිවසේ දැක්‌ම බිඳවැටේ. දරුවන් ඇතුළු අනුගාමිකයන්ගේ අනාගතයට බලපාන අංක එකේ සාධකය මුදල් හෝ ඉඩකඩම් නොවේ ගුණගරුක මගපෙන්වීමයි. 

පරමාදර්ශී නොවන මගපෙන්වන්නන් පසුපෙළ ගෞරවයට පාත්‍ර නොවන නිසා ඔවුහු තම කණ්‌ඩායම මෙහෙයවා ගැනීමට අසමත් වෙති. අවසානයේදී අත්තනෝමතික තීරණවලට එළෙඔන සාමාජිකයෝ පවුල කඩා ඉහිරවති. බිද වැටුණු බොහෝ පවුල්වල එම ෙ€දනීය ඉරණමේ වගඋත්තරකරුවන් වී ඇත්තේ පිරිහුණ චරිත ඇති දෙමාපියන්ය. එබැවින් බෞද්ධ නිවසක නායකත්වය තම සාමාජිකයින් වෙනුවෙන් අසීමිත කැප කිරීම් ස`දහා සූදානම් වූ ධාර්මික ඒවා විය යුතුය.

වත්මන් සමාජයේ ඇති බහුලම අර්බුදය පවුල් අරගලයයි. නමුත් කලාතුරකින් සාර්ථක පවුල් ඒකක දැකිය හැකිය. එම සාර්ථක සෑම පවුලකම ඇති රහස 

පරමාදර්ශී නායකත්වයයි. තම මව- පියා චරිතවත් නොමැති නම් ඒ බව මුලින්ම ඉවෙන් වටහාගන්නේ දරුවන්ය. 

වැහිකෝඩයට අසු වූ ලුණු මිටක්‌ මෙන් එයින් දෙගුරුන්ගේ පෞරුෂය විනාශ වී යයි. බොහෝ වැඩිහිටියන් දරුවන්ගේ නොමනාකම් දැක දැකත් නිහඬව ඉන්නේ හෘද සාක්‍ෂියට එකඟව ඔවුන්ට දරුවන්ට විරුද්ධ වීමේ ආත්ම ශක්‌තියක්‌ නොමැති නිසයි. පසුව එම මඩ ගොහොරුවේම දරුවන් ද ගිලී යයි. එයින් ජීවිත තෘප්තිය නැතිවී අසහනය මනසේ වර්ධනය වේ. අද බොහෝ දෙනෙකු සිටින්නේ මුලක්‌ සොයාගත නොහැකි මෙම ප්‍රශ්නයේ ගිලෙමිනි. මානසික සැනසීමෙන් පිරිපුන් ජීවිතයක්‌ ගත කිරීමට පවුලේ සියලු සාමාජිකයින්ට අවස්‌ථාව ලබාදීම සඳහා කුල සූත්‍රයේ අඩංගු මෙම කරුණු හතර කෙතරම් අදාළ කරගත හැකිදැයි සිතන්නට කාලයයි.




ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත මැණික්‌කඩවර ධම්මරංසි හිමි
නියෝජ්‍ය පරිවෙනාධිපති, ධම්මානන්ද මූලික පිරිවෙන, මැටිකුඹුර,පොල්ගහවෙල


2017 අප්‍රේල් 10 වැනිදා සඳුදා දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment