ඉවසීම පාරමිතාවකි. නිවන් මඟ සාක්ෂාත් කිරීමට වෙසෙසින් පුරුදු පුහුණු කළ යුතු උතුම් ගුණයකි. ද්වේෂයෙන් අගතියට ගිය කලාබු රජු බෝසත් තාපසතුමන්ට අපමණ හිරිහැර කළේ ය. කස පහර දුන්නේ ය. අත් පා කපා දැමුවේ ය. එහෙත් ඒ සියලු වේදනා උන්වහන්සේ මෛත්‍රී සිතින් ඉවසූහ. ක්ෂාන්තිවාදී ජාතකයේ එන බෝසතාණන් වහන්සේගේ ඉවසීම අප ගේ ජීවිතයට මාහැඟි ආදර්ශයකි. සාමාන්‍ය ජීවිතයේ සුළු කරුණක දී ත් වහා කිපෙන, කලහ කරන සැමට බෝසතාණන් වහන්සේ තුළ වූ ඉවසීමෙන් අංශු මාත්‍රයක තරම්වත් ඉවසන්නට පුරුදු පුහුණු කරනවා නම් ලද හැකි සැනසුම සුවිශාල ය.
වෛරය, ක්‍රෝධය වඩාත් වැඩෙන්නේ ඉවසුම් නැති තැන ය. ක්‍රෝධය වැඩි තැනැත්තා හොඳ නරක තේරුම් නො ගනී. ධර්මය අධර්මය නො දනී. මව, පියා, සැමියා, බිරිය, මිතුරා, මිතුරිය, අසල්වැසියා, ආගන්තුකයා නොහඳුනන්නේ එවැනි පසුබිමක ය. ඇතැම් විට සමහර අය ඉවසුම් නොදෙන්නේ ඉඩ, කඩම්, දේපළවලටය. සිතූ පැතූ දෙයක් නොලැබූ විටෙක ය. කවදා හෝ දිනෙක මේ සියල්ල හැර දමා ජීවිතයෙන් සමුගන්නට සිදුවේ. ගෙනයන්ට තිබෙන්නේ කළ කම් පමණකි.







































