Labels

Wednesday, August 12, 2015

පළමු දම් දෙසුමට යන අතරමඟදී බුදුරදුන්ට උපක ආජීවක හමුවේ



ඇසල පොහොය කාටත් වැදගත් වන්නේ බුද්ධ චරිතය සම්බන්ධව සිදුවූ සුවිශේෂි සිද්ධීන් හේතුකොටගෙනය. ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ පළමු ධර්ම දේශනයයි. මිහිමත කෙනකුට කරන්නට බැරි තරම් කැප කිරීමක්‌ කරමින් බුද්ධත්වය ලබාගත් බුදුරජාණන් වහන්සේ එය දේශනා කිරීමේ සුවිශේෂි අවස්‌ථාව ඇසල පොහොය හා සම්බන්ධව පැවැතීම ඉතා වැදගත් වේ.


උන්වහන්සේ සය අවුරුද්දක්‌ දුෂ්කර ක්‍රියා කරමින් එහි ප්‍රතිපලයක්‌ විඳ එයින් තම සොයන නිවන් මඟ ලබාගැනීමට නොහැකි බව තේරුම් ගෙන, ශරීරයට සැප දී එහි ප්‍රතිඵලය ද විඳ එයිනුත් තමන් සොයන නිවන් මඟ නොලැබෙන බව දැන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළහ. අත්තකිලමතානුයෝගය හා කාමසුඛල්ලිකානුයෝගය යන අන්තද්වය අතැර මධ්‍යම ප්‍රතිපදාව නොහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්‌සේ ගමන් කළ උන්වහන්සේට නොබෝ කලකින්ම නිර්වාණය සාක්‌ෂාත් කර ගැනීමේ භාග්‍ය උදාවිය.

එදා ඇසතු රුක මුලදී සියලු කෙලෙසුන් නැතිකොට, මිනිසෙක්‌ වශයෙන් ඉපදී ලැබිය හැකි උසස්‌ම පදවිය වන බුද්ධත්වය ලැබීමේ ඒ උතුම් සිදුවීම හා සමානම සිදුවීමක්‌ ලෙස පළමු ධම්දෙසුම හැඳින්විය හැකිය.

බුදුරජාණන්වහන්සේ අවබෝධකරගත් ගැඹුරු ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයාට දේශනා කිරීමට තරම් සුදුසුද එය දේශනා කිරීමෙන් කෙලෙස්‌ බර සත්වයාට අවබෝධ කර ගැනීමට හැකි වේද යන්න ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ කුතුහලයට හේතුවිය. එම අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේගේ සිතෙහි උදාසීන බවක්‌ ඇතිවී දැයි සිතූ සහම්පතී මහා බ්‍රහ්මයා දස දහසක්‌ සක්‌වල දෙව්බඹුන් සහිතව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්‌කාර කොට මෙසේ ප්‍රකාශ කළේය.

උට්‌ඨෙහි චීර විජිත සංගාම

සත්ථවාහ අණන වීචර ලොකේ

දෙසස්‌සු භගවා ධම්මං

අඤ්ඤාතාරො භවිස්‌සන්ති

යනුවෙන් වීරයන් වහන්ස, මාර යුද්ධයෙන් ජයගත් උත්තමයන් වහන්ස, ලෝක සත්වයා සසර කතරින් එතෙර කරනු මැනව, ලොව හැසිරෙනු මැනව, ණය නැති උත්තමය, නැගී සිටිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසනු මැනව, ඔබ වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු වූ ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු සත්වයෝ ඇත්තාහ. දහම් දෙසනු මැනවැයි ආරාධනා කළහ.

කෙලෙස්‌වලින් බරවූ පුද්ගලයන් විසින් සිතූ මිත්‍යා දෘෂ්ටීන්ද මීට පෙර මගධයෙහි පහළ විය. එහෙයින් ඔබ වහන්සේ නිවනට දොර හරිනු මැනව. භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධකරගත් ශ්‍රී සද්ධර්මයම සත්පුරුෂයෝ අසත්වා. පර්වතයක්‌ මුදුනෙහි උන් පුරුෂයෙක්‌ පර්වතය පාමුල සිටිනා මිනිසුන් පහසුවෙන් දක්‌නේය. එසේම සියල්ල දක්‌නා නුවණ ඇති මහා ප්‍රාඥයන් වහන්ස, ධර්ම නමැති පර්වතයට නැගී ඔබ වහන්සේ ශෝක රහිතයෙක්‌ව ශෝකයෙහි වැටුනා වූ ජාති, ජරා, දුකින් වඩනා වූ සත්වයන් දෙසූ නුවණින් බලමු මැනවි. ධර්මය දේශනා කරනු මැනවැයි යනුවෙන් සහම්පතී මහා බ්‍රහ්මයා ආරාධනා කර සිටියහ.

ඊට පසු බුදුරජාණන් වහන්සේ සහම්පතී මහා බ්‍රාහ්මයාගේ ආරාධනය මහා කරුණාවෙන් ඉවසා වදාළහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කෘතගුණ සැලකීමක්‌ වශයෙන් සිතා පළමුව ධර්මය දෙසිය යුත්තේ කවුරුන් හටදැයි සිතූහ. පළමුව තමන්ට උපකාර කළ නැත්නම් ගුරු වූ භාර්ගව, ආලාරකාලාම සහ උද්දකරාමපුත්ත යන ප්‍රථම ධ්‍යානලාභීන්ට ප්‍රථම ධර්ම දේශනාව කිරීමට සිතා බැලුවත් මේ වන විට ඒ අය ජීවත් නොවුන නිසා කලක්‌ තමන් ඇසුරු කළ තමන්ට උපකාර කළ ඥන සම්පත්තියෙන් මුහුකුරා ගිය කොණ්‌ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්‌සජී සහ පස්‌වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව කිරීමට තීරණය කරගත්හ. තමන් වහන්සේ සය අවුරුද්දක්‌ දුෂ්කර ක්‍රියා කරන සමයේ පස්‌වග තවුසන් තමන්ට උපස්‌ථාන කළ බවත් මේ වන විට ඔවුන් බරණැස මිගදායේ සිටින බවත් දැන ඔවුන්ට පළමු ධර්ම දේශනය කිරීම සුදුසු බවත් සිතා ඒ සඳහා පිටත්වූහ. ඒ බව ම.නි. අරියපරියේසන සූත්‍රයේ විග්‍රහ කර ඇති අයුරු වැඩිදුරටත් පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේට විශාල දුරක්‌ ඔවුන් සොයා යැමට සිදුවිය. යොදුන් දහඅටක්‌ දුර යැමට තිබූ බැවින් බුදුරජාණන් වහන්සේ පයට පාවඩවත් නැතිව ගමන් ආරම්භ කළහ. එසේ ගමන් ආරම්භ කළ බුදුරජාණන් වහන්සේට ශ්‍රී මහා බෝධින් වහන්සේටත් ගයාවටත් අතර මගදී උපක ආජීවක හමුවිය.

ආජීවක යනුවෙන් හැඳින්වෙන්නේ බුද්ධ කාලයේම විසූ පරිබ්‍රාජක පිරිසකි. මේ ශාස්‌තෘන් අතර මක්‌ඛලිගෝසාලගේ අනුගාමික පිරිස ආජීවක නමින් හඳුන්වන ලදී. මෙම උපක ආජීවක තෙමේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රසන්න ඉන්ද්‍රීය සංවරය දැක බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසූහ. 'ඇවැත්නි, ඔබගේ ඉන්ද්‍රියෝ ප්‍රසන්නය. ශරීර වර්ණය පිරිසිදුය. ඔබ කවුරුන් උදෙසා පැවිදි වූයේද? ඔබගේ ශාස්‌තෘවරයා කවරෙක්‌ද? ඔබ ප්‍රියකරන දහම කුමක්‌ද? ආදී වශයෙනි. පසුව බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

සබ්බාභිභූ සබ්බ විදූහමස්‌මි

සබ්බේසු ධම්මේසු අනුපලිත්තො

සබ්බඤ්ජහො තණ්‌හක්‌ඛයෙ විමුත්තො

සයං අභිඤ්ඤාය කමුද්දි සෙය්යං

කාමභව, රූපභව, අරූප භවයන්ට අයත් සියලු ධර්මතා මම මැඩ පැවැත්වූයෙමි. කාම, රූප, අරූප, ලෝකෝත්තර යන සිව් භූමීන්ට අයත් සියල්ල දැනගත්තෙමි. භවත්‍රයෙහි පිහිටි කිසිවක්‌ කෙරෙහි නොඇලුණෙමි. සියල්ල ඉක්‌මවා සිටියෙමි. නිවන අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදුනෙමි. මට ගුරුවරයෙක්‌ නැත. අනුන් වෙතින් අසා දැනගත් ධර්මයක්‌ අවබෝධ නොකළෙමි.

නමෙ ආචරියො අත්ථි

සදිසො මෙ න විඡ්ජති

සදෙවකස්‌මිං ලොකස්‌මිං

නත්ථි මෙ පටිපුග්ගලො

ලෝකෝත්තර ධර්මය අවබෝධ කර ගැනීමෙහිලා මට උදව් වූ ගුරුවරයෙක්‌ නැත. එමෙන්ම මට සමාන වූවෙක්‌ද නැත. දෙව් මිනිසුන් අතර මා හා සමාන කෙනෙක්‌ නැත.

අහංහි අරහා ලොකෙ

අහං සත්ථා අනුත්තරො

ඒකොම්හි සම්මා සම්බුද්ධො

සීතිභූතොස්‌මි නිබ්බුතො

මම සියලු ලෝකයෙහි අරහත් වෙමි. නිරුත්තර වූ අනුශාසක වෙමි. කිසිවකුගේ උපදෙසක්‌ නැතිව දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළෙමි. සියලු කෙලෙසුන්ගෙන් මිදුන නිසා ගත සිත සිසිල් වූයේ වෙමි.

ධම්ම චක්‌කං පවත්තෙතුං

ගච්ඡාමි කසිණං පුරං

අන්ධභූතස්‌මිං ලෝකස්‌මිං

අභඤ්ජං අමත දුංදුභිං

මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස්‌ නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි.

මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ වංශය ගැන හෝ කුල පරම්පරාව ගැන හෝ පියාගේ බලවත්කම ගැන හෝ ප්‍රකාශ නොකළේය. එහිදී බුදුරජාණන් වහන්සේ උපක ආජීවකයාට තමා කවුරුන්ද යන්න පහදා දුන්නේ නිරුත්තර ගුණයම ගැන ප්‍රකාශ කරමිනි. අවසානයේදී ඒ සියල්ල ශ්‍රවණය කළ උපක ආජීවකයා ඇවැත්නි, ඔබ කී පරිදි අනන්ත ජින වන්නට සුදුසු වන්නේ යෑයි කීහ. යළිත් උපක ආජීවකයාට පිළිතුරු දුන් බුදුන්වහන්සේ.

මාදිසා වෙජිනා හොන්ති

යෙ පත්තා ආසවක්‌ඛයං

ජිතා මෙ පාපකා ධම්මා

තස්‌මා හං උපකාජිනො

රහත් බවට පැමිණි මා වැනි යම් කෙනෙක්‌ වෙත් නම් ඔවුන් ඒකාන්තයෙන් ජින නම් වෙති. මම සියලු පාපයන් සිදුකරන ක්‌ලේශ ධර්මයන් දිනූ බැවින්ම අනන්ත ජින නම් වෙමි යි වදාළහ.

තමා භවත්‍රයට අයත් සියලු ධර්මයන් මැඩ පැවැත්වූ බවත්, සියල්ල අවබෝධ කළ බවත්, ජින නාමය තමාට සාකල්‍යයෙන්ම සුදුසු බවත් බුදුරදුන් වදාළහ.

මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ හිස සලා එසේ විය හැකි යෑයි ප්‍රකාශ කොට වංගහාර ජනපදය බලා පිටත්ව ගියේය. මෙම හමුවීමෙන් පසු බුදුරජාණන් වහන්සේ යොදුන් දහඅටක්‌ දුර ගෙවා බරණැස්‌ නුවර ඉසිපතනාරාමයට වැඩම කළ සේක. එනම් බුද්ධත්වයෙන් දින 60 ක්‌ නොහොත් දෙමසක්‌ ගතවූ තැනදී මෙම සුවිශේෂී සිදුවීම සිදුවිය. එදින ඇසල මස පුරපසළොස්‌වක පොහෝ දිනය වීමද බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වේ.

පස්‌වග තවුසන්ට පළමු ධර්ම දේශනාව සිදුකිරීමට ගිය ඒ දුෂ්කර ගමන් මග ඉතා චමත්කාරජනකය. මග දෙපස සතා සිවුපාවුන් පවා, ගස්‌ කොළන් පවා නිහතමානීව බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ඇසීමට මෙන් මගබලා සිටියහ. සසර පෙර භවයන්වල ඇස්‌, හිස්‌, මස්‌, ලේ පමණක්‌ නොව අඹුදරුවන් පවා දන්දී දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරමින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය තුන් ලෝවාසීන්ටම අමෘතයක්‌ සේ විඳගන්නට මගපාදා දුන්නේ ඇසල මස පුර පසලොස්‌වක පොහෝ දිනයේදීය. එම දහම් පණිවුඩය අසා කොරුන්, බිහිරන්, ගොළුන්, අන්ධයින් සුවපත් වූහ. භව කතරේ දුකෙහි නිමග්නව සිටි බොහෝ දෙනෙක්‌ අමෘත මහා නිර්වාණය ලබාගත්හ.


 කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙණේ ආචාර්ය,
පූජ්‍ය ගලගෙදර රතනවංශ හිමි


 2015 ඇසල මස 31 වැනිදා සිකුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment