නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යානි කානිචි භික්ඛවෙ තුලානි
භොගෙන මහන්තං පත්තානි න
චිරට්ඨිතිකානි සබ්බානි තානි චතුහි
ඨානානි එතේසං වා අඤ්ඤතරෙන
කතමේහි චතුහි
සම්මා සම්බුද්ධස්ස
යානි කානිචි භික්ඛවෙ තුලානි
භොගෙන මහන්තං පත්තානි න
චිරට්ඨිතිකානි සබ්බානි තානි චතුහි
ඨානානි එතේසං වා අඤ්ඤතරෙන
කතමේහි චතුහි
අංගුත්තර නි. චතුක්ක නිපාතය, කුල සූත්‍රය
පින්වත්නි,
ඉහත ගාථා පාඨයෙන් අපේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පරිහානියට හේතුවන කරුණු කීපයක් ඇති බව පෙන්වා දුන්හ. “යම් පුද්ගලයෙකු ළඟ හෝ, යම් පවුලක හෝ ගෙදරක, යම් ආයතනයක, පුද්ගල සමූහයක් අතර නැති වූ දෙය නොසොයයි ද, කැඩුණු බිඳුණු දෙය ප්‍රතිසංස්කරණය නොකරයිද, පමණ ඉක්මවා පරිභෝජනය කරයිද? දුස්සීල කාන්තාවක් හෝ පුරුෂයෙකු, නායකත්වයට පත් කරයිද, යන මේ කරුණු පරිහානිය ඇති කරන්නේ ය යනුවෙනි.
පින්වත්නි,
අප සන්තක දේ, නම් ජීවිතයක් ගෙන යාමට අවශ්‍ය බඩුබාහිරාදිය, මිල මුදල්, ඇඳුම් පැළඳුම් ආදියයි. ඒවා විවිධ හේතු නිසා නැතිවිය හැකියි. අස්ථානගත විය හැකියි. සොරසතුරන් විසින් පැහැර ගනු ලැබීමට පුළුවනි. එසේ වුවහොත් තම අවශ්‍යතා සපුරා ගැනීමට නැවත වියදම් කළ යුතු ය. කාලය, ධනය, ශ්‍රමය කැප කළ යුතු ය. ඉදිරි ගමනට එය බාධාවකි. යම් භාණ්ඩයක් තමා සතු කර ගන්නේ හැකි කලක් එයින් ප්‍රයෝජන ගැනීමටයි. එය අකාලයේ නැති වුවහොත් නැවත නැවත ඒ වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එය ආර්ථිකයට මෙන්ම කායිකවද පරිහානියට හේතුවකි. එනිසා හරිහම්බ කරගත් දෙය ආරක්ෂා කරගෙන වැඩි කාලයක් ඵල ප්‍රයෝජන ගැනීම සාර්ථක ජීවිතයකට හේතු වෙයි. තමන් සන්තක දෙය වැඩි කලක් ආරක්ෂා කරගෙන ප්‍රයෝජන ගැනීමටත්, නැති වූ දෙය නැවත සොයා ගැනීමටත්, නැතිවීමට ඉඩ නොදී ඒවා ආරක්ෂා කර ගැනීමටත් දියුණුව පතන කවුරුත් උත්සාහ කළ යුතුය.
පින්වත්නි,
අප සන්තක බඩුබාහිරාදිය කැඩී බිඳී විනාශ වීමට පුළුවන. සියලු දේවල ස්වභාවයද එයයි. එසේ වීමට ඉඩ නොතබා හැකි කලක් ආරක්ෂා සහිතව පවත්වා ගනිමින් ප්‍රයෝජන ගැනීම දියුණුවට කාරණයකි. ඇතැම්විට තමන්ගේ නොසැලකිල්ල නිසා ඒවා විනාශ වෙයි. කැඩෙයි. බිඳෙයි. එවිට නැවත ඒවා සපයා ගැනීමට කාලය ධනය ශ්‍රමය කැප කළ යුතු යි. සිවුරක් වුවද ඉරී ගියවිට නැවත මසාගෙන පරිහරණය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. අතීතයේ සිටි අපේ මුතුන් මිත්තන්, භෞතික භාණ්ඩ කැඩී බිඳී යාමට නොදුන්නාසේම, කැඩුණු බිඳුණු විට නැවත පිළිසකර කර ගත් ආකාරය අප අසා තිබේ. තම නිවසේ වහලය සෙවිලි කළ උලුකැටය කැඩීගිය පසු නැවත අලුත් උළු කැටයක් යොදා ගැනීමට ගෙහිමියා නොසැලකිලිමත් නම්, ඔහුට නුදුරු දිනයකදීම සම්පූර්ණ වහලයම සකස් කිරීමට, කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදුවෙයි.
ඇඳුමක් වුවද ඉරීගිය විට එය මසා ගැනීම අවනම්බුවක් නොවේ. අපේ වතුපිටි කුඹුරු, මංමාවත්, මිදුල් ආදිය සෝදා පාලු වී විනාශ වී ගිය පසු ඒවා නැවත පිළිසකර කර ගැනීමට උත්සුක නොවන ඇතැම් පුද්ගලයන් නිසා, තමන්ට මෙන්ම පරිසරයටත් කෙතරම් පාඩුවක් වේද? ගස් කොළන් වුවද කපන්නේ නම් ඒ වෙනුවට නැවත පැලයක් සිටුවීම ලෝකයාගේ පැවැත්මට හේතු වේ. මෙවැනි කරුණු ගැන සැලකිලිමත් නොවන්නා අනිවාර්යයෙන්ම පිරිහීමට පත්වේ.
පමණ ඉක්මවා කරන පරිභෝජනය ද පරිහානියට හේතුවකි.තිබෙන අය කරන වැඩි පරිභෝජනය පිළිබඳ කිසිසේත්ම නොසිතන අතර, නැති අය සිවුපසයවත් සපයා ගත නොහැකිව ළතැවෙන අයුරු පෙනෙයි. අත්‍යවශ්‍ය නොවන දේට කෙතරම් මුදල් වැය කරන අය කෙතෙක් ද? නමුත් නැති අයට අත්‍යවශ්‍ය දේවත් නොමැතිව පීඩාවට පත්ව දුක්විඳින අයුරු ශෝචනීය කරුණකි. උපයන සියලු දේ වැය කර ජීවත්වීම බුදුදහම අගය නොකරයි.
මෙහිදී, "ඒකෙන භෝගෙ භුඤ්ජෙය්‍ය
ද්වීහී කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ද්වීහී කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති’ යන බුද්ධ දේශනය ඉතා වැදගත් වෙයි. උපයන දේ කොටස් හතරකට බෙදා කොටසක් පරිභෝජන කටයුතුවලට ද කොටස් දෙකක් රැකියාවේ දියුණුව පිණිසද, සිව්වන කොටස ආපදා වැනි අවස්ථාවලට ගැනීමට තැන්පත් කර තැබීමද වැදගත් වෙයි. උපයන හැමදෙයක්ම වැය කිරීමද, පමණ ට වඩා පරිභෝජනය ද, ලෝභ කමින් නොකා නොබී ඉඳිමද නො කටයුතු ය.
පින්වත්නි, පරිහානිකර තවත් කරුණක් නම්, අවිචාරවත් ලෙස, දුස්සීලව කටයුතු කරන, කාන්තාවක් හෝ පුරුෂයෙකු නායකත්වය සඳහා පත්වීමයි. ඔහුගේ හෝ ඇයගේ උදාර අදහස් නැත. විනාශකාරී මෙන්ම අනර්ථකර අදහස් හා පවිටු අදහස් ඔවුන් තුළ තිබෙයි. ඔවුන්ගේ පිළිවෙත් හැමවිටම පරිහානියට අතවනයි.
ඕනෑම තැනක නායකත්වයකට පත්වීමේ එක සුදුසුකමක් නම් යහපත් චරිතයක් ඇත්තෙකුවීමයි. එසේ නොවන්නන් නායකත්වයට පත්වීම මුළු සමාජයේම පරිහානියට හේතු වනු ඇත.
බුද්ධ දේශනා අතරින් වැඩි කොටසක් අදාළ වන්නේ පරිහානියට නොව දියුණුවටයි. මනුෂ්‍ය වර්ගයාගේ උභයාර්ථ සිද්ධිය අගය කළ බුදුරජාණන් වහන්සේගේ, අගනා දෙසුම් ආදර්ශයට ගතහැකි නම් පින්වත්නි, ඔබ කවරෙකු හෝ පරිහානියට පත් නොවනු ඇත. එනිසා මෙහි සඳහන් කෙරුණු සිව් වැදෑරුම් පරිහානිකර කරුණු දුරලා, ඔබේ දියුණුව පිණිසම කටයුතු කිරීමට වග බලාගන්න.
හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන
විහාරාධිපති, මාතලේ විද්‍යානන්ද
පරිවේනාධිපති උඩරට අමරපුර
සාසනජෝතිකා කාරක සංඝ සභික
බටුගොඩ සංකිචිචායන නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 28 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment