විවාහයේ දී බොහෝ දෙනෙකු රූමත් බව හා ධනවත් බව කෙරෙහි පමණක් සැළකිලිමත්වන අතර උගත්කම් හා හැදියාව ගැන දක්වන්නේ අඩු සැළකිල්ලකි. මෙම ජාතක කථාවේ එන වර්තමාන හා අතීත කථා දෙකෙන් ම අවධාරණය කරන්නේ සදාචාරය හෙවත් හැදියාව වඩාත් උසස් බවයි. සිල්වත් බව හෙවත් විනයගරුක බව බුදුසමයෙන් විශේෂ ඇගයුමට ලක්කර තිබේ. සිල්වත්කමින් තොර උගත්කම අර්ථවත් නොවන බව එහි එන එක ඉගැන්වීමකි.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා බමුණෙක් අරබයා මෙම සාධුසීල ජාතකය දේශනා කොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා බමුණෙකුට විවාහ වීමට යෝග්‍ය වයසේ දියණිවරුන් සිව් දෙනෙකු සිටියේය. එම දියණිවරුන් හා විවාහවීමට අපේක්ෂාවෙන් පුරුෂයෝ සිව් දෙනෙකු ද සිටි අතර ඔවුන්ගෙන් පළමු වැන්නා රූමත් අයෙක් විය. දෙවැන්නා වියපත් වූවෙකි. තෙවැන්නා උසස් කුලයකට අයත් වූවෙකි. සිව් වැන්නා මනා විනයකින් හා ගුණයෙන් හෙබි තැනැත්තෙකි. මෙම පුද්ගලයන් සිව්දෙනා අතරින් කවර තැනැත්තෙකුට තම දූවරුන් විවාහ කර දෙන්නේ දැ යි බමුණාට ගැටලුවක් ඇති විය. ඒ පිළිබඳ සුදුසු උපදෙසක් ලබා ගැනීම සඳහා බුදුරදුන් සොයා දෙව්රම් වෙහෙරට පැමිණි බමුණා උන්වහන්සේගෙන් කරුණු විමසා සිටියේ ය.
වර්තමානයේ එය ඔබට නොවැටහුණත් පෙර ආත්මයේ නුවණැත්තන් විසින් ඒ පිළිබඳ ඔබට කරුණු පැහැදලි කර ඇති බව කුමක් හෙයින් අමතකව තිබේදැයි විමසූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.