Labels

Thursday, May 5, 2016

සම්බුදු සසුනත් ලක්බිමත් සුරකින සක් දෙවි රජාණෝ


සකෙකා දෙවානමින්ද්‍රෙ, යනුවෙන් ත්‍රිපිටකයෙහි නිතර කියැවෙන සක්දෙව් රජු තව්තිසා දිව්‍යලෝකයෙහි දිව්‍ය රාජයා වෙයි. ලක්දිව බෞද්ධ සිද්ධස්ථානයන්හි අනෙකුත් දෙවියන් සඳහා ඉදි වූ දේවාල තිබුණ ද සක් දෙවියන් සඳහා එබඳු ගෞරවයෙන් පුදන ස්ථාන දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි සක්දෙව් රජුන් සාමාන්‍ය දිව්‍ය රාජයකු නොව ආය¸ දේවේන්ද්‍රයන් කෙනෙකි. එනම් පූජා වන්දනයට යෝග්‍ය වූ සෝවාන්මාර්ග ඵලයට පත් කෙනෙකි. සක් දෙවි රජු අප බෝසතාණන් වහන්සේට බුදුවීමට නොයෙක්වර උපකාරි වූ අතර සත් ජනයාට නොයෙක් අවස්ථාවන්හි දී උපකාරවන්නා වූ දෙවි කෙනෙකි.

සක්දෙවි රජු බුදුරදුන් හමු වූ අවස්ථා සහ සක් දෙවි රජුන් උදෙසා කළ ධර්ම දේශනා හා සාකච්ඡා ඇතුළත් සූත්‍ර විසිපහක් පමණ සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයෙහි ඇතුළත් වේ. සක්දෙවිඳුන් දේවේන්ද්‍ර නමින් හැඳින් වුවත් වේද ග්‍රන්ථ පුරාණ ග්‍රන්ථයන්හි වන ඉන්ද්‍ර දෙවියා නොවන බව රීසි ඩෙවිම්ස් හා මලලසේකර උගත්හු පෙන්වා දෙති. වයඹ දිගින් ඉන්දියාවට පැමිණි ආය¸යො ඉන්දු ගංගා නිම්නසේ පැවැති නාගරික ශිෂ්ටාචාරය විනාශ කළ බව ඉතිහාසඥයො පෙන්වා දෙති. ආය¸යන්ගේ නායකයා, ඉන්ද්‍ර නම් විය. ඔහු පුර්භිත් යන විශේෂණ වචනයෙන් හැඳින්වූයේ නගර විනාශ කළ අර්ථයෙනි. එහෙත් බෞද්ධයන්ගේ සක් දෙවියන් සක්‍රදේවේන්ද්‍ර නමින් හැඳින්වෙන අතර, ඔහු නගර, රාජ්‍ය දන්දුන් කෙනෙක් බැවින් පුරන්ධර නම් විය.
සක්දෙව් රජුන් නම් කිහිපයකින් පිටක ග්‍රන්ථයන්හි හඳුන්වා ඇත. සුජා දෙව්දුවගේ සැමියා වූ නිසා සුජම්පති යනුවෙන්ද පෙර මඝ නම් මානවකයකුව ඉපිද විවිධ දානාදී පිංකම් කොට ඉමහත් සමාජ සේවාවක් කොට සක්‍ර දිව්‍ය රාජයා බවට පත්වූ නිසා මඝවා යන නමින්ද හඳුන්වනු ලැබේ. තවද සකසා දන් දුන් කෙනෙක් බැවින් ‘සකක නම් ලැබූ සක්දෙවිඳුන් සහස්සක හෙවත් දහසක් ඇස් ඇති දෙව් රදුන් ලෙස හඳුන්වනු ලැබුයේ එක් මොහොතකින් දහසක් දෙස දහසක් කරුණු වටහාගැනීමට හැකියාවක් තිබූ දෙවි කෙනෙකු නිසාය.
සරභංග ජාතකයට අනුව සක් දෙවිඳුව ආසා හිරී ශ්‍රද්ධා සහ සිරී නම්වු දියණිවරු සතර දෙනෙක් සිටි බවද සඳහන් වේ. සක් දෙවිඳුගේ රියදුරු මාතලි නම් වූ අතර කුළුපග මිතුරා වෙස්සවක දෙව් රජු විය. සක්දෙවිදුගේ සංගීතඥයා පංචසික නම් විය.

බුදුරදුන් හා සක්දෙවිඳුන් අතර ඇති වූ ධර්ම සාකච්ඡා හෙවත් ධර්ම දේශනාවන් විසිපහක් පමණ සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ සඳහන් වේ. බුදුරදුන් සමඟ සක්දෙවියන් අතර තිබු සම්බන්ධය බුදුවීමට පෙර පටන් පැවැතියකි. බුදුරදුන් පරිනිබ්බාන මංචකයේදි සක් දෙවි රජුන් සමඟ දේව ගණයා විශාල පිරිසක් රැස්ව සිටි බවත් උන්වහන්සේ සක්දෙවි රජුන් අමතා සම්බුදු සසුනත්, ලංකාද්වීපයත් ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරූ බව මහාවංශයේ සත්වෙනි පරිච්ඡේදයේ සඳහන් වේ. සක්දෙවි රජුන් විසින් තමා වෙනුවෙන් ඒ වගකීම ඉටුකරන ලෙස උපුල්වන් දෙවියන්ට පැවරූ බවද සඳහන් වේ.

මහාවංශයට අනුව ආශ්චර්යකට මෙන් බුද්ධ පරිනිර්වාණයත් සමඟ ලංකාවට ගොඩ බසින සිහල පරපුරේ විජය රජතුමා ඇතුළු කණ්ඩායමට ආරක්ෂාව සපයන ලෙසද බුදුරදුන්ගේ ඉල්ලීමක් විය. ඒ අනුව සක්දෙව් රජතුමා පරිබ්‍රාජක වේශයෙන් ලක්බිමට ගොඩ බැස්ස විජය රජතුමා ඇතුළු පිරිසට කිසිදා විපතක් නොවී ආරක්ෂාව සඳහා පිරිත්පැන් ද ලබා දී පිරිත් නූල් ගැටගසා ආශිර්වාද කළ බවද මහාවංශය තවදුරටත් විස්තර කරයි.
සක්දෙව් රජු විසින් සම්බුද්ධ සාහිත්‍යයත්, ලංකාදීපයත් සුරක්ෂිත කළ ආකාරය දෙදහස් පන්සියයක අඛණ්ඩ ඉතිහාසයෙන් සාක්ෂි දරයි. භාරතයෙන් බුදු දහම අතුරුදහන් වෙද්දී සම්බුද්ධ ශාසනය ලක්දිව ආරක්ෂා වීමට මෙහි පවත්නා භූගෝලීය සාධක හා සක්දෙවි රජුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබුණු බව සිතිය හැක. වරින්වර දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේත් පෘතුගිසී ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආක්‍රමණයන්ගේත් ගොදුරක් බවට පත්වූ ලාංකීය සම්බුද්ධ ශාසනය මෑත යුගයේ භයානක කුරිරු යුද්ධය මැඩපවත්වමින් ආරක්ෂා වීමට මෙම සක්දෙවි රජුන් හා උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණාට සැකයක් නැත. වසර පන්දහසක් ගෙවෙන තුරු ලක්දිවෙහි ස්වාධීනත්වයත් සම්බුදු සසුනේ ආරක්ෂාවත් පිළිබඳ බෞද්ධයා තුළ ඇති විශ්වාසය සක්දෙවි රජු ප්‍රමුඛ සම්‍යග් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයත් සිදු වූ බවට නිසැකය. එසේම ඇතැම් අවස්ථාවන්හි බ්‍රිතාන්‍ය ආක්‍රමණයන් පවා සම්බුද්ධ ශාසනයේ සංවර්ධනයට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට ද පත්විය. මේ අනුව සක්දෙව් රජුත් පිළිබඳ මහාවංශය පළකරෙන දෑ සත්‍යයක් බව 2500 ශාසන ඉතිහාසයෙන් ප්‍රකට වෙයි.
ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම දූත සේවාව සිදුවන අතරතුර ධර්මයේ පණිවිඩය ලංකාද්වීපයට ගෙනයාමේ සුදුසු කාලය මහින්ද මහ රහතන් වහන්සේට සක්දෙවි රජුන් දැනුම් දුන් බව මහාවංශයේ අටවෙනි පරිච්ඡේදයෙහි දැක්වේ. ලක්දිව සම්බුද්ධ ශාසනය ප්‍රතිසංවිධානයේ දී බොහෝ වැදගත් සිද්ධියකදීම සක් දෙවි රජුන් සම්බන්ධ වී ඇත. දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය ගොඩනගද්දි එහි නිදන් කිරීම සුමන සාමණේරයාණන් මගින් සක්දෙවි රජුගෙන් ඉල්ලීම් කොට බුදුරදුන්ගේ දක්ෂිණ අකුධාතුව ලබාගෙන ථූපාරාමයේ නිදන් කෙරුණි. එසේම දුටුගැමුණු රජතුමා වෙත මහසෑයට අවශ්‍ය ද්‍රව්‍යමය උපකාරයන්ද ධාතු තැන්පත් කිරීමේ දී අවශ්‍ය රන් කරඬුව ද සක් දෙවි රජුන් පූජා කළ බව මහාවංශය සඳහන් කරයි.
බුදුරදුන් හා සක්දෙවියන් අතර වු සම්බන්ධය තථාගතයන් වහන්සේට බුදුවීමට පෙර සිට පැවැතියකි. සක්දෙවි රජු බෝසතාණන්ට පාරමිතා පිරීමටත් වරින්වර උපකාරි වූ අවස්ථා රැසක් ජාතක පාලියෙහි හමුවේ. එසේම සක්දෙවි රජතුමාගේ ආයු ගෙවී යන මොහොතේ බුදුරදුන්ගේ උපදෙස් පරිදි නැවත සක්‍ර ආත්ම භවය පුනර්භවයක් බවට පත්කරගැනීමේ සුවිශේෂ අවස්ථාවක් සක්දෙව් රජුට ලැබුණි. අටුවාව එය විස්තර කරන්නේ සක්දෙවි රජුන් අනාගාමි භවයට පත්වූ බවකි. බුදුරදුන්ගේ යමක ප්‍රාතිහාර්ය පෑ අවස්ථාවන්හි දී සක් දෙව් රජු සුවිශේෂ කාර්යයක් කළ බව දැක්වේ.
වරක් අප බුදුරජාණන් වහන්සේ වෛශාලියෙහි කූඨාගාර ශාලාවේ වැඩ වසන අවස්ථාවෙක සීවලී මහ රහතන් වහන්සේගේ පියා වූ මහාලී නම් ලිච්ඡවී ගෘහපති බුදුරදුන් හමුවේ මෙබඳු ප්‍රශ්නයක් ඇසීය. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සක්දෙවි රජු දැක තිබේද එවිට බුදුරජාණන් වහන්සේ මහාල,ී මම සක්දෙවියන් දුටුවෙමියි පිළිතුරු දුන්නාහ. භාග්‍යවතුන් වහන්ස ඒ ඔබ වහන්සේ දුටුවේ ඇත්තම සක්දෙවියන්ද නැත්නම් ඒවගේ පිළිරුවක්ද එවිට බුදුන් වහන්සේ සක් දෙවිඳුට පැහැදිලි කළෝ, මහාලී මා සක්දෙවියන් දැක්කා පමණක් නොවේ. ඒ සක්දෙවියන් සක් දෙවි පදවිය ලබාගත් හැටිත් බව දනිමියි පැවසූහ.
සක් දෙවියන් මඝවා යන නමින් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. කුලාවක ජාතකයෙන් පැහැදිලි කරන්නේ පෙර සක් දෙවි රජ මඝ නම් තරුණයෙක්ව සිටිය දී ඔහු මිනිස් වගට කළ අප්‍රමාණ සමාජ සේවයේ ප්‍රතිපලයක් වශයෙන් යනු මරණින් මතු ද සක්දෙවි පදවිය ලැබු වගයි. උන්වහන්සේ මහාලී ලිච්ඡවී කෙනෙක් සක්දෙවි පදවිය ලැබීම සඳහා ප්‍රතිපත්ති සතක් ආරක්ෂා කළ යුතු බවද පැවසූහ. සංයුක්ත නිකායේ සත්තවතපාද සූත්‍රයෙන් විස්තර කෙරෙන්නේ එම ප්‍රතිපත්ති සතයි. එම ප්‍රතිපත්ති මෙසේයි.
1.දිවිහිමියෙන් මව්පියන් පෝෂණය කිරීම
2. දිවිහිමියෙන් වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම
3. දිවි හිමියෙන් පි‍්‍රය වචනම කථා කිරීම
4.දිවි හිමියෙන් කේලාම් නොකීම
5. දිවිහිමියෙන් මසුරකු නොවී පරිත්‍යාගශීලි වීම
6. දිවි හිමියෙන් සත්‍ය වචනයම ප්‍රකාශ කිරීම
7. දිවි හිමියෙන් කිසිවකුට ක්‍රෝධ නොකොට සිටීම
සක්දෙවිඳුන් පිළිබඳ මේ පෙර අනුගමනය කළ ප්‍රතිපත්ති කෙනෙකුගේ ජීවිතයට සමීප කර ගැනීම
කොතරම් ප්‍රතිඵලදායක ද සක් දෙවි පදවිය පමණක් නොව විශිෂ්ටතම නායකත්වයක් සඳහා මෙම ප්‍රතිපත්ති සතර සැමදාටම ප්‍රායෝගික වනු ඇත.
සක් දෙවි රජු තාවතිසංයේ පමණක් නොව චාතුම්මහා රාජික දෙව් ලොවට ද පුම්‍රඛයකු ලෙස පිළිගැනේ. ඒ සියලු දෙයින් අතර ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥාවෙන් ද කීර්තියෙන්ද සක්දෙවි රජ කැපී පෙනෙයි. සක් දෙවියන් රූප, ශබ්ද, ගන්ධ. රස, ස්වාර්ථ ඉන්ද්‍රිය පහෙන් ලබන සංවේදී බව අතින් සියුම් කෙනෙකු බව සංයුක්ත නිකායෙහි සඳහන් වේ.
සක්දෙවි රදුන්ගේ චරිතයෙන් හෙළිවන ගුණාංග යන් තවදුරටත් සූත්‍රයන්හි විස්තර වේ. ඒ අතර 1.සක් දෙවි රජු විසින් උසස් කොට සැලකූ කෙනෙකි. 2.බිය සුළු බව හෙළා දකින සක්දෙවි රජු තමාට කොතරම් බලය තිබුණත් සතුරා කෙරෙහි ඉවසිලිමත් වේ. 3. සක්දෙවි රජ මෛත්‍රියෙන් හා කරුණාවෙන් කෝපය පාලනය කරණ කෙනෙකි. 4. විශේෂයෙන් ඔහු සතුරා කෙරෙහි කරුණාව දැක්වූ කෙනෙකි. 5.සතුරා පැරදවූයේ ප්‍රචණ්ඩත්වයෙන් නොව උපාය උපක්‍රමවලිනි. 6. සක්දෙවි රජ බුද්ධිමතුන් කෙරෙහි අතිශය ගෞරවාදරයක් දැක්වූ අතර මුලින් කී සප්ත ප්‍රතිපත්ති ජීවිතය පුරාම ආරක්ෂා කරන කෙනෙකි.
සක්දෙවි රජුන්ගේ ඉවසීම පරීක්ෂා කෙරෙන අපූරු අවස්ථාවක් ත්‍රිපිටකයේ හමුවෙයි. වරක් විරූපී අප්‍රසන්න පෙනුමැති යක්ෂයෙක් සක් දෙවිඳුන් නැති අවස්ථාවක එතුමාගේ ආසනයේ අසුන් ගත්තේය. දෙවියො මේ දැක යක්ෂයාට නින්දා කරමින් අසුනෙන් නෙරපීමට උත්සාහ ගත්හ. මේ යක්ෂයාට දෙවියෝ නින්දා කරත්ම වඩ වඩාත් රූමත් විය. විශාල විය . මේ පුදුම සහගත සිද්ධිය සක් දෙවියන්ට පැමිණිලි කළහ. සක්දෙවියන් බුද්ධිමතකු වූ නිසා යක්ෂයාගේ කෝපය බුදින කෝපය ආහාර කොටගත් කෙනෙක් බව වටහාගත්හ. සක්දෙවි පැමිණ යක්ෂයා ඉදිරියෙහි දණ නමා “නිදුකාණෙනි, මම සක් දෙවිඳු වෙමි. ඔබතුමාට අවශ්‍ය මොනවාද” ඉතා පි‍්‍රය වචනයෙන් යක්ෂයා අමතන විට ක්‍රමයෙන් යක්ෂයා දුර්වර්ණ වෙමින් ප්‍රකෘති තත්ත්වයට පත්වී අසුනින් බැස ගියේය. මේ කරණු දුබ්බණ්නී සූත්‍රයෙහි සඳහන් වේ.
සම්බුදු සසුනත් ලංකාද්වීපයත් සත්වයාටත් ආශිර්වාද කරන සක්දෙවි රජුන් අප කෘතවේදීව සිහිපත් කළ යුතුය. අවසාන වශයෙන් සක් දෙවියන්ට පින් දෙන ගාථාවන් මෙහි සටහන් කරනු කැමැත්තෙමි.

මඝ මානව ජිතම්හි –අකතං සුභ සාධනං
තෙනෙව පුඤ්ඤමෙවන –පතෙතාසි සග්ග නායකං
සකෙකා පුරින්දෝදොරවා - උභො සුගති නායකො
සීහල දීපං පාලෙකි සම්මා සම්බුද්ධ මාමකො
සහනවය චක්ඛු දෙවින්ද්‍ර– සම්බුද්ධ සායනෙ රතො
පුඤ්ඤති පතිගත්නකත්වාන රක්ඛතුමං සාධවො

සම්බුදු සසුනත් ලංකා භූමියත් රකින සක්දෙවි රජාණන් වෙත කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු.

මහාචාර්ය 
විලේගොඩ අරියදේව




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment