Labels

Friday, May 13, 2016

ඔබත් කෙදිනක හෝ උතුම් බුදු රුව දකීවි!


සාමාන්‍ය පෘථග්ජන සැදැහැවතාගේ පටන් මහ රහත් උතුමන් දක්වා සෑම අයකුම හැබැහින් බුදුරදුන් දැකීමට කැමැති වූ බව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදීම දක්නට ලැබුණ කාරණයකි. පෘථග්ජන සැදැහැවතා බුදුරදුන් දකින්නට කැමැති වූයේ උන්වහන්සේගේ රූපකායේ පැවැති අසමසම තේජස හා සුන්දරත්වය නිසාය. මහරහතන් වහන්සේලා උන්වහන්සේ දැකීමට කැමැති වූයේ ඒ අසහාය මහා පුරුෂාය තුළ දක්නට ලැබුණූ අනූපමේය මහාත්ම ගුණය නිසාය. මේ නිසා සෑම බෞද්ධයෙකුම ඈත අතීතයේ පටන් අද දක්වාම ගෞතම බුදුරජාණන් වහන්සේ හැබැහින්ම දැකීමට කැමැති වෙති.

අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවද උන්වහන්සේගේ රූප කාය මේ භෞතික පරිසරය තුළ තවමත් යම්කිසි අයුරකින් සුරැකී පවතින බව නොඅනුමානය. ඒ නිසාදෝ ඈත අතීතයේ පටන් අද දක්වාම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සියැසින් දුටු උත්තමයෝ බොහෝය. ඒ අතර ලංකාවේ කටකන්දර නම් ග්‍රාමයේ වැඩසිටි ඵුස්සදේවනම් තෙරුන්ගේ කථාව ඉතාමත්ම සිත් ගන්නා සුළුය.උන්වහන්සේ සියැසින් බුදුරදුන් දුටු ආකාරය සහස්සවත්ථුප්පකරණ නම් පොතේ සඳහන් වී ඇත්තේ මෙසේය.
“ඉක්බිති එක් දවසක් තෙරුන් වහන්සේ සෑ මළුව අතුගා බුදුරදුන් මුල්කරගත් පී‍්‍රතියෙන් යුක්තව සිටි සේක. එවේලෙහි මාරයා තෙරුන්ට උපන් පී‍්‍රතිය නැති කරවනු වස්, පාද පෙරළමින් එතැන සාරා, ගොම දමා, වැලි අවුස්සා, යන්නට ගියේය. තෙරණුවෝ ගොම අරන් දමා, වැලි මට්ටම්කොට අතු ගා “මේ හාත්පස ගොන්නු නැත. මාව අවුල් කිරීමට පැමිණියා වු මාරයාවද්දැයි “ කල්පනා කොට නුඹ මාරයාදැයි” ඇසීය. ශ්‍රමණ තේජසින් යුක්ත ශ්‍රමණයාගේ කථාව අසා වංචාවක් නොකොට “ඔව්” මම මාරයා වෙමි” යි කීවේය. තෙරුන් වහන්සේ ඔහුව වංචා කිරීමට”ඔබ අපේ ශාස්තෘවරයාගේ රූප දක්වන්නැයි” කීවේය. ස්වාමිනි එසේ නොකියන්න. ඔබ වහන්සේගේ ශාස්තෘවරයාගේ රූපය මා බඳු මාරයන් දහසකට වුවත් මැවීමට නොහැකිය” යි කීය. “ඔබට හැකි පමණින් අපට දක්වන්නැයි කීය. මාරයා තමාගේ වේශය අතහැර අහසේ සිට අසූ අනුවඤ්ජනයන්ගෙන් විසිතුරු වු මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකින් යුක්ත වූ සවණක් රැස්වලින් යුත් රැස් වළල්ලකින් හාත්පස අලංකාර වූ බුදුරුවක් මවා බබළමින් සිටියේය.”
හියුංසියං ශ්‍රමණ වෘත්තාන්තයේදී ස්ථාන කීපයකම චීන ජාතික හියුං සියං හිමියන් බුදුරදුන්ගේ රුව දුටු බව සඳහන් කර ඇත. එක් තැනක උන්වහන්සේ මෙසේ සඳහන් කර ඇත.
“අගනුවරින් ඊශාන දෙසැ වරණ ගගෙන් බටහිර දෙස අශෝක අධිරාජයාණන් කරවූ අඩි 100 ක් පමණ උසැති චෛත්‍යයක් හා එය ඉදිරියෙහි මිදි දිය මෙන්ද කැඩපතක් මෙන්ද බබළන ශෛලස්ථම්භයක් ඇත්තේය.ඒ ස්ථම්භයෙහි නිරුතුරුවම බුද්ධරූපයක ඡායාව දෘෂ්‍යමාන වේ.” එම කෘතියේ ම තවත් තැනක මෙසේද සඳහන් වී ඇත. “බුදුරදුන්ගේ ඡායාව නුවරින් නිිරිත දෙසැ ලී 9 ක් පමණ තැන නා රජෙකුගේ ගල් ලෙනක් වේ. පෙර බුදුවරු මේ නා රජු දමනය කොට මේ ගුහාවෙහි උන්වහන්සේ ඡායාව නවතන ලදැයි මෙහි වැසියන් කියන නමුත් දැන්නම් එහි බුද්ධ ඡායාවක් දකින්නට නොලැබේ.”
අපේ කාලයේ වැඩ සිටි ඉතා උසස් හා විශිෂ්ට යතිවරයාණන් වහන්සේ නමක් නම් වල්පොළ රාහුල හාමුදුරුවෝය. දේශ දේශාන්තර කීර්තියට පත් උන්වහන්සේගේ චරිත කථාව ඉතා මැනවින් රචනා කරන ලද අතර ගුණදාස ලියනගේ මහතාගේ කෘතියක් වූ “වල්පොළ රාහුල හාමුදුරුවෝ” නම් වූ එම ග්‍රන්ථයේ 9 වන පරිච්ඡේදය නම් කර ඇත්තේ, “කුසිනාරා නුවරදී බුදුන් දුටිමි.” යනුවෙනි. එම පරිච්ඡේදයේ සඳහන් කරුණුවලට අනුව උන්වහන්සේ කුසිනාරා නුවර අංගාර චේතිය වැඳ පුදාගෙන වෙල්යායක් මැදින් වැඩම කරන අවස්ථාවේදී හැබැහින්ම බුදුරජාණන් වහන්සේ දුටු සේක.
“අංගාර චේතියේ සිට නවාතැන් පල දක්වා තිබුණු වියළි වෙල්යාය පිට්ටනියක් හෝ ඕවිටක් වැනි භූමි භාගයකි. තනිවම ගමන් කරමින් වෙල්යාය මැදට පැමිණිවිට බුදුහාමුදුරුවෝ රාහුල හිමියන් ඉදිරියේ යාර දහයක් දොළහක් පමණ ඈතින් මුහුණට මුහුණලා පෙනී සිටියහ. එහෙත් වෙල මැද පෙනී සිටි ඒ බුදුහාමුරුදුවෝ ඊට පෙර රාහුල හිමියන් පොතපතින් දැනගෙන සිටි බුදුරදුන්ට වඩා තමන් වහන්සේ සිතින් මවාගෙන සිටි බුදුරදුන්ට වඩා වෙනස් රූපයක් විය.
“මා ඉදිරියේ පෙනී සිටි බුදුහාමුරුවෝ උස, හීන් ඍජු ශරීරයක් ඇති පුද්ගලයෙක්, කිසිම පොතක සඳහන් නැති ආකාරයට හිසකෙස් තරමක් සුදුයි. එක අතක සැරයටියක් තිබුණා. වයස්ගත වුණත් කිසිම අබල දුබලකමක් පේන්න තිබුණේ නෑ. වචනයෙන් කියන්න බැරිතරම් ශාන්ත රූපයක්, “රාහුල හිමියෝ කීහ. “ඉතින් ඔබ වහන්සේ මොකද කළේ” මම ඇසුවෙමි. “කිසිම සැකයක් නැතිව මේ බුදුහාමුදුරුවෝ කියන හැඟීමෙන් භක්තියෙන් මම බිම වැතිරිලා වැඳ වැටුණා. ඊළඟ මොහොතේ නැගිටල ඔළුව උස්සල බලන කොට බුදුහාමුදුරුවන්ගේ දර්ශනය නොපෙනී ගිහිල්ල”
මෙම අත්දැකීම පිළිබඳව වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇති රාහුල හාමුදුරුවෝ ලෝක ප්‍රකට දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණ මූර්ති තුමා ද බුදුරජණාන් වහන්සේ හැබැහින්ම දැක ඇති බව සඳහන් කළ බව කීහ. ඒ බව මෙම පරිච්ඡේදයේම මෙසේ සඳහන් කර ඇත.
“එහෙත් ලෝක ප්‍රකට දාර්ශනියෙකු වු ූ ක්‍රිෂ්ණ මූර්තිතුමා සමඟ රාහුල හිමියන් එම අද්භූත සිද්ධිය ගැන කථාකළ විට එතුමා කියා සිටියේ එය කලාතුරකින් සිදුවිය හැකි ආශ්චර්යවත් සිද්ධියක් බවය. බොහෝ කලකට පෙර තමාද බුදුරදුන් දුටුබවත් ඒවන විට විස්තර මතක නැති බවත් කිෂ්ණ මූර්තිතුමා රාහුල හිමියන්ට කියා ඇත.
දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ අනූපමේය රූප සෝභාවකින් යුක්ත උත්තමයෙකි. උන්වහන්සේගේ රූප ස්වභාවය කෙසේද යත්.
“භවත්නි , ශ්‍රමණ ගෞතම තෙමේ අනික් සියලුම මිනිසුන්ට වඩා රූපත්තිය. දැකීමෙන් තෘප්තියට නොපැමිණෙන සුළුය. නැවත නැවතත් දකින්නට හිතෙන සුළුය. කීමෙන්ම පැහැදෙන සුළුය. වර්ණ සෞන්දර්යයෙන් යුක්තය. රන්වන් පැහැයෙන් යුක්තය. මහා බ්‍රහ්මයාගේ සිරුර මෙන් දිලිසෙන්නේය.
මෙතරම් අලංකාර රූප ශෝභාවකින් යුක්ත වු බුදුරදුන් දිනපතා දැකීමට සිතා පැවිදි වූ වක්කලී හිමියන්ට උන්වහන්සේ දේශනාකළේ.
”අප්පේහි වක්කලී අප්පේහි වක්කලි කිං
තුයිහිමිනා පුතිකායේන”
(වක්කලිය වහාම යන්න, වහාම යන්න. මේ කුණු සිරරු දෙස බලා සිටීමෙන් තොපට ඇති ඵලය කුමක්ද

මේ අනුව පැහැදිලිව දක්නට ලැබෙන්නේ කෙදිනක හෝ අප උතුම් බුදුරුව දුටුවත් එයද අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත යැයි කල්පනා කොට ති‍්‍රලක්ෂණය තුළ සිත එක් තැන් කර අවසානයේ සියලු බැඳීම් වලින් නිදහස් වීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ බවයි.


කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන 
භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද පුරාණ 
රජමහා විහාරාධිපති 
ආචාර්ය, රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment