Labels

Wednesday, May 25, 2016

බුදුන් වහන්සේගේ ලොව පහළවීම


තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම අතිශය දුර්ලභ සිදුවීමකි. එබැවින් ම බුද්ධෝත්පාදය අසිරිමත් ය. බුදුන් වහන්සේ තුළ පැවති අසීමිත බුද්ධ ගුණ අසන විට මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් තුළ පවා බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත වී ඇති බව පෙනේ. දෙව්මිනිසුන් වසඟ කළ මේ අපරිමිත ගුණ සමුදාය මනුෂ්‍යයකු තුළ කෙසේ නම් පහළ වීද යනු අප විසින් විමසා බැලිය යුත්තේ අප ද බුදුමග යන්නවුන් නිසාය.

බුදුවරයෙකුගේ පහළවීම පිළිබඳ නිදාන කතාව සැවැදෑරුම්ය. බාහිර නිදානය, මහා නිදානය, අතිදූරේ නිදානය, දූරේ නිදානය, අවිදූරේ නිදානය හා සන්තිකේ නිදානය යනුවෙනි. මාතුපෝසක කථාවේ සඳහන් පරිදි තමන් වැදූ මවට උපස්ථාන කොට සුද්ධාවාසවාසී බ්‍රහ්මරාජයාගේ පෙලඹවීමෙන් මතු බුදුවන්නෙමැයි අධිෂ්ඨාන කරගත් තැන් පටන් අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙසීයක් තුළ දානාදී පාරමිතා පිරූ සමය බාහිර නිදානයයි. ස්ත්‍රියක් ව සිටිමින් මුළු හදින් ම බුද්ධත්වය ලබන්නෙමැයි සිතින් සිතා පසු කලෙක ඒ අදහස වචනයෙන් ප්‍රකාශ කිරීම දක්වා අසංඛ්‍ය සියයක් ගත කළ කාලය මහානිදානයයි සැලකෙයි.
එතැන් පටන් දීපංකර බුදුරදුන් වෙතින් නියත වශයෙන් බුදු වන බවට විවරණ ලැබීම දක්වා නව අසංඛ්‍යයක් කාලය අතිදූරේ නිදාන යයි කියනු ලැබෙයි. දීපංකර බුද්ධ යුගයේ පටන් වෙස්සන්තර රජව දානාදී පෙරුම් පිරූ කාලය දූරේ නිදානයයි. එවක් පටන් බෝධි මූලයේ වැඩ සිට බුද්ධත්වය ලැබීම දක්වා කාල පරිච්ඡේදය අවිදූරේ නිදානයයි. බුදුවීමෙන් පසුව දෙව්මිනිසුන්හට වැඩ පිණිස දම් දෙසමින් වැඩ සිට කුසිනාරා නුවර දී පිරිනිවන් පෑම දක්වා පන්සාළිස් වසක් කාලය සන්තිකේ නිදානයයි.
නැවත ඉපදීම වළක්වනු පිණිස නිවන් අවබෝධකොට ගත හැකි තෙවැදෑරුම් ක්‍රමය වූ තුන්තරා බෝධියෙන් අතිශයින් ම දුෂ්කර ක්‍රමය වන බුදුවරයෙකු වී සසර නිමාකිරීම ඇතැමෙක් පුරසාරම් දොඩන තරම් පහසු කාර්යයක් විය නොහැක. මම බුදුවන්නේමැයි සිතින් සිතා ගත් තැන් පටන් බුදු වී පිරිනිවන් පෑම දක්වා ගත කළ යුතු කාලය මෙපමණකැයි කිව නොහැක්කාක් මෙන් ම ඒ සඳහා කළයුතු කැප කිරීම්ද කෙනෙකුට අදහන්නට පවා නොහැකි තරම්ය.
බුද්ධකාරක ධර්ම පිරීම හෙවත් පෙරුම්දම් පිරීම යයි හැඳින්වෙන මේ ක්‍රියාවලිය කුමක්ද ඒ අන් කිසිවක් නොව විවිධ පුද්ගලයන් ඇසුරු කරමින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන්ගේ යහපත සලසාලමින් තමන් සිත ගුණදහම් වර්ධනවලින් පුරවා ගැනීමයි.
බුද්ධත්වය පසක් කිරීම සඳහා අනුගමනය කර ඇති ක්‍රමවේදය දෙස බලන විට එය එකවර සපිරෙන දෙවැදෑරුම් ක්‍රියාවලියක් බව පෙනෙයි. එනම් බාහිර ලෝකයට උපකාර කිරීමෙන් ගුණධර්මවලින් සිත පුරවාගැනීමත් ඒත් සමඟ ම සිත තුළ පවත්නා කෙලෙස් කසළ බැහැර කිරීමත්ය. මෙම ක්‍රමය අනුගමනය කිරීම මඟින් සිත තුළ පවත්නා කෙලෙස් ඉවත් වන තරමට පුද්ගලයා තුළ සැඟ වී පවත්නේ යයි කියන බුදුවරයා ඉස්මතු කර ගත හැකි වෙයි. නො එසේ නම් බුද්ධ යයි කියනු ලබන අවබෝධය විකසිත කරගත හැකි වනු ඇත.
බුදුවරයෙකුගේ පහළවීම පිළිබඳ කතා පුවතේ අතිශය දුෂ්කර ක්‍රියාව කළ කාල පරිච්ඡේදය හැටියට බොහෝ දෙනෙක් දකින්නේ අවුරුදු හයක දුෂ්කර ක්‍රියා සමයයි. එහෙත් අවසාන ආත්මයේ උපදින්නට පෙර දීර්ඝ සංසාරයේදී බෝධිසත්වයකු හැටියට කර ඇති කැපකිරීම් දෙස බලන විට සාවුරුදු දුෂ්කර ක්‍රියා සමය හැබෑවට ම දුෂ්කර ක්‍රියාවක් නොවන බව හැඟී යනු ඇත. එපමණක් නොව බුදුවීම සඳහා වනාන්තරයකට වඩා සමාජය ඉවහල් කරගත හැකි බව වැටහී යනු ඇත. රහතන්වහන්සේගේ ගුණ පිළිබඳ බෞද්ධ සමාජයේ කතා බහට ලක්වන්නේ අල්ප වශයෙනි. එහෙත් මුළු මහත් සමාජය ම බුදුගුණ ගැන කතා කරයි. පුද්ගලයෙකුට අරණ්‍යගත වී පවින් වැළකී සිත පිරිසුදු කොට ගැනීම් පමණකින් ආධ්‍යාත්මික කුසලතා සංඛ්‍යාත ප්‍රඥාව විකසිත කර ගත හැකිය. එහෙත් බුදුවරයෙකු විසින් රැස්කර ගන්නා ගුණ සමුදාය ගොඩනඟා ගත හැක්කේ සමාජයේ හැසිරෙමින් පරාර්ථකාමී ජීවිතයක් ගත කිරීමෙන් පමණි. මහායාන බෞද්ධයන් අර්හත්වය අසම්පූර්ණ යයි සලකන්නේ ගුණධර්ම කෙරෙහි අවධානය යොමුකිරීම හේතුවෙනි.
ථේරවාදී ඉගැන්වීමට අනුව කෙනෙකුට බෝධිසත්වයෙකු විය හැක්කේ තවත් බුදුවරයෙකු අබිමුවෙහි නියත විවරණ ලැබීමෙන් පමණි. එහෙත් මහායාන පිළිගැනීම පරිදි බෝසත්වරුන් යනු දුර්ලභ පුද්ගල කොට්ඨාසයක් නොවේ. සහජයෙන් තමන් තුළ ඇති උත්තරීතර ගුණ ඉස්මතු කර ගත හැකි සෑම කෙනෙකුට ම බෝසත්වරයෙකු විය හැකි ය.

අද අප අතර වැඩි දෙනෙක් බුදුගුණ වන්දනා කරමින් සිටිනු දැකිය හැක. බුදුගුණ වන්දනාව චිත්ත සමාධිය සඳහාත් නිවන් අරමුණට ළඟාවීම සඳහාත් උපකාරයකි. එහෙත් වඩා වැදගත් වන්නේ බුදුගුණ වන්දනා කිරීමට වඩා බුදුගුණ වගා කර ගැනීමයි.



ගල්කිරියාගම ශ්‍රී වනසිංහ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, 
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂක, 
රාජකීය පණ්ඩිත 
නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment