ප්‍රාග් බෞද්ධ යුගයට අයත් දඹදිව, මෝක්ෂය හෙවත් නිවන පිළිබඳ විවිධ විශ්වාස ගොඩනැඟී තිබුණි. එම විශ්වාස ගොඩනැඟී තිබුණේ ලෞකික හේතු සාධක ගොඩනඟා ගැනීමෙනි. මෝක්ෂය සම්බන්ධව බ්‍රාහ්මණ සම්ප්‍රදායයේ පඬිවරු ‘බ්‍රහ්මයා සමඟ එකට එකතු වීම, මෝක්ෂය ලෙස සැලකූහ.
එය ‘බ්‍රහ්මසහව්‍යතාව ලෙස පෙන්වා දීමට ඔවුහු උත්සාහ දැරූහ. ඒ සඳහා යාග හෝම පැවැත්වීම ඔවුන්ගේ සිරිත විය. උපනිෂද් යුගය වන විට මෙය වෙනම අංශයකට යොමු වී තිබුණි. එනම් මෝක්ෂය වේදයිත සැපයක් ඇති තැනක් වූ අතර, චේතනා ස්වරූපයක් සහිත ආත්මයක් ඇති තැනක් ලෙසය. මේ අතර ශ්‍රමණ සම්ප්‍රදායයේ විවිධ විශ්වාස ගොඩනැඟෙමින් තිබූ අතර, මෝක්ෂය ලබා ගැනීමට ඒ ඒ අය ප්‍රතිපදා දෙකක් අනුගමනය කළහ. එහි එක් විශ්වාසයක් වූයේ මෙලොව සිත්සේ පස්කම්සුව විඳිමින් පසිඳුරන් පිනවීමේ උපරිමයට පැමිණීම මෝක්ෂය බව යි. (කාමසුඛල්ලිකානුයෝගය) තවත් පිරිසක් විශ්වාස කළේ මෙලොවදී හැකි පමණින් ශරීරයට දුක් දීමෙන් කෙලෙස් ප්‍රහීණ කොට මෝක්ෂය ලබාගත හැකි බවයි. (අත්තකිලමථානුයෝගය) මේ අන්ත දෙක කෙරෙහි යොමු වූ විශාල පිරිසක් සිටි අතර, එම ශාස්තෘවරු ෂඩ්ශාස්තෘවරු ලෙස ප්‍රසිද්ධ වූහ. ආලාරකාලාම , උද්දකරාමපුත්ත ආදි තවුසෝ භාවනාවෙන් අරූප ලෝකයෙහි ඉපදීම මෝක්ෂය ලෙස සලකා ඒ සඳහා ප්‍රජාව මෙහෙය වූහ. එමෙන්ම නිගණ්ඨ හා ආජීවක සම්ප්‍රදායය විශ්වාස කළේ අසඤ්ඤසත්ත තලයෙහි උපත ලැබීම මෝක්ෂය ලෙසය.
මෙසේ විවිධ ශාස්තෘවරු විවිධ පැහැදිලි කිරීම් ඔස්සේ මෝක්ෂය ලබා ගැනීමට උත්සාහ දැරූහ. දඹදිව දෘෂ්ටිවලින් පිරී තිබූ අතර, දෙසැටක් දෘෂ්ටීන් ඒ අනුව ගොඩනැඟී තිබුණි. සත්‍යය සොයන ජනතාව මෙම ඉගැන්වීම් නිසා අතරමං වූ ස්වභාවයකින් සිටියහ. ‘කිං සච්චගවේසී’ ජීවිත ගත කළ අය මේ විශ්වාස පසු පස යමින් සත්‍යය ඇති තැන කොතැනදැයි විමසීමට පටන් ගත්හ. එමෙන්ම එම මෝක්ෂයන් අවබෝධයට දර්ශන මගින් ඉගැන්වූ ප්‍රතිපදා අනුගමනය කළහ. සමහර පිරිස් ඒ ඒ දෘෂ්ටි අනුගමනයෙන් සත්‍යය සොයා ගැනීමේ අදහස සාක්ෂාත් නොවුන බැවින් වෙනත් වෙනත් දර්ශනවලට නැඹුරු වීම ද මෙකල සුලභ දර්ශනයක් විය. මෙයම සත්‍යය අනෙක් දේ අසත්‍යය” යනුවෙන් සෑම දර්ශනයකම තිබූ ඉගැන්වීම විය. එනිසා මහජනතාව එක් පැත්තකින් එම දර්ශනයන් තුළම රැඳී සිටිමින් එම ප්‍රතිපදා අනුගමනය කිරීමද සිදු කළහ.
බුදුරජාණන් වහන්සේ දිගු කාලයක් මුළුල්ලේ මිනිසා විසින් සොයන ලද සදාකාලික සැනසීම, විමුක්තිය හෙවත් නිවන අවබෝධ කරගෙන එය ලෝකයට ඉදිරිපත් කළහ. එමගින් ප්‍රායෝගික ජීවිතයේදීම නිවී සැනසී ගිය පිරිස අසීමිතය. එසේ සොයාගත් විමුක්තිය බුදුදහමේ හඳුන්වා ඇත්තේ ‘නිබ්බාන’ හෙවත් ‘නිවන’ යන වචනයෙනි. එම වචනයේ ‘නි’ යන උපසර්ගය ‘නැති’ යන තේරුම දෙයි. ‘වාන’ වචනයෙන් “තෘෂ්ණාව’ අර්ථවත්ව වේ. එම වචන දෙක එකතු කළ විට “තෘෂ්ණාව නැති’ යන අර්ථ ලැබේ. මේ අනුව තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම කෙලෙස්වලින් බැහැර වීම නිබ්බාන වේ. දිගු කලක් මුළුල්ලේ සසර දිගින් දිගට පැවත ආ රාගාදී කෙලෙස් සන්සිඳීම බුදුරජාණන් වහන්සේ නිවන ලෙස පෙන්වා දුන්හ.
සියලු කුශලාකුශල අවසන් කිරීම නිවනයි. ‘පුඤ්ඤාභිසංඛාර,’ අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර’ අවසන් කිරීම නිවන නම් වේ. පින් වශයෙන් විපාක දීමට ශක්තිමත් කර්ම සියල්ල ‘පුඤ්ඤාභිසංඛාර’ වේ. ඒ සියල්ල ද අවසන් වේ. පව් වශයෙන් විපාක දීමට ශක්තිමත් කර්ම සියල්ල අපුඤ්ඤාභිසංඛාර’ වේ. ඒවා ද අවසන් වේ. එමෙන්ම අරූපාවචර ලෝකයන්හි විපාක දීමට ශක්තිමත් ‘ආනෙඤ්ජාභිසංඛාර’ ද අවසන් වන හෙයින් කාම, රූප, අරූප නමැති තුන් ලෝකයේම ඉපදීමට යම් ශක්තියක් ඇත්නම් ඒ සියල්ල අවසන් කිරීම මින් අදහස් වේ. කර්ම ඇති කරන බීජ මුළුමනින්ම අවසන් වන හෙයින් උපන් භවයට සම්බන්ධ කර්ම ශක්තීන් අවසන් වු විට නැවත ඉපදීමක් ඇති නොවන හෙයින් එයම නිවන ලෙස සඳහන් කර ඇත. මෙහිදී ‘ප්‍රතිසන්ධි විපාක’ මෙන්ම ‘ප්‍රවෘත්ති විපාක’ ලබා දෙන නාමරූප ස්කන්ධයන්ගේ නැවත නො ඉපදීම නිවන වේ. නැවත නැවත ඉපදීම වශයෙන් සසර සැරිසරන සත්ත්වයාගේ පැවැත්ම මුළුමනින්ම අවසන් කිරීම නිවනයි.
ලෝකයට අයත් සෑම සත්ත්වයෙකුම, සෑම ද්‍රව්‍යයක්ම හේතු ප්‍රත්‍යයෙන් (ප්‍රතීත්‍ය සමුත්පන්නව) හට ගැනී ඇත. එසේ හෙයින් ඒවා ‘සංඛත ධර්ම” ලෙස නම් කෙරේ. සංඛත ධර්මයන්ගේ පොදු ලක්ෂණ තුනක් තිබේ. එනම් හටගැනීම, වෙනස්වීම හා නැතිවීමයි. (උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස, අඤ්ඤථත්තං පඤ්ඤායති) මෙසේ සංඛත ධර්ම ඉපදීම, වෙනසකට පත්වීම, නැසීම යන ලක්ෂණ තුනෙන් යුක්තය. එහෙත් නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් නොවේ’. එනිසා නිවන ‘අසංඛත’ වේ. ඉපදීමක් , දිරීමක්, නැසීමක්, බිඳීමක්, නැති බව නිර්වාණයේ ස්වභාවය වේ. සියලු දුකින් නිදහස් වීමෙන් ලබන පරම සැපය නිවන වේ. එනිසා ‘නිබ්බානං පරමං සුඛං යනුවෙන් දේශනා කොට ඇත.
නිවන් සුවය කිසි කලෙක වෙනස් නොවන බැවින් නිවනට ‘ධුව යනුවෙන්ද ව්‍යවහාර වේ. එමෙන්ම නිවන සැපයක් වන හෙයින් ‘සුඛ ද වේ. ස්ථිරත්වයෙන් හා සැපයෙන් සදාකාලික වන බැවින් නිවන ඒකාන්තයෙන් සැපයකි. සැපය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ. වේදයිත (විඳීමේ) සැපත ලෞකිකය. වූපසම (සංසිඳීමේ) සැපය ලෝකෝත්තරය. ඉඳුරන් පිනවමින් සම්පත් රස විඳීමේ ලබන සතුට හා සොම්නස විඳින සැපය වේ. එම සැපය ඒ ඒ අවස්ථාවේදීම අවසන් වන බැවින් ස්ථිර නැත. එනිසාම අනිත්‍යය. දුක් සහිතය. නිවනේ විඳින සැපයක් නැත. එසේ විඳීමක් නොමැති බවම සැපය වේ. කෙලෙස් ගිනි දුක් ගිනි මුළුමණින්ම නිවීමෙන් ඇතිවන ශාන්ත සුවය “වූපසම සුඛය” වේ. ශරීරයේ ඇතිව තිබෙන කුෂ්ටයක් කසන විට සුවයක් දැනේ. එය වේදයිත සුඛයකි. එසේම කැසීම අවසන් වූ වහාම කුෂ්ටයේ දැවිල්ල ඇතිවේ. එමෙන්ම වින්දනය කරන සියලු සැපම දුකින් කෙළවර වේ. ඖෂධ ලබා ගැනීමෙන් කුෂ්ටය මුළුමනින්ම සුව වේ. එමගින් ලැබෙන ශක්තිය ‘වූපසම සැපය හා සමානය. නිවන් සැපත ලෙස සඳහන් කළත් එහි අත්දකින සැප වේදනාවක් නැති බවත් ඇත්තේ ශාන්ත සුඛයක් පමණක් බවත් මෙයින් ප්‍රකට වේ.
නිවනෙහි බෙදීම් දෙකක් දක්නට ලැබේ. එනම් ‘සඋපාදිසෙස නිබ්බානධාතු’ හා ‘අනුපාදිසෙස නිබ්බානධාතු’ වශයෙනි. මෙහි “උපාදි’ යන වචනයෙන් අර්ථවත් වන්නේ පඤ්චස්කන්ධයයි. එය තණ්හා, දිට්ඨී වශයෙන් දැඩිව ගැනීම් ලක්ෂණයේ පඤ්චස්කන්ධය උපාදි නම් වේ. පඤ්චස්කන්ධය ඉතිරිව තිබිය දී කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් නිවන් සුව විඳින්නට හැකි වීම උපාදිසෙස නිවන වේ. එසේ නිවන් දුුටු රහතන් වහන්සේගේ අපවත් වීමෙන් පසු පඤ්චස්කන්ධය ද ඉතිරි නො වීමෙන් අනුපාදිසේස නිවන් සැපයට පත් වේ. මේ අනුව මාර්ගඵල ලැබීමෙන් ලබන නිවන හා රහත්ව අපවත් වීමේ ලබන නිවන වශයෙන් නිවනේ ආකාර දෙක විස්තර වී ඇත.
නිවන පිහිටි තැනක් පිළිබඳ ප්‍රශ්න මතු කරන අයද සිටිති. නිවන පිහිටි තැනක් නැතත් එය විද්‍යමාන ධර්මයකි. සෝවාන් ආදී මාර්ගඥානවලින් අවබෝධ කළ යුත්තක් හෙයින් නිවන ලෞකිකව අත්විඳිය හැකි නොවේ. මෙය සාමාන්‍ය අවබෝධය සඳහා පහත සඳහන් වන්නේ නිදසුනකි. පිපාසයට පැන් බීමෙන් පිපාසය සන්සිඳෙන බව අපි සියලු දෙනාම දනිමු. එහෙත් එම ස්වභාවය නිවැරැදිව වචනවලින් විස්තර කළ නොහැකි ය. ලෞකිකව අප අත්දකින දෙයක් විස්තර කළ නොහැකි නම් නිවන වැනි ලොකෝත්තර සුවයක් මෙසේ යැයි විස්තර කිරීම අතිදුෂ්කර වේ. නුවණැති අය තම තමා විසින්ම නිවන අවබෝධ කරගත යුතුය. (පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි) නිවන් සුවය විස්තර කර දීමේ අපහසු බවට ත්‍රිපිටකයේ සඳහන් වන වචන කිහිපයක්ද ඇත. ඒ ඒ වචනවලින් ප්‍රකාශ වන්නේ නිවන දැකීමට දුෂ්කර බවය. (දුද්දස) එමෙන්ම අවබෝධයට දුෂ්කර බවය (දුරනුබොධ) තර්කයෙන් නොදත හැකි බවය (අතක්කාවචර) සියුම් බවය. (නිපුණ) නුවණැත්තන් විසින් දැනගත යුත බවය .
(පණ්ඩිතවෙදනීය) රාගාදී කෙලෙස්වලින් ශූන්‍යය (සුඤ්ඤත) රාගාදී නිමිති රහිතය (අනිමිත්ත) ප්‍රණිධි රහිත බව ය (අප්පණීහිත) මෙසේ විවිධ ආකාරයෙන් නිවනේ ස්වභාවය භාවිත වචන දක්නට ලැබේ. ඒවායින් අදහස් වන්නේ අවබෝධයෙන් නිවන අත්දැකිය හැකි බව, දැනුමෙන් නිවන වටහා ගැනීම දුෂ්කර බවයි.
කොළඹ මාලිගාකන්දේ
විද්‍යෝදය පරිවේණාධිපති
බලන්ගොඩ සෝභිත නා හිමි
විද්‍යෝදය පරිවේණාධිපති
බලන්ගොඩ සෝභිත නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment