Labels

Wednesday, May 25, 2016

තමාට වටිනාකමක් නොමැති පුද්ගලයකුට අනුන්ගේ සැපත තුළ සතුටු විය හැකිද ?



ඊර්ෂ්‍යාව පිළිබඳව යම් අවබෝධයක් ඔබ තුළ ගොඩනගා ගත යුතුයි. “ඉස්සා” යනු ඊර්ෂ්‍යාවයි. ඔයා , එයාට ඊර්ෂ්‍යා කරන්න එපා යනුවෙන් බොහෝ අවස්ථාවලදී අපගේ වැඩිහිටියන් උපදෙස් දෙනු ලබයි.
එයා ලබාගත්ත ජයග්‍රහණය පිළිබඳව ඔයා සතුටු වෙන්න යනුවෙන්ද ඇතැම් අවස්ථාවලදී ප්‍රකාශ කරනු ලබයි. එවැනි ප්‍රකාශන තුළින් මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව නැතිකළ නොහැකියි.
ගෙදරක සිටින දරුවන් තිදෙනකු අතරින් එක දරුවකුට ඉගෙන ගත නොහැකි නම්, අනෙක් දරුවන් දෙදෙනා ඉතාම දැනුම්වත් දරුවන් නම්, හොඳ රැකි රක්ෂා කරනවා නම්, රැකියාවක් නැති නූගත් ඒ වගේම සමාජ පිළිගැනීමක් නැති පුද්ගලයාට හැකියාවක් තිබෙන රැකියාවක් තිබෙන අය පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇතිවීම අනිවාර්ය කාරණාවක් වෙයි.ඒ පිරිසට සමානකම් පැවැත්විය නොහැකියි. අවබෝධයෙන් සමාන නැතිකම නිසාම සමානකම් පැවැත්විය නොහැකිය. භෞතික වශයෙන්ද තනතුරුවලින්ද සමාන නොවීම නිසාම ඔවුන් ඊර්ෂ්‍යාවෙන් පෙළීමට පටන් ගනී. එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියන් මෙවැනි ආකාරයෙන් ඊර්ෂ්‍යා කරන්නේ ඇයිද යනුවෙන් තමන්ගේ දරුවන් කුළල් කා ගන්නා ආකාරය දකින වයෝ වෘද්ධ දෙමව්පියන් බොහෝ අවස්ථාවල කනගාටුවට පත්වේ. එය එක මව්කුසේ සිටියාද නැද්ද යනුවෙන් ප්‍රශ්නයක් නොවෙයි. එක මව්කුසේ සිටියා කියා එම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
අසාර්ථක පුද්ගලයාගේ ජීවිතය යම්කිසි සාර්ථක භාවයකට ගොඩනැංවීමට කටයුතු කිරීමට දෙමව්පියන් මැදිහත් විය යුතුයි. එසේ නැතහොත් ඔහුගේ අසාර්ථක භාවයට හේතුව පැහැදිළිකර වටහාදීම තුළ ඔහුට ලැබී තිබෙන දේ පිළිබඳව සතුටු කර දිය යුතුයි. එම ක්‍රම දෙකෙන් තොරවූ කිසිදු ක්‍රමයක් තුළ සහෝදරයකු තමන්ගේ සහෝදරයකුට ඊර්ෂ්‍යා කිරීම නැවැත්විය නොහැකිය. මම , මම පිළිබඳව දොම්නසින් , ජීවත්වනවා නම්, මට ලැබුණ දේ මට තිබෙන දේ පිළිබඳව මට තිබෙන්නේ දුකක් නම්, ඊළඟ පියවර වශයෙන් මට, මම පිළිබඳවම, තරහවක් ඇතිවේ. මට මගේ අසාර්ථකම පිළිබඳව දුකක් දොම්නසක් පැමිණි විට මට, මම පිළිබඳවම පවතින තරහවයි. මට, මම පිළිබඳව තිබෙන දුකයි දෙක එකතු කර අනෙක් පුද්ගලයාගේ සාර්ථකත්වයට විරුද්ධව කටයුතු කරයි. මගේ අතෘප්තිකර බව මම යොදවනු ලබන්නේ අනෙකුත් පුද්ගලයාගේ පැවැත්මට එරෙහිවයි. එය ඊර්ෂ්‍යාවෙහි ස්වභාවයයි. මගේ අතෘප්තිය මම පිළිබිඹුවක් ලෙස අනෙක් පුද්ගලයාට ප්‍රක්ෂේපණය කරනු ලබයි.අනෙකාට එරෙහි වී ඔහු මානසිකව තුවාල කරන්න,තුවාල කරන්න භෞතිකව ඔහුටත්, ඇයටත් තිබෙන දේ විනාශ කිරීමටත් කටයුතු කරනු ලබයි. යමෙකුගේ ඊර්ෂ්‍යාව දුරුකර ගැනීමට මෛත්‍රී සහගත සිත පමණක් ඔහුට උපකාර කරයි.
මෛත්‍රී සහගත වීම යනු තමන්ට තමන් පිළිබඳව හොඳ තෘප්තිමත් බවක් පවත්වා ගත යුතුයි.මුදිතාව තමා පිළිබඳව තිබිය යුතුයි. අනුන්ගේ සැපතේදී සතුටුවීම මුදිතාව ලෙස ප්‍රකාශ කරනු ලැබුවද අනුන්ගේ සතුටේදී සතුටු විය හැක්කේ සතුටෙන් සිටින, පුද්ගලයකුට පමණි. තමාට වටිනාකමක් නැති, තමාට මොනවත් දෙයක් නොමැති පුද්ගලයකුට අනුන්ගේ සැපත තුළ සතුටු විය නොහැකියි. මෙම ජීවිතය ගෙවීමේදී මෙම ජීවිතය තුළදීම හැකි තරම් සාර්ථක වීමට ඔබ කටයුතු කිරීම ඒ සඳහා කළ යුතු එකම කාරණාවයි. තමාට අවශ්‍ය වන ප්‍රමාණික පහසුකම්වත් අවම වශයෙන් වත් ඔබ විසින් සපයා ගත හොත් තමාට සාර්ථක බව ඔබට භෞතිකව දැනිය යුතුයි. රජයක් ලෙස සෑම පුරවැසියකුටම බලපාන පරිදි එක සමාන නීතියක් ක්‍රියාවට නැංවීමටත් ජාති භේදයකින් තොරව වාර්ගික භේදයකින් තොරව එක සමාන පහසුකම් සැපයි ය යුතුය. පළාත් භේදයකින් තොර සියලු දෙනාටය ම ලැබෙන ආකාරයෙන් අධ්‍යාපන පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් සැපයීම තුළින් ජාතීන් අතර ඊර්ෂ්‍යාවක් ඇති නොවේ.

එක ජාතියක් තෘප්තිමත් වන විට අනෙක් ජාතිය තෘප්තිමත් නැත්නම්, ඒ පිරිස් අතර කවදාවත් සාමයක් පැමිණෙන්නේ නැත. භෞතිකමය වශයෙන් සියලු දෙය සමකර ගැනීමට නොහැකි නිසා එය භෞතික වශයෙන් කිසියම් කළමණාකරණයකට ලක් කළ යුතුය.අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතිය, තුළ සමකළ හැකි වුවද, සියලුම කාරණාවන් තුළ සමකිරීමේ හැකියාවක් නැත. එය ප්‍රායෝගිකව කළ නොහැක්කක්, යථාර්ථයක් වශයෙන් ඒ කාරණා පිළිබඳව මිනිසුන් විසින් ඊර්ෂ්‍යාවක් ගොඩනඟා ගත යුතු නැහැ. තමන් තුළ හටගත් අතෘප්තිමත් බව තුළ අනෙකාට ඇතිවන්නා වු සාධාරණය පිළිබඳව මට තෘප්තිමත් බවක් ඇති විය නොහැකිය. මම කෙසේ සතුටු විය හැකිද මටත් සාධාරණයක් තියෙනවා කියා සතුටක් දැනුණ හොත් අනෙකාට ලැබෙන දේ පිළිබඳව මට සතුටු විය හැකියි. මට මම පිළිබඳව මුදිතාවක් තිබේ නම්, තෘප්තිමත් බවක් තිබේනම් පමණයි. මට අනෙකා පිළිබඳව තෘප්තිමත් විය හැකි වන්නේ


හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ 
ලේඛකාධිකාරි ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment