බුදුන් වහන්සේ වදාළ ධර්මය පැහැදිලි විමුක්ති මාර්ගයක් මන්ම විධිමත් ජීවන දර්ශනයක් සමාජ ගත කළ දේශනාවක් ලෙස හඳුනාගත හැකිය. සිය ශ්‍රාවක ප්‍රජාවගේ විමුක්තිය පිණිස මෙන්ම ජීවන මාර්ගයද හැඩ ගැස්වීමට උපස්ථම්භක වන දේශනාවන්ගෙන් පොහොසත් බුද්ධ දේශනාව මිනිස් සිතුම් පැතුම් සහ චර්යාවන් පිළිබඳ පුළුල් ගවේෂණයක එකතුවකි.
එනිසා මිනිස් සිතේ උද්ගත වන සියලු මනෝභාවයන් උදෙසා සිදු කරන ලද අර්ථවත් අර්ථ කථන සමුදායක් වශයෙන්ද බුද්ධ දේශනාව ඇගයීමට ලක් කළ හැකිය. මජ්ක්‍ධිම නිකායයේ උපරි පණ්ණාසකයට අයත් මෙම අරණ විභංග සූත්‍රය විමුක්ති ගවේෂකයන් අරමුණු කර දේශිත ධර්ම කරුණුවලින් මෙන්ම මිනිස් සමාජයේ සහජීවනය උදෙසා අදාළ කරගත හැකි සර්වකාලීන වටිනාකමකින් යුත් දේශනාවක් ලෙසද හඳුන්වා දිය හැකිය. බහුජාතික බහු ආගමික හා බහු සංස්කෘතික සමාජවල උද්ගතවන ගැටුම් නිරාකරණය කරගැනීම පිණිස උපයෝගී කරගත හැකි මෙම ධර්ම පර්යාය මානව හිතවාදය තහවුරු කිරීම පිණිස අනුගමනය කළ යුතු පිළිවෙත හෙළිකරයි.
වරක් බුදුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටියදී උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් පිරිසක් අමතා දේශනා කරන ලද මෙම අරණ විභංග සූත්‍ර දේශනාව සමස්ත සිව්වණක් පිරිසම අරමුණුකොට දේශනා කරන ලද ඉගැන්වීමකි. බුදුන් වහන්සේගේ දහම් පණිවිඩය සමාජගත කිරීමේ මහඟු කාර්යය ඉටුකිරීමේදී තත්කාලීන භාරතීය සමාජයේ සමාජගතව පැවැති විශ්වාස පිළිගැනීම් හා යාගහෝම අනුගමනය කළ අන්‍ය ආගමික ශ්‍රාවකයන් සමඟ නොගැටී ආගමික සහ සාමාජික සහජීවනය තහවුරු කිරීම පිණිස බුද්ධ ශ්‍රාවකයන් කෙසේ පැවැතිය යුතු ද යන්න පහදා දීම පිණිස දේශිත මෙම සූත්‍ර දේශනාව පොදු ඉගැන්වීම් සමුදායක් ලෙස හඳුනා ගත හැකිය. තත් සූත්‍රාගත අරණ විභංග ධර්ම පර්යාය සංක්ෂිප්තව මෙසේ හඳුන්වා දිය හැකිය.
සැපෙන් සැප හා දුකින් සැප ලැබිය හැකිය යනුවෙන් විශ්වාස කර අනුගමනය කළ කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමථානුයෝගය නම් වු අසාර්ථක මාර්ග දෙක අන්තවාදි ක්‍රමදෙකක් හෙයින් එය අත්හල යුතුය. මධ්‍යම ප්‍රතිපදාව නම් වූ අන්තවාදි නොවන සම්‍යග් දර්ශනය අනුගමනය කළ යුතුය. නිවැරදි මාර්ගය හුවා දක්වමින් සෙසු අන්තවාදි පිළිගැනීම් හෙළා දකිමින් අන්‍ය ආගමිකයන් හෙළා නොදැකිය යුතුය. හෙළා දැකීම හුවා දැක්වීම වෙනුවට නිවැරැදි දෙය සමාජගත කළ යුතුය. ධර්මය මෙත් සිතින් පෙන්වා දිය යුතුය. ඇති තැන බැණ වැදීම නැති තැන දොස්කීම නොකළ යුතුය. වේගයෙන් ආවේගශීලිව කථා නොකළ යුතුය. ශාන්ත වූ නිවුණු වචන කථා කළ යුතුය. ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට විරුද්ධ නොවිය යුතුය. ප්‍රාදේශීය කථාබහට අවමන් නොකළ යුතුය. තම මතවාදය තදින් නොගත යුතුය. බහුජන මතයට ගරු කළ යුතුය. එය ඉක්මවා කටයුතු නොකළ යුතුය.
සැකෙවින් දක්වා ඇති අරණ විභංග සූත්‍රාගත කරුණු තවදුරටත් විමර්ශනය කිරීමේදි එම කරුණු සියල්ලම අන්තර් ආගමික හා සාමාජික සහයෝගිතාව පදනම් කරගත් මානව සංවේදීතාව තහවුරු කිරීමට උපස්ථම්භක වන ඉගැන්වීම් ලෙස පැහැදිලිව පෙනේ. සංකීර්ණ සිතුම් පැතුම් සමුදායක් නියෝජනය කරන මානව සමාජය එක් මිනිස් පවුලක් ලෙස සහයෝගයෙන් හා අන්‍යෝන්‍ය ගෞරවයෙන් පවත්වා ගැනීමට මග පෙන්වන මෙම ධර්ම පර්යාය, පවුල් සමාජයේ සිට විශ්ව සමාජය දක්වා උද්ගත වන සමාජ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා උපයෝගී කරගත හැකි මහාර්ඝ ඉගැන්වීමකි.
ඒ අනුව ඕනෑම සමාජයක උද්ගත වන කවරාකාරයක හෝ ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා අන්තවාදී ක්‍රියා මාර්ග පිටු දැකිය යුතු බව අවධාරණය කරන මෙම සූත්‍රය අන්තගාමී නොවන මැද මාවතක් අනුගමනය කළ යුතු බව දක්වයි. ගැටුම් නිරාකරණයේදී “ඒකන්තදස්සී” එක් පැත්තක් පමණක් දකින දෘෂ්ටිකෝණය අත්හළ යුතු බව උගන්වන බුදුන් වහන්සේ පටු සීමා, මායිම් හා කඳවුරුවල හිරවී සිටින තාක් යමක යථා ස්වභාවය අවබෝධ නොවන බව තහවුරු කළහ. තත්කාලීන භාරතීය සමාජයේ සමාජගතව පැවැති අන්තවාදී ක්‍රම වෙනුවට මැදුම් පිළිවෙත හඳුන්වා දුන් බුදුන් වහන්සේ වැරැදි මගින් හරි මගට පිවිසීමට මාර්ගය හෙළි කළහ.
ලෝකයේ කවර කලෙක වුවත් අසාර්ථක වැඩ පිළිවෙළකින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය නොහැකි බව අවධාරණය කළ බුදුන් වහන්සේ වැරැදි මගින් නිවැරැදි මගට පිවිසීම මානව සමාජයේ සියල්ලන්ටම පොදු ධර්මතාවක් ලෙස පෙන්වා දුන්හ. එනිසා වැරදුණු තැන් හාස්‍යයට ලක් කිරීම හා හෙළා දැකීම උසස් ගුණයක් නොවන බවද අවධාරණය කළ උන්වහන්සේ නුවණ, ප්‍රඥාව ඇති කරන නිවැරැදි දෙය සමාජගත කිරීමට උපදෙස් දුන්හ. යමක් සමාජයට දිය යුත්තේ මෙත් සිතිනි . එසේම යහපතට යොමු කරලීමේ චේතනාවෙනි. එසේ නොමැතිව අන්‍ය ආගමික දර්ශන හා ඔවුන්ගේ විශ්වාස හෙළා දැකීම හා තමා පිළිගත් දෙය ඉස්මතු කරවීමේ චේතනාවෙන් කරන වාචික අරගල අර්ථ ශූන්‍ය ලෙස උගන්වන මෙම සූත්‍රය අන්තර් සමාජ සහජීවනයට බාධා පමුණුවන ක්‍රියා මාර්ග තරයේ පිටු දැකීමට මඟ පෙන්වා ඇත.
නිවැරැදි දෙය සමාජගත කිරීමෙන් කිසිවෙකුට අරගල කිරීමට හේතු නොයෙදේ. ඔවුනොවුන්ගේ කැමැත්ත හා අකැමැත්ත මත යමක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ස්වාධීන වූවක් බව බුදුසමය පෙන්වා දෙයි. කවර සමාජ ගැටලුවකදී වුවද හුදු වාචික අරගල මගින් පමණක් සමාජ සහයෝගිතාව උදාකරගත නොහැකි බව දක්වන බුදුන් වහන්සේ අන්තගාමී නොවන නම්‍යශීලි පිළිවෙතක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළහ. “ධම්ම මෙව දෙසෙය්‍යාති, ධර්මයම සමාජගත කරන්න එය සකල මානව වර්ගයාටම පොදු වූ උරුම වූවකි.
“රහෝවාදං න භාසෙය්‍ය සම්මුඛා න ඛීණං භණෙති” මෙම ඉගැන්වීමද මානව සමාජයේ පොදු පැවැත්මට ඉවහල් වන ඉගැන්වීමකි. ඇති තැන බැණ වැදීමත්, නැති තැන දොස් කීමත් පහත් ක්‍රියාවකි. කෙනෙකුගේ දොසක් පිරිසක් ඉදිරියෙහිදී විවේචනය නොකළ යුතුය. වැරැද්ද කරුණාවෙන් හා මෙත්සිතින් පෙන්වා දිය යුතුය. නැති තැන දොස් කීම අර්ථදායි නොවේ. එය කෝපය අමනාපය ඇති කිරීමට ඉවහල් වේ. සුදුසු අවස්ථාවේදී කිවයුත්තාට කිවයුතු දේ කීම සුදුසුය.
“අතරමානොව භාස්‍යෙ නො තරමානො” වේගවත්ව හා ආවේගශීලිව කථා නොකළ යුතුය. කලබලකාරි ව කථා කිරීම කියන්නාට මෙන්ම අසන්නාටද අපහසුතා මතු කරයි. ආවේගශීලිව ගැටලු විසඳිය නොහැකිය. නිවුණු සිතිවිලි හා වචන ඇවිළුණු සිත් නිවීමට මග පාදයි.
“ජනපද නිරුත්තිං නාභිනිවෙසෙයන සමඤ්ඤං නාති ධාවෙය්‍ය”
ප්‍රාදේශීය ව්‍යවහාර හෙළා නොදැකිය යුතුය. තම මතය තදින් නොගත යුතුය. මහජන මතයට ගරු කළ යුතුය. භාරතීය සමාජයේ තත්කාලීන සමාජ ස්වරූපය වෙත අවධානය යොමු කර දේශනා කරන ලද ඉහත ඉගැන්වීම් සමුදාය විශ්ව සමාජගත කළ යුතු සර්වකාලීන වටිනාකමකින් යුත් ඉගැන්වීම් සමුදායක් ලෙස හඳුනාගත හැකි මෙම ධර්ම පර්යාය නවීන ලෝකයේ කවර සමාජ ස්ථරයක වුවද වාසය කරන මිනිස් වර්ගයාට සාමය සහජීවනය උදාකරදීමට සමත් නොවන්නේද
වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේ
පරිවෙණාචාර්ය
රාජකීය පණ්ඩිත ,ශාස්ත්‍රපති
අයගම සුසීල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment