අජාසත්ත රජතුමා මගධ රාජ්‍යය පාලනය කරන සමයේ ආසන්න වඡ්ජි ජනපදය ආක්‍රමණය කිරීමට සිත්විය.
තමන්ගේ ප්‍රධාන අමාත්‍ය වූ වස්‌සකාර ඇමැතියා ඇමතූ අජාසත්ත වහා ගොස් බුදුරදුන් හමුවී සතුටු සාමීචි කතාකොට, බුදුරදුන්ගේ සුවදුක් විමසා අජාසත්ත රජුගේ මූලික අභිප්‍රාය වූ වඡ්ජි ජනපදය ආක්‍රමණය කිරීමට සුදුසුදැයි විචාරා බුදුරදුන් පවසන දේ තමන්ට පවසන්නැයි අණ කළේය.
බුදුරදුන් පවසන දේ සත්‍ය බවත් විචාර පූර්වක බවත් විශ්වාස කළ අජාසත්ත රජු ඒ පිළිබඳ විමසිල්ලෙන් කල්ගත කළේය. ගෞතම බුදුරදුන් මේ පුවත් විමසූ විට තමන්ට ඒ මොහොතේ පවන් සළමින් සිටි ආනන්ද තෙරුන් අමතා වඡ්ජී ජනපද වැසියන්ගේ වර්තමාන ස්‌වරූපය විමසූ සේක. එහිදී බුදුරදුන් වස්‌සකාර අමාත්‍යා අමතා දේශනා කළේ සප්ත අපරිහානී ධර්ම සපුරා ක්‍රියාකරන තාක්‌කල් අජාසත්ත රජු විසින් වඡ්ජි ජනපදය ආක්‍රමණය කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වන බවයි.
සමාජයේ සාදු සම්මත චාරිත්‍ර විධි සුරක්‌ෂිත කරමින් විනය ගරුකව නීතිගරුකව ජීවත්විය යුතු බව ගෞතම බුදුරදුන් සම්බුද්ධ පරිනිර්වාණය ආසන්නයේ මුළු මහත් සමාජයටම මතක් කර දුන්නේ ඒ අයුරිනි. එපමණක් ද නොව බුද්ධ ශ්‍රාවකයන් ද සමගිව රැස්‌වී බුදුරදුන් පනවා වදාළ ශික්‌ෂා පද නොපිරිහෙලා සුරකිමින් ධර්මානුශාසනා පවත්වමින් ක්‍රියාකළහොත් ශාසනයේ අභිවෘද්ධියක්‌ම හැර ශාසනපරිහානියක් නොවන බවද ආනන්ද තෙරුන් අමතා සිහිපත් කර දුන්සේක. ගිහි පැවිදි උභ්‍ය පාර්ශ්වයම සමාජ සම්මත සාධු ධර්ම සුරක්‌ෂිතව රැක ගැනීමට බැඳී සිටින බව මෙහිදී පෙන්වා දී ඇත.
දින කිහිපයක් අම්බලට්‌ඨිකා උයනෙහි වාසය කළ බුදුරදුන් ආන්නද තෙරුන් සමග නාලන්දා නගරයට වැඩම කළ සේක. එහිදී සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ ද හමුවී ශාසනික වශයෙන් දීර්ඝ කාලයක් කරන ලද මෙහෙවර පිළිබඳ සාකච්ඡා කරන ලදී, බුදුරදුන් ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරද්දී සාරිපුත්ත තෙරුන් බුදුරදුන් පිළිබඳවද උන්වහන්සේගේ අති ගාම්භීර ශ්‍රේෂ්ඨතම සේවාව පිළිබඳ අභීත සිහනාදයක් පවත්වන ලදී, එනම් 'සර්වඥතා ඥනය සරණ කොටගෙන ගෞතම බුදුරදුන්ට වඩා සම්බෝධි ඥනයෙන් උසස් වෙනත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙන් අතීතයේ නොවූයේය.
අනාගතයේ ද නොවන්නේය. 'ශාස්‌තෘවරයකු වශයෙන් බුදුරදුන් ගේ අමිල මෙහෙය පිළිබඳව සසුන් ලැදි අග්‍රශ්‍රාවකයකු වශයෙන් සාරිපුත්ත තෙරුන් කළ එම ප්‍රකාශය බුදුරදුන් ගේ විශේෂ ප්‍රශංසාවට භාජනය විය. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂාවෙන් පූර්ණ ජීවිතයක් වන බවද අවධාරණය කර ඇත.
අනතුරුව පාඨලී ග්‍රාමයට වැඩම කළ බුදුරදුන් දුශ්ශීලයාගේ සීල විපත්ති පහත කරුණු පෙන්වා දෙමින් සමාජයට අවශ්‍ය සිල්වත්, ගුණවත්, පිරිපුන් ජන සමාජයක් බව අවධාරණය කරයි. දුස්‌සීලයා ප්‍රමාද වන්නේය. අපකීර්තියට පැමිණෙන්නේය. වියතුන් සභාමැද සැකයෙන් බියෙන් එළඹෙන්නේය. මියයන විට සිහි මුලා වන්නේය. මරණින් මුතු දුගතිගාමී වන්නේය. සිල්වත් ජන සමාජයක සමාජිකයා ඊට වඩා ශක්‌තිමත් අඩිතාලමක සිටිනබව එම කරුණු ධනාත්මකව විමසන විට පෙනේ.
1. සිල්වතා නොපමා බවින් ඉහළට පැමිණෙන්නේය
2. කීර්තිය, යසස නොපමාව පැතිරෙන්නේය
3. වියත් සභා මැද නීර්භීතව පැමිණෙන්නේය
4. සිල්වතා නොමුළාව මිය යන්නේය
5. මරණින් මතු සුගතිගාමී වන්නේය.
සිල්වත්, සුසිල්වත් සමාජ ප්‍රභේදයේ දී ඉහත සඳහන් මිනුම් දණ්‌ඩ විශාල පිටිවහලක් වේ. එම කරුණුවලින් මුල් කරුණු හතරම සමාජය තුළ ප්‍රායෝගිකව උගත හැකි කරුණු බව අවධාරණය කළ හැකිය.
මේ අතරතුර අජාසත්ත රජුගේ සුනන්ධ වස්‌සකාර යන ප්‍රධාන අමාත්‍යවරු වඡ්ජීන් ට ප්‍රහාර දීම පිණිස පාඨලී ග්‍රාමයේ විශේෂ නගරයක් නිර්මාණය කළේය. ඒ අතර බුදුරදුන් ගංගා නදිය වෙත ළංවූයේ ය. නදිය අසබඩ මිනිසුන් ගංගා නදිය තරණය කිරීමට නැව් සොයති. පහුරු සොයති. එසේ සොයන මිනිසුන් වෙත වැඩම කළ බුදුරදුන් ඉතා ගාම්භීර පුළුල් තෘෂ්ණා සාගර නදිය තරණය කිරීමට ආර්ය මාර්ග නමැති පහුර බුද්ධියෙන් වැළඳ ගැනීමේ වැදගත්කම ඔවුනට පහදා දුන් සේක.
අනතුරුව ආනන්ද තෙරුන් සමග කෝටි ග්‍රාමයට වැඩම කළ බුදුරදුන් භික්‌ෂුන් අමතා දුක්‌ඛ සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා දීර්ඝ කාලයක් සංසාරයේ භවයෙන් භවයට ගමන් කරන ආකාරය මැනවින් පහදා දුන්හ. තෘෂ්ණාව සහමුලින්ම දුරුකරන ලද්දේ නම් සකල දුක්‌ඛ දොaමනස්‌සයන් දුරුකර පුනරුත්aපත්තිය ද දුරුකරන ලද්දේ විය.
එතනින් භාදිකාගමට වැඩම කළ බුදුරදුන්ට එම ගමේ මියගිය භික්‌ෂු/භික්‌ෂුණී, උපාසක/උපාසිකා පිරිසකගේ පරලොව ගතිය විමසන්නට පිළිතුරුදීමට සිදුවිය. එහිදී අරහත් භික්‌ෂුව ගිය තැනක් සොයාගත නොහැකි බව අවබෝධ කර දීමෙන් රහතන් වහන්සේ සකල ක්‌ලේෂයන් දුරුකරන අයුරු පැහැදිලි කරදීමට හැකිවිය.
බුදුරදුන් මෙම චාරිකාවේ දී ඊළඟට වැඩම කළේ විසාලාපුර අම්බපාලි ගණිකාවගේ අඹ උයන වෙතය. පාරේදී ලද ආරංචියෙන් අම්බපාලී ගණිකාව බුදුරදුන් වෙත එළඹ සතුටුසාමිචීයේ යෙදී සිට බුදුරදුන් ප්‍රමුඛ මහ සඟරුවනට දානය සඳහා ආරාධනා කළාය. එය සතුටින් පිළිගත් බුදුරදුන් අනතුරුව තමන් වෙත එළඹි ලිච්ඡවීන් සමග සතුටු සාමිචියේ නිරත වූහ. අම්බපාලී ගණිකාව බුදුරදුන්ට දන් පිළිගන්වා අවසානයේ අම්බපාලී වනය බුදුරදුන්ට පූජා කිරීම විශේෂ සිද්ධියකි.
බුද්ධ චරිතයේ අතිශයින්ම තීරණාත්මක සාධකයක කේන්ද්‍රස්‌ථානයක් වූ බේලුව ගමට අනතුරුව බුදුරදුන් වැඩම කළේ උපස්‌ථාදායක ආනන්ද තෙරුන් සමගිනි. බේලුව ග්‍රාමයේ වස් වැඩ සිටින බුදුරදුන්ට මරණාසන්න වූ උදරාබාධයක් හට ගත්තේය. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් එම උදරාබාධය මැඩ පැවැත්වූ බුදුරදුන් ආනන්ද තෙරුන් අමතා ''ආනන්දය මාගේ වයස අවුරුදු අසූවකි. දිරාපත් රියක් චක්‍ර බන්ධණයෙන් ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් යම් සේ පවතීද එපරිදි තථාගත කය අරහත් ඵල වේගයෙන් පවතින' බව වදාළ සේක. 'තමාට තමා පිහිටකොට පවතිව්. අන්‍යයන් පිහිට කොට නෙසිටිවු. ධර්මය පිහිටකොට පවතිව් යස් වැඩිදුරටත් දේශනා කළ සේක.
දිවා විහරණය පිණිස චාපාල චෛත්‍යස්‌ථානයට වැඩම කළ බුදුරදුන් තථාගත තෙමේ ඇරයුම් ලැබෙන්නේ නම් කල්පයක් වැඩ සිටිනවානේ යෑයි දෙතුන් වරක් අනන්ද තෙරුන් අමතා වදාළ සේක. ආනන්ද තෙරුන් නික්‌ම ගිය පසු මාරයා පැමිණ බුදුරදුන්ට දැන් පරිනිර්වාණයට සුදුසු කාලය එළඹ තිබේ යෑයි පවසන්නේය. බුදුරදුන් මාරයාට පවසන්නේ තම ශ්‍රාවකයන් ව්‍යක්‌ත විනීත විශාරද, බහුශ්‍රැත සාමීචිපටිපන්න වන තුරු තමන් පරිනිර්වාණයට පත් නොවන බවය.
එපමණක්‌ද නොව තම භික්‌ෂුණි යතිවරියන්ද, ගෘහස්‌ථ උපාසක උපාසිකාවන්ද උක්‌ත අයුරින් ව්‍යක්‌ත, විනීත වන තුරු පිරිනිවන් නොපාන බව වදාළ සේක. කෙසේ නමුත් තෙමසක් ඇවෑමෙන් පිරිනිවන් පානා බව මාරයාට පැවැසූ බුදුරදුන් චාපාල චෛත්‍යස්‌ථානයේදී ආයු සංස්‌කාර අත්හරින ලද්දේ මිහිකත ගුගුරුවා කම්පා කරමිනි.
ආනන්ද තෙරුන් පසුව දෙතුන් වරක්‌ම බුදුරදුන්ගෙන් පිරිනිවන් නොපානා ලෙසට ආයාචනා කළ ද එය ප්‍රතික්‌ෂේප කරමින් බුදුරදුන් වදාළේ එවැනි ඉල්ලීමකට සුදුසු කාලය නොවන බවය. ආනන්ද තෙරුන් අමතා බුදුරදුන් වදාළ තවත් වැදගත් කරුණක් මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයන් දැකිය යුතු වැඳුම් පිදුම් කළ යුතු, දැක සංවේගයට පත්විය යුතු ස්‌ථාන හතරක් ඇත්තේය. තථාගතයන් වහන්සේ උපන් ස්‌ථානය, බුදුවූ ස්‌ථානය, ධම්මචක්‌ක පවත්වන සූත්‍රය දෙසූ ස්‌ථාන සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ ස්‌ථානයද වෙයි.
කාන්තාවන් විෂයෙහි මාතෘවන්, සොයුරන් ආදී ඥතීන් වශයෙන් සලකා ක්‍රියාකිරීමේ වැදගත්කම පහදා බුදුරදුන්, බුදුරදුන්ගේ ශ්‍රී දේහය විෂයෙහි චක්‍රවර්ති රජ කෙනකුට මෙන් ගරු බුහුමන් කළ යුතුබව පෙන්වාදී ඇත. දාගැබ් කරවීමට හෙවත් ථූපාරන පුද්ගලයන් සිවුදෙනකු සිටිති. ඉන් පළමුවැන්නා බුදුරජාණන් වහන්සේ වෙති. සක්‌විති රජුද, පසේ බුදු මහරහතන් වහන්සේද ථූපාරන ගණයට වැටෙන සෙසු පුද්ගලයෝ වෙති.
සම්බුද්ධ පරිනිර්වාණය ද මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ සිදුවන බව වදාළ බුදුරදුන් තමන් අසූවසක් මුළුල්ලේ කරන ලද ලෝකාර්ථ චර්යාව සුරක්‌ෂිතව පවත්වාගෙන යාමට සමත් භික්‌ෂු - භික්‌ෂුණි - උපාසක - උපාසිකා පිරිසක් බිහිකරලීම ගැන අප්‍රමාණ සතුටට පත්වෙති. බුදුරදුන්ගේ ඇවෑමෙන් තමන් වදාළ ධර්මයත් පනවා වදාළ ශික්‌ෂා පදත් 'ශාස්‌තෘ තනතුරෙහි' තබාගෙන යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කළ යුතු බව ආනන්ද තෙරුන් අමතා ප්‍රකාශ කිරීමෙන් පෙනෙන්නේ බුදුන් වදාළ ධර්මය තුළ නිවැරැදි නායකත්වයක් මග පෙන්වීමක්, විමුක්‌ති මාර්ගයට සහ නිවැරැදි පිළිවෙතක් ඇති බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ලෝවැසියාට පෙන්වාදීම සඳහාය.
පුද්ගල නායකත්වය තුළ ගැටුම් හා තරගකාරීත්වය ඇතිවිය හැකි බැවින් ධර්මයට ගරු බුහුමන් කරමින් ධර්මානු ධර්ම පටිපන්නව ජීවත්වීමෙන් ශාසනය බැබළෙන බව බුදුරදුන් ජන සමාජයට පෙන්වාදී ඇත. ධර්මය වැසී තිබූ තරමට නොම බබළන බවත් විවෘත වූ තරමට, සංවාදයට පාත්‍රවූ තරමට එය බබළන බවත් බුදුරදුන් පෙන්වාදී ඇති බැවින් ධර්මය ශාස්‌තෘ තනතුරෙහි තබා ක්‍රියාකිsරීම භික්‌ෂු සමාජයේ පරම වගකීම හා යුතුකම වන්නේය.
ගිහි පැවිදි උභය සමාජයේම යහ පැවැත්මට ඉවහල්වන සදහම් කරුණු උපදේශවලින් හෙබි කරුණු රැසක් බුදුරදුන් පිරිනිවීමට පළමුව සමාජයේ විවිධ ස්‌ථරයන් උදෙසා දේශනාකොට ඇත. විවිධ කරුණු සහ විවිධ පුද්ගලයන් ඒ සඳහා මූලික වුවත් අඩංගු කරුණු ගිහි පැවිදි දෙපිරිසටම සර්වකාලීන අගයෙන් යුතු ඒවා බව ඉතාම පැහැදිලිය. සප්ත අපරිහානීය ධර්ම වැනි කරුණුවල දේවල් වෙති. පුද්ගල ඒකකයක් වශයෙන් සමාජය ඉලක්‌ක කිරීමේදීද, සාමාජික පිරිස කිහිප ගුණයකින් වැඩිවූ සමාජයක් තුළට ද 'ඒහි පස්‌සිකා' ගුණයෙන් යුතු යථාර්ථවාදී දහමක් දේශනා කිරීම නිසා ගෞතම බුදුරදුන් බහු ජනයා ප්‍රසාදයට පත්වී ඇත. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය සදහම් විවරණයකි. සමාජ විවරණය. දේශපාලන හා ආර්ථික විචලනයක තොරතුරු පෙළගසා ඇති නිර්මාණයකි. ශාසන ඉතිහාසයේ එක්‌තරා සන්ධිස්‌ථානයක් නිවැරැදිව ඒකරාශිකොට පෙන්වාදීමට එම සූත්‍රයට ශක්‌තිය ලැබී ඇත. ඒ තුළින් ගෞතම බුදුරදුන් තුළ තිබූ ශාසනික අභිප්‍රාය නූතන භික්‌ෂු සමාජය නිවැරැදිව වටහා ගන්නේ නම් එය වෛශාඛ්‍ය පූර්ණම් දිනයක බුදුරදුන් වෙනුවෙන් කරන උත්තරීතර පූජාවක් වන්නේය.
2016 මැයි මස 21 වැනිදා සෙනසුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment