Labels

Wednesday, May 25, 2016

පිරිසුදු සිතින් දන් දෙන්නෝ දෙලොව සැප ලබති


අතීතයෙහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බරණැස ගම් දොරකට වැඩි කල්හි ගම්වැස්සෝ උන්වහන්සේ මහත් ගෞරවයෙන් පිළිගෙන සියලු දෙනා එකතුව බුදුහිමියන්ට දානමාන සකසා පිළියෙල කොට පූජා කළහ.
දානය වළඳා අවසන බුදුහිමියෝ ගම්වැස්සන් වෙත දානානිශංස පිළිබඳ දහම් දෙසුමක් සිදු කළහ. එහි දන් දෙන්නන් වර්ග හතරක් ඇති බව උන්වහන්සේ පෙන්වා වදාළහ.

01. අනුන් සම්මාදම් නොකර තමාම දන් දෙන්නා. ඔවුහු සසරෙහි අවශ්‍ය භෝග සම්පත් ලබන නමුත් පිරිවර නොලබති.

02. අනුන්ගේ සහායෙන් දන් දෙන මුත් තමා කිසිවක් නොදෙන්නා. ඔවුහු සසරෙහි පිරිවර සම්පත් ලබන මුත් භවභෝග සම්පත් නොලබා දිළිඳුව උපදිති.

03. තමනුත් නොදෙන අතර අන්‍යයන්ගේ ද දානය වළකන්නා ඔවුහු සසරෙහි පිරිවර ද කිසිවෙකු නැති ඉතා දිළිඳුව ඉපිද ඉඳුල් කමින් ජීවත් වෙති.

04. අනුන්ගේ ද සහය ලබමින් තමන්ගේ දේ දන් දෙන්නා ඔවුහු සසර පුරා අවශ්‍ය සියලු භවභෝග සම්පත් මෙන්ම පරිවාර සම්පත් ද නොඅඩුව ලබති.

බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාව අසා සිටි එක් ඥානවන්තයෙක්. මේ හතර වන පුද්ගලයා අගයමින් තමන්ද එසේ දන් දෙමියි අධිෂ්ඨාන කර ගත්තේ ය. අනතුරුව බුදුරජාණන් වහන්සේ වැඳ හෙට දින තමන්ගේ ගමට දානය සඳහා වඩින්නැයි බුදුහිමියන්ට ආරාධනා කළේ ය. එසේම ඔබ වහන්සේගේ පිරිවර භික්ෂූන් කී නමක්දැයි විචාරා විසිදහසකැයි කී කල්හි එසේ නම් ඒ සියලු දෙනා වහන්සේ සමඟ වඩින්නැයි ද ආරාධනා කළේ ය. බුදුහිමියෝ ආරාධනය පිළිගත්හ.
අනතුරුව ඔහු තම ගමට පිවිස සියලු ගම්වැසියන් අමතා හෙට දින බුදුපාමොක් මහ සඟන තම ගමට දානයට වඩින බව පවසා සියලු දෙනා එක්ව තම තමන්ට හැකි තරම් භික්ෂු පිරිසට දානය පිළියෙළ කරන්නැයි ඉල්ලා සිටියේ ය. තම තමන්ගේ ශක්ති පරිදි දහනමකට විසි නමකට සිය නමකට යනාදී වශයෙන් වෙන් කර ගත්හ.

මෙම ගමෙහි ඉතාම දුගී පුරුෂයෙකු වෙසෙන අතර දුගී බව නිසාම ඔහු මහදුගියා නමින් ප්‍රකට විය. ඔහු වෙත පැමිණි දාන සංවිධායකවරයා මහදුගිය හෙට දින සංඝයාගමට වැඩම කරන බැවින් ඔබද කීප නමකට දානය පිළියෙළ කරන්නැයි ඉල්ලා සිටියහ. එවිට ඔහු කියා සිටියේ භික්ෂූන්ට දන් දෙන්නේ ධනවතුන් බවත් තමන් බැලමෙවෙහර කොට ජීවත් වන්නෙකු බවත් දන්දීම ධනවතුන්ගේ කාර්යයක් බවත්ය. එවිට ඔබ පෙර බවවලදී ද දනක් නොදී මහා දුගියෙකුව ඉපිද බැල මෙහෙවර කරන ආකාරයන් පෙර දන් දුන් අය සැප සම්පත් විඳින ආකාරයත් පෙන්වා දී දානයෙහි වැදගත්කම කියා සිටියේ ය.

එවිට දුගියා එසේ නම් කුලී වැඩක් කොට එක් නමකට දෙන්නෙමියි අදිටන් කොට ගෙට ගොස් බිරිඳ අමතා ගම්වාසීන් මහ දනකට සූදානම් වන බැවින් තමන් ද එක් නමකට දානය දෙන්නට බාර ගත් බවත් කියා සිටියේ ය. දිළිඳු බිරිඳ මෙයින් මහත් සේ සතුටුව ඔබ කළේ ඉතා යහපත් දෙයකැයි සතුටුව අප දෙන්නාම අද දවසේ කුලී වැඩ කොට උපයා එක්නමකට දන් දෙමුයි අධිෂ්ඨාන කළහ.

අනතුරුව නගරයේ මහ සිටුවරයා වෙත ගොස් නිවසේ කුලී වැඩක් ඇත්දැයි ඇසීය. සිටුවරයා කියා සිටියේ හෙට දින දෙතුන් සියයකට දන් දෙන බැවින් ඒ සඳහා දර පලා දෙන ලෙසයි. මහදුගියා වෑ පොරෝ ආදිය රැගෙන අමුඩය ද ගසා දර පලන්නට විය. සිය බිරිඳ වී කොටන ශාලාවට ගොස් වී කොටන්නට වූවාය. සිටුවරයා සහ සිටු බිරිඳ මොවුන් මේ තරම් සතුටින් වෙහෙසෙන්නේ කවර හේතුවක් නිසාදැයි විමසූහ. එක් භික්ෂුවකට දානය පිළියෙළ කරන්නට බව දැන සතුටුව කුලිය පිණිස සහල් නැලි, හතරකුත්, අමතර සහල් නැලි හතරකුත් තවත් බොහෝ තුටු පඬුරුත් ප්‍රදානය කළහ.

පසුදා උදෑසනින්ම සතුටින් පිබිද දෙදෙනා ම එක්ව දානය පිළියෙල කරන්නට විය. කොළ, පලා, මාළු ආදිය සොයා ගෙනවිත් පී‍්‍රතියෙන් ඉපිලෙමින් දෙදෙනා දානය සැකසූහ. එදවස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව බලනුයේ මෙම මහදුගියා තම බිරිඳ ද සමග එක් භික්ෂුවක් වළඳවන්නට සිතා දානය සකසන අයුරු දැක තමන් වහන්සේ එම නිවසට වඩින්නට අධිෂ්ඨාන කළහ. සැදැහැයෙන් දන් සකසන මහදුගියාගේ නිවසට බුදුහිමියන් වඩින බව දැනගත් සක් දෙවිඳු පවා දුගියාට ආශිර්වාද කළේ ය.

දානය පිළියෙළ කර අවසන් කළ දුගියා භික්ෂුවක් වඩමවා ගෙන එන්න දානසංවිධායකවරයා වෙතට ගියේ ය. එවිට ඔහු වෙනුවෙන් භික්ෂුවක් වෙන් කර නැති බව ඔහු කීවේ ය. එයින් මහත් සේ දුකට පත් දුගියා දන් හිසෙහි තබා ගනිමින් මහ හඩින් හඬන්නට විය. ඔහුගේ හඬ ඇසුණු ජනයා එතැනට රැස්ව දාන සංවිධායකවරයා කළේ බරපතල වැරැද්දකැයි ඔහුට චෝදනා කරන්නට විය. ඔහු හඬමින් සිටියදීම බුදුපියාණෝ එතැනට වැඩම කළහ. බොහෝ රජවරුන්, සිටුවරුන්, ධනවතුන්, ප්‍රභූන් බුදුහිමියන් තම නිවසට වඩමවා ගන්නට බලා සිටිය අතර බුදුහිමියෝ මහදුගියාගේ අතට තම පාත්‍රය පිළිගැන්වූහ. මහදුගියා මහා සක්විති රජ පදවිය ලැබූවකු සෙයින් මහත් සේ සතුටට පත් වූහ. ප්‍රභූ පිරිස් එකිනෙකාගේ මුහුණු බලන්නට වන්හ. බොහෝ ධනවතුන් බොහෝ මුදල් පෙන්වා පාත්‍රය තමන් අතට දෙන්නැයි ඉල්ලා සිටියහ. එහෙත් ගත නොහැකි වූ විට සියලු ප්‍රභූ පිරිස් බුදුහිමියන් සමඟ දුගියාගේ ගෙට වන්හ. අනතුරුව රජතුමන් බුදුහිමියන්ට පිළිගන්වන්නට සූදානම් කළ දානය කවරේදැයි විමසා බැලීය. ඒවා ඉතා මිහිරි ආහාර බව දැක සතුටුව මහදුගියාගේ දානය ඉතා ප්‍රසන්නව ඇතැයි බුදුහිමියන්ට සැලකර තමන් මෙම පැල්පතේ සිටීම දුගියාට මහත් හිරිහැරයක් බව පවසා බුදුරදුන් වැඳ පිටත්ව ගියේ ය. දුගියාද බුදුහිමියන්ට දානය පුදා අවසන අනුමෝදනාව අසා මහත්සේ තුටු පහටු විය. බුදුහිමියන් මෙම පැල්පතින් පිටත්ව ගිය කල්හි සක් දෙවිඳු ඔහුගේ පැල්පතට සත් රුවන් වැසි වැස්සවීය. දුගියා මහා ධනවතෙක් විය.

තමන් ලද සැපතින් දිවිය පුරා මහ දන් දෙමින් ගතකොට මරණින් මතු දිව්‍ය සම්පත් ලබා ගෞතම බුදුරදුන් සමයෙහි සැරියුත් හිමියන්ගේ දායක නිවස සිටු දියණියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. එවිට සිටු දියණියට දොළ දුකක් ඇතිවිය. එනම් සැරියුත් හිමියන් ප්‍රධාන පන්සියයක් භික්ෂූන් නිවසට වඩමවා දන් පිළිගන්වා කසාවතක් පොරවා ඒ භික්ෂූන් කෙළවර හිඳ භික්ෂූන් වළඳා ඉතිරි ඉඳුල් ආහාරය අනුභව කිරීමේ ආශාවකි. ඇය දෙමාපියන්ට ඒ බව දන්වා ඒ ආශාව ඉටු කර ගත්තාය. මෙසේ කුසෙහි වැඩුණු දරුවා බිහි වූ පසු ‘පණ්ඩිත දරු’ නමින් ඔහු නම් කෙරිණි. සත් හැවිරිදි වියේ දී පැවිදි වන්නට අවසර පතා සැරියුත් තෙරුන් ළඟ පැවිද්ද ලැබීය.

දිනක් සැරියුත් තෙරුන් මෙම කුඩා සාමණේරයන් සමඟ පිඬු සිඟා වඩිද්දී ඇලක් දැක එහි ජලය තමන්ට රිසි සේ ඇළවල් ඔස්සේ රැගෙන ගොස් ගොවියන් ගොවිතැන් කරන අයුරුත් හී වඩුවන් තමන්ට රිසි පරිදි යකඩ නමා ආයුධ සකසා ගන්නා අයුරුත් වඩුවන් රිසි සේ ලී දඬු කපා දැවභාණ්ඩ සකසන අයුරුත් දැක සිතක් නැති ජලය, යකඩ, දැව රිසි සේ නමා අපූර්ව දෑ නිර්මාණය කර ගන්නේ නම් සිතක් ඇති මනුෂ්‍යයා සිත සකසා ගත් කල්හි ජීවිතය කෙතරම් යහපත් කර ගත හැකිදැයි කල්පනා කොට එය විදර්ශනාව බවට පත් කර ගත්තේ ය. අනතුරුව බුදුහිමියන් හා සැරියුත් හිමියන් අතර පැවැති සාකච්ඡාවක් අසා රහත් බව ලදහ



කොළඹ විශ්වවිද්‍යාලයේ, 
සිංහල අංශයේ මහාචාර්ය 
අගලකඩ සිරිසුමන හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment