Labels

Thursday, May 26, 2016

දන්දෙන සැමියාට ගරහා ප්‍රේතියක් වූ බිරිඳක්


මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය.ලෝභී වූ ඇය මා විසින් භික්ෂූන් දන් දෙන කල්හි අක්‍රෝශ, පරිභව කළාය. භික්ෂූන් වහන්සේට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළාය. එසේ දුෂ්ට සිතින් කළ ඒ පාපී ක්‍රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳවන්නීය

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ පේතවත්ථුවේ සඳහන් දන් දෙන තම පුතුට ගරහා පේ‍්‍රතියක්ව උපන් මවක් පිළිබඳ සඳහන් “උත්තරමාතු’ නම් පේතවත්ථුව විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ දන් දෙන තම සැමියා පිළිබඳ ද්වේෂ සිතක් ඇතිකරගෙන දන් දීමට පරිභව කොට සා ගින්නෙන් දැවෙන පේ‍්‍රත අත් බවක් ලද ස්ත්‍රියක් පිළිබඳ තොරතුරු සඳහන් මහාපේසකාරපේතවත්ථුව විමසා බැලීමටයි.

අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන සමයක එක්තරා භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වස් විසීම පිණිස සුදුසු සෙනසුනක් සොයමින් යන අතරතුර රමණීය වූ මහත් ගස් සහ ජලය ඇති කැලයක් දැක එහි වස් විසීම පිණිස සිත් අලවා අසල වූ පේසකාර ගමට පිණ්ඩපාතය පිණිස වැඩියහ. එහි පේෂකාර පවුල් එකොළහක් වූ අතර ඒ සියලු දෙනාම භික්ෂූන් වහන්සේලාට මනා ලෙස දන් පැන් ආදියෙන් සංග්‍රහ කළහ. දානය වැළදීමෙන් පසුව භික්ෂූන් සමඟ කතා කළ ඒ පිරිස උන්වහන්සේලා වස් විසීමට වඩින බව දැන ඔවුන්ගේ ගමෙහි වස් වසන ලෙස ඉල්ලා සිටියහ. භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ ඉල්ලීම් ඉවසූහ. එම ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේලා දෙනමක් බාරගත් අතර අනෙක් පිරිස එක නම බැගින් බාර ගත්හ. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කුටි ආදිය ඔවුන් කර දුන් අතර මනා ලෙස සිව්පසයෙන් උපස්ථාන කරන්නට වූහ.
එහි දී ප්‍රධාන පේෂකාරයා භික්ෂූන් වහන්සේලා දෙනමක් ලබා ගෙන ශ්‍රද්ධාවෙන් ඇප උපස්ථාන කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුගේ බිරිඳ ශ්‍රද්ධාවක් නැති, නොපැහැදුණු, ලෝභී, මිත්‍යාදෘෂ්ටික කාන්තාවක් වූවාය. ඇය මනා ලෙස භික්ෂූන් කෙරෙහි නොපිළිපැදීම නිසා ප්‍රධාන පේෂකාරයා ඇගේම කනිටු සොහොයුරිය රැගෙන අවුත් නිවසෙහි ප්‍රධානත්වය දුන්නේය. ඇය බොහෝ සෙයින් ශ්‍රද්ධා සම්පන්න වූ බැවින් භික්ෂූන් කෙරෙහි මනාව පිළිපැද්දාය. මෙසේ වස් කාලය නිමා වූ කල්හි බොහෝ පින් රැස් කරගත් ඒ පේෂකාර ගමෙහි පිරිස භික්ෂූන් වහන්සේලාට සිවුරු පිණිස වස්ත්‍රද පිළිගැන්වූහ. තම ස්වාමියා පින් කරන කල්හි ඔහුගේ ශ්‍රද්ධාවක් නැති ලෝභී බිරිඳ ඔහුට මෙසේ ශාප කළාය. එනම්, “ඔබ ශ්‍රමණයන්ට දෙන ඔය ආහාර මළ මුත්‍ර වේවා! පාන වර්ග ලේ සැරව වේවා! වස්ත්‍ර ගිනි වස්ත්‍ර වේවා! යනුවෙනි.
කලක් ගත වීමෙන් ඒ පේෂකාර ප්‍රධානියා මිය ගොස් වින්ධ්‍යා කැලයෙහි මහත් ආනුභාව ඇති රුක් දෙවියෙක්ව උපන්නේය. ටික කලකින්ම ඔහුගේ ලෝභී බිරිඳ ද මියගොස් ඒ දේවපුත්‍රයා වසන තැනට නුදුරෙහි නිර්වස්ත්‍රව කුසට අහර නැති විරූපී පේ‍්‍රතියක්ව උපන්නාය. දුකට පත් ඇය ඒ රුක් දෙවියා සමීපයට පැමිණ ස්වාමීනි, මට කුසට අහරක් දෙන්න යැයි ඉල්ලීය. ඇය කෙරෙහි අනුකම්පා ඇති වූ ඒ දේව පුත්‍රයා ඈට දිව්‍යමය වූ ආහාර ද වස්ත්‍ර ද දුන්නේය. ඇය ඒ ආහාර පාන අත ගැසූ පමණින් මළ මුත්‍ර බවට, ලේ සැරව බවට පත්විය. දිව්‍යමය වස්ත්‍ර ඇඟේ දා ගත් පමණින් ගින්දර බවට පත් වී ඇගේ සිරුර දවන්නට විය. ඇයට මහත් දුක් දෙන්නට විය. ඇය මහත් ශබ්දයෙන් විලාප දෙන්නට විය.

ඒ සමයෙහි ම එක්තරා භික්ෂූන් පිටිසර පෙදෙසක වස් වැස නිමකොට බුදුරදුන් දකිනු පිණිස යනු කැමැත්තෙන් වින්ධ්‍යා කැලය මැදින් ඇති මාර්ගයෙන් වෙළෙඳ පිරිසක් සමඟ ගමන් ආරම්භ කළහ. වෙහෙසට පත්ව සිටි භික්ෂුව එහි මහත් සෙවණ ඇති ගසක් මුල දෙපට සිවුර එළා මදක් සැතපුණහ. නුදුරෙහි වූ වෙළෙඳ පිරිස ද මදක් වෙහෙස නිසා නැවතත් ගමන් ආරම්භ කළ අතර ඒ භික්ෂුව එහි තනි විය. භික්ෂුව අවදි වී බලන කළ වෙළෙඳ පිරිස නැති බව දැන තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය කෙසේ ලබා ගන්නේ දැයි කල්පනා කරමින් සිටින කළ ඒ වනයෙහි වූ පෙර කී රුක් දෙවියා පැමිණ උන්වහන්සේ තම භවනට වඩමවා දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සුදානම් විය. ඒ අවස්ථාවේ ද අර පේ‍්‍රතිය පැමිණ නැවතත් ආහාරපාන ඉල්ලීය.
දිව්‍ය පුත්‍රයාද නැවතත් ඇයට පෙර පරිදිම ආහාර පාන හා වස්ත්‍ර පිළිගැන්වීය. එහෙත් ඒ සියල්ල පෙර පරිදිම විය. ආහාර මළමුත්‍ර බවටත්, පාන ලේ සැරව බවටත්, ඇඳුම් ගිනිදැල් බවටත් පත්විය. මෙය දුටු භික්ෂුව කම්පාවට පත් වූ අතර දිව්‍ය පුත්‍රයාගෙන් ඈ මෙසේ වීමට පෙර කළ අකුශල කර්මය කුමක් දැයි විමසීය.

ගුථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං. පරිභුඤ්ජති කිස්ස අයං විපාකො
අයං නු කිං කම්මකාසි නාරි,
යා සම්බදා ලොහිතපුබ්බහක්ඛා
නවානි වත්ථානි සුභානි වෙව,
මුදුනි සුද්ධානි ච ලොමසානි
දින්නානි මිස්සා කිතකා භවන්ති ,
අයං නු කං කම්මමකාසි නාරි’ති

අසූචි මළ මුත්‍ර හා සැරව අනුභව කරන, කෘෂ වූ ලේ වැකී ගිය දැකීමට අපි‍්‍රය ශරීර ඇති, නව වස්ත්‍රයක් පැළදීමට දුන් විට ගිනි දැල් බවට පත් වන මේ ස්ත්‍රිය කවරෙක්ද? ඈ විසින් කවර නම් අකුශල කර්මයක් කරන ලදද?
එවිට ද දිව්‍ය පුත්‍රයා භික්ෂූන් වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පවසයි.

හරියා මමෙසා අහු භදන්තෙ,
අදායිකා මච්ඡරිනී කදරියා
සා මං දදන්තං සමණබ්‍රාහ්මණානං අක්කොසති ච පරිභාසතිච
ගුථඤ්ච මුත්තං, රුහිරඤ්ච පුබ්බං, පරිභුඤ්ජත්වං අසූචිං සබ්බකාලං
ඒතං තෙ පරලොකස්මිං හොතු වත්ථා ච තෙ කිතකසමා භවන්තු
ඒතාදීසං දූච්චරිතං චරිත්වා, ඉධාගතා, වීරරත්තාය ඛාදතී.ති

ස්වාමීනි මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය.ලෝභී වූ ඇය මා විසින් භික්ෂූන් දන් දෙන කල්හි අක්‍රෝශ ,පරිභව කළාය. භික්ෂූන් වහන්සේට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළාය. එසේ දුෂ්ට සිතින් කළ ඒ පාපී ක්‍රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳිවන්නීය වශයෙන් පැහැදිලි කළේය.
ඉන් පසු දිව්‍ය පුත්‍රයා එම භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඇසීය. ‘ස්වාමීනි,මේ ස්ත්‍රිය අපමණ දුකට පත් වෙමින් කාලය ගෙවන්නේය. මේ අකුශල කර්මයෙන් මැය මුදා ගැනීමට යම් ක්‍රමයක් ඇද්දැයි විමසීය. එවිට භික්ෂූන් වහන්සේ ක්‍රමයක් ඇත දේව පුත්‍රය යනුවෙන් පැවසූහ. එසේ නම් පවසන්න ස්වාමීනි, යනුවෙන් දේව පුත්‍රයා කීය. එවිට භික්ෂූන් වහන්සේ පවසන්නේ දේව පුත්‍රය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එක් ආර්ය ශ්‍රාවක නමක් හෝ උදෙසා දානයක් දී ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න ‘ යනුවෙන් පැවසීය.

එයින් සතුටට පත් දිව්‍ය පුත්‍රයා ඒ භික්ෂූන් වහන්සේටම දිව්‍යමය වූ ආහාර පානාදිය සැදැහැ සිතින් ගෞරව පෙරටුව පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළාය. ඒ පේ‍්‍රතියගේ අතෙහිම තබා දිව්‍යමය වූ වස්ත්‍ර යුගළක් ද භික්ෂූන් වහන්සේට පිළිගැන්වූවාය. ඒ පින් අනුමෝදන් වූ ඇය ඒ දුක්ඛිත පේ‍්‍රත ආත්මයෙන් මිදී දිව්‍යමය වූ ශරීරයක්ද දිව්‍යමය වූ ආහාර පානද දිව්‍යමය වූ වස්ත්‍ර ද ලැබ අතිශය සතුටට පත් වූවාය.

භික්ෂූන් වහන්සේ ද ඒ දිව්‍ය පුත්‍රයාගේ ආනුභාවයෙන් එදිනම සැවැත් නුවරට පැමිණි අතර බුදුරජාණන් වහන්සේ හමු වී දිව්‍යමය වූ වස්ත්‍ර යුග්මය ද පිළිගන්වා සියලු පුවත් පැවැසූහ. එය අරමුණු කරගත් බුදුරජාණන් වහන්සේ රැස් වූ පිරිසට දහම් දෙසූහ. බොහෝ දෙනාට එහිදී ධර්මය අවබෝධ විය.





මහරැඹෑවැවේ පාලිත හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment