තථාගතයන් වහන්සේගේ පහළවීම ප්‍රඥා ඇස පහළ වීමයි. ප්‍රඥා ලෝකය පහළ වීමයි. මාර්ග ඵලයන්ගේ පහළ වීමයි. රහතන් වහන්සේගේ පහළ වීමයි. “බුද්ධෝ හවේ කප්ප සතෙහී දුල්ලභෝ” බුදුවරු කල්ප සියයකටත් දුර්ලභයි. ඉතින් ඒ සෑම බුදුරජාණන් වහන්සේගේම අසිරිමත් උපත, සම්බුද්ධත්වය, පරිනිර්වාණය සිදුවන්නේ වෙසක් පුන් පොහෝ දිනයකදී ය.
ත්‍රිවිධ පරිනිර්වාණය
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම යනු කවුරුත් අසා ඇති දෙයකි. ඒත් ත්‍රිවිධ පරිනිර්වාණය ගැන බොහෝ දෙනා නොදනී. ඒ පරිනිර්වාණ තුන
(1) ක්ලේෂ පරිනිර්වාණය - දඹදිව වජ්‍රාරාසනයේ සිට දසමරුන් පරදා සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත්වීම ය. මෙය “සෝපාදිසේස පරිනිර්වාණ ධාතුව” නමින්ද හැඳින්වේ.
(2)ස්කන්ධ පරිනිර්වාණය – උපාදාන ක්ෂය කිරීමෙන් පඤ්චස්කන්දයේ සසර පැවැත්ම නතර කරවූ මුනිවරුන්ට ඇත්තේ ජීවිතය පවතින තුරු පවතින පඤ්චස්කන්ධයකි. එය බැහැර කිරීම පිරිනිවන් පෑම, ස්කන්ධ පරිනිර්වාණය යි. මෙය “අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව” ලෙසද හැඳින්වේ.
(3) ධාතු පරිනිර්වාණය - බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් භාග්‍යවතුන් වහන්සේ යැයි සලකා ධාතූන් වහන්සේට වන්දනා කරති. ඒ ධාතුන් වහන්සේත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වන දිනයක් උදාවේ. එය “ධාතු පරිනිර්වාණය” යි.
සෑම බුදුවරයකුගේම ධාතුන් වහන්සේ වෙන්වීම සිදුනොවේ
මෙයට කියන්නේ ධාතු විසිරීම හා ඒකඝණ වීම කියායි. අටවිසි බුදුවරු ඔබ දනිති. ඒ අතර දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, අනෝමදස්සි, නාරද, පදුමුත්තර, සුජාත, පියදස්සී, සිද්ධත්ථ, තිස්ස, විපස්සී, සිඛී, කකුසද, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ 16 නමගේ ධාතුන් වහන්සේ විසිරුනේ නැත. ඒකඝන විය. ඒ කියන්නේ මුළු බුදු සිරුරේම ධාතුන් වහන්සේ එකටම පිහිටීමයි. එක ධාතුන් වහන්සේ නමයි. එවිට තුන් ලෝකයටම එක ධාතු ස්තූපයයි. ඉතින් යොදුන් ගණනක් උසට ඒ ධාතු ස්තූප රන් , මිණි මුතු වලින් නිම කෙරේ. ඒ වගේම රේවත, සෝභිත, පදුම, සුමේධ, අත්ථදස්සි, ඵුස්ස, වෙස්සභූ, කෝණාගමන හා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ නව නමගේම ධාතුන් වහන්සේ විසිරුණි. ඒ අනුව එක එක ප්‍රමාණවලට ධාතුන් වහන්සේ වෙන් විය. ධාතු ස්තූප විශාල ප්‍රමාණයක් ගොඩනැඟුණි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු විසිරීම
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත නිකෙලෙස් ගුණය, බුද්ධානුභාවය මුළු සිරුර පුරාම පැතිරී තිබුණි. බුදු සිරුර පමණක් නොවේ උන්වහන්සේ වැඩ සිටි ආසනය, පෙරවූ චීවරය, දන් වැළඳු පාත්‍රය පවා පූජනීය විය. ඒවායින් පවා අනේක විධ ප්‍රාතිහාර්ය සිදුවී ඇත. සිරිපා කමල් ස්පර්ෂ කළ භූමීයත් පූජනීය වේ. එතරම් නිකෙලෙස් බව ආශ්චර්යවත් දෙයකි. අනන්ත සම්බුදු ගුණ, දසබල ඥාන, විශාරද ඥාන, අසාධාරණ ඥාන, සබ්බඤ්ඤුත ඥාන, අනන්ත මෛත්‍රිය, මහා කරුණා සමාපත්ති ඥානය ආදී ගුණයෙන් ස්පර්ෂ වූත් උතුම් බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වුණි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මැටි පිඬක් වෙන් කළද, එය උද්දේශික ධාතුවක් වුණි.
ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ ඉතිරි වුණි. උතුම් නලල් (ලලාට) ධාතුන් වහන්සේ අකු ධාතු දෙනමත්, සතර දළදා වහන්සේත් නොබිඳී එලෙසම තිබුණි. ඉතිරි ධාතුන් වහන්සේ ප්‍රමාණ තුනකට බෙදී තිබුණි. මුං පියලි ප්‍රමාණයට රන් පැහැයෙන් නැලි පහක් ද, කඩ සහල් ප්‍රමාණයට මුතු පැහැයෙන් නැලි පහක්ද, අබ ඇට ප්‍රමාණයට කුමුදු මල් පැහැයෙන් නැලි හතක් ධාතුන් වහන්සේ බෙදුණි. නැලි දහසයක් ධාතුන් වහන්සේ ද්‍රෝණ අටක් වුණි. ඒ උතුම් ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය මෙතැන් සිට. . .
ශාසනය අතුරුදහන් වීම
පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය කියා කොටස් තුනකි. ප්‍රතිවේධ ශාසනය යනු මාර්ගඵල ලැබූ ශ්‍රාවකයන් සහිත බුදු සසුනයි. පළමුවෙන් මාර්ගඵලලාභීන් සහ මාර්ගඵලලාභීන් බිහිවීම ලෝකයෙන් අතුරුදහන් වේ. ප්‍රතිපත්තිය යනු - සීල, සමාධි, ප්‍රඥා ගුණ පුරුදු කරමින් ශාසනය බබුළුවමින් වෙහෙර විහාර කරගෙන ගුණ දහම් පුරුදු කරන කාලයක් තිබේ. මාර්ගඵල ලබන්නා කොපමණ උත්සාහ දැරුවත් අවබෝධයකට නො පැමිණේ. ප්‍රතිපත්තිය පමණක්ම හික්මීම සිදුවෙයි. මාර්ගඵලාවබෝධයක් නොවන්නේ තමා තුළ මෝරා ගිය පුණ්‍ය ශක්තිය නැති නිසාය. ඒ ප්‍රතිපත්තියේ හැසිරීමත් අතුරුදන්ව, දුස්සීලව, පාපී හැසිරීම් ඇතිව ලාභ සත්කාරයෙන් මත්ව ශාසනය කිලිටි කර ගනිති. ඒ ප්‍රතිපත්ති ශාසනය අතුරුදහන් වීමයි. පර්යාප්තිය යනු - මූලික බුද්ධ වචනය අතපත ගාමින් හෝ සාකච්ඡා වේ නම් එතැන සුළුවෙන් හෝ බුද්ධ ශාසනය තිබේ. පින් පව්, කුසල් අකුසල්, වැඳුම් පිදුම් ගැන කතාවේ. එයත් අතුරුදහන් වන දිනයක් එළැඹේ. එවිට මිනිසුන්ගේ ආයුෂ විශාල ලෙස අඩුවී ඇත. පින් පව්, කුසල් අකුසල් අම්මා, තාත්තා හඳුනන්නේ නැත. වැඳුම් පිදුම් කිරීමක්, ධාතුන් වහන්සේ ස්තූප, බෝධීන් වහන්සේට ගෞරව සම්මාන සැලකුම් ද නැත. ධාතුන් වහන්සේට වන්දනා කොට පින් රැස්කර ගන්නා එක් අයෙකුවත් ලෝකයේ නොමැති දිනක් උදාවේ. එදින පරිනිර්වාණය සිදුවේ.
ලංකාවේ සියලු ධාතුන් වහන්සේ රුවන්මැලි සෑයට එකතුවීම
මේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේ වෙසක් පෝය දිනකයි. ලංකාවේ ඇති සියලු ස්ථානවල තිබෙන ධාතුන් වහන්සේ රුවන්වැලි සෑයට එකතු වේ. සේරුවිල ලලාට ධාතුන් වහන්සේ, නුවර දළදා වහන්සේ, සෝමාවතියේ දළදා ධාතුන් වහන්සේ, ථූපාරාමයේ අකු ධාතුන් වහන්සේ මහියංගනය, මුතියංගනය ආදී සියලු ධාතුන් වහන්සේ යටත් පිරිසෙන් අබ ඇටක් පමණ ධාතුන් වහන්සේ නමක් නිවසක කරඬුවක හෝ තැම්පත්ද, ඒ සියලු ධාතුන් වහන්සේ අහසින් සුදු හංස පෙරහරක් සේ වැඩම කොට රුවන්මැලි සෑයට එකතුවන බව සඳහන් ය. මහා සෑය දෙ බෑකොට ද්‍රෝණයක් ධාතුන් වහන්සේ ආකාශයට පැන නැඟී මුතු මාලාවක් සේ ඒ සියලු ධාතුන් වහන්සේ එකතුව ෂඩ්වර්ණ රශ්මිධාරා විහිදුවමින් නාගදීපයට ආකාශයෙන් වඩිති. නාගදීප සෑය පලාගෙන මිණි පළඟ ආකාශයට වඩින අතර, ඉහත කී සියලු ධාතුන් වහන්සේ ඒ මිණි පළඟේ තැන්පත් වේ. ධාතුන් වහන්සේ පිහිටිය ඒ මිණි පළඟ ආකාසයෙන් දඹදිව වජ්‍රාරාසන භූමියට වැඩම කරන බව සඳහන්.
සියලු සක්වල ධාතුන් වහන්සේ එක්වේ
මේ වනවිට සිළුමිණ සෑයෙන් කේශ ධාතුන්, දකුණු දළදාවත්, බඹලොවින් සළුමිණ සෑයේ අකු ධාතුව ඇතුළු සියලු ධාතූන් වහන්සේත්, ඒ ඒ සක්වල ධාතුන් වහන්සේ වජ්‍රාරාසන භූමියට වැඩම කරති. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේ වැඩම කරති. අනන්ත දස දහසක් සක්වල දෙවියෝ, නාගයෝ, බ්‍රහ්මයෝ බුද්ධ භූමිය පිරිවරා ගනිති.
බුදු සිරුර මැවේ යමාමහා ප්‍රාතිහාර්ය සිදුවේ
ඒ සියලු ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තිබුණ ආකාරයටම පිහිටති. නලල් තලය ඒ තැනද, අකු ධාතුන් වහන්සේ ඒ තැන, කේශ ධාතුන් වහන්සේ සිරසේද, දන්ත ධාතුන් වහන්සේ මුව මඬලේද, යටත් පිරිසෙන් අබ ඇටක් පමණ ධාතුන් වහන්සේ ඒ ඒ ධාතු පිහිටිය තැනම පිහිටති. නව අනුදහසක් රෝම ධාතු ඒ ආකාරයටම පිහිටති. දෙතිස්මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි උතුම් බුදු සිරුර මැවේ. ඒ ධාතු ශ්‍රී බුද්ධ ශරීරය ආකාශයට පැන නැඟී ලෝකධාතුව කම්පා කරවමින් යමක මහා ප්‍රාතිහාර්ය පෑම සිදුවේ. එය ධාතුන් වහන්සේගේ අවසන් දැක්ම වේ. ගස්වලින් වැසී පැවැති වජ්‍රාරාසන භූමිය නැවතත් බුද්ධත්වයට පත් වූ දා තිබුණා සේ පොළොවෙන් මතුවේ. ඒ බුදු සිරුර වජ්‍රාරාසනයේ වැඩ සිටිති. මේ සියල්ල සිදුවන්නේ එදා අපේ බුදුරජාණන් වහන්සේ කළ අධිෂ්ඨානය අනුවයි. ඉන් අනතුරුව වජ්‍රාරාසනයෙන් පැන නඟින මහා විශාල ගිනි කඳකින් සියලු ධාතුන් වහන්සේ ආදාහනය සිදුවේ. අකනිඨා බඹලොව දක්වා ඒ ගිනි සිළුව විහිදී යති. නැවත කිසිම දිනක ධාතුන් වහන්සේ නමක් දැක ගන්නට ලැබෙන්නේ නැත. දෙවියන්, බඹුන් හඬා වැළපෙන්ට පටන් ගනී. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනිවන් පෑවට වඩා අඳෙීනාවක් ලොව පුරා පැතිරේ. ගෞතම බුදු සසුන අතුරුදහන් වේ. මිහිමඬල කම්පා වේ. විදුලි කෙටීමෙන් මහා වර්ෂා ඇතිවේ. බිහිසුණු දේ සිදුවේ. ඉන්පසු උදාවන්නේ මහා අභාග්‍යය සම්පන්න යුගයකි.
ලෝකයේ පූජනීය සියලු දේ අතුරුදහන් වේ
ඒ ක්ෂණයෙහිම ඒ මොහොතේම අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අෂ්ඨඵල, දෙතිස්ඵල ආදියෙන් එන පරම්පරා උතුම් බෝධි සියල්ල අතුරුදහන් වේ. සියලු බුද්ධ ප්‍රතිමා, ශ්‍රී පාද ලාංඡන, ස්තූප අතුරුදහන් වේ. පව්කාර මිනිසුන්ගේ ලෝකය අන්ධකාරයෙන් වැසී යති. කුසල් යන නාමය පවා අතුරුදන් වේ. ඒ යුගය අතිශයින් බිය ජනකය. පාපතර ය.
එනිසා ඔබත් අද අදම ධර්මයට ආසා කරන්න. සසර ගැන කළකිරෙන්න. බුදුවරු නැති ලොවක කිසි දෙයක් සුන්දර නැත. මේ සසර ඉතා භයානකය. එනිසා අපටත් මේ ගෞතම බුදු සසුනේදීම සසර දුකින් නිදහස් වීමට වාසනාව උදාවේවා.
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment