Labels

Friday, May 13, 2016

ලෝකෝත්තර දියුණුවට මඟ පාදා ගනිමු


තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්.

“දියුණුවේ දොරටුව” නමින් අපි කිහිප අවස්ථාවක්ම කවර කරුණුවලින් දියුණුවක් සලසාගන්න පුළුවන්ද කියලා මෙතෙක් සාකච්ඡා කළෙමු. ලෞකික, ලෝකෝත්තර වශයෙන් දියුණුවේ ක්‍රම දෙකක් බුදු දහමෙහි සඳහන් වෙනවා. ලෞකික දියුණුව ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. රැකියාවෙන්, වෙළෙඳාමෙන්, ගොවිතැනින්, තමන්ගේ බෝග සම්පතින් වන දියුණුව ලෞකික දියුණුවයි. අපට අවශ්‍යවන්නේ ලෞකික දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුවයි.
ලෝකෝත්තර දියුණුව ඇත්තේ ලෝකයෙන් එතෙරවීම සඳහායි. ලෝකෝත්තර ධර්මතාවයෝ අවබෝධ කරගන්නට ලෝකයෙන් එතෙර වන්නට මෙන්න මේ කියනු ලබන සුවය අපට අවශ්‍යයයි. ලෝකයෙන් එතෙරවීම යනු සිතට, ගතට යම් සුවයක් ලැබීමයි. එය නිර්වාණයෙහි ප්‍රධාන සැප හතරයි. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලින් ලැබෙන සැපය. ඒ ලෝකෝත්තර සැපය ලබන්නට අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ කරුණු ටිකයි.
දස කථාවස්ථුව – අප්පිච්ච කථා, සන්තුට්ඨි කථා, අවිවේකී කථා, සතර සබ්බ කථා, විරියාරම්භ කථා, ධීර කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුක්ති කථා සහ විමුක්ති ඥාන දස්සන කථා කියලා කථා වස්තු දහයක් තිබෙනවා. මෙන්න මේ දස කථා වස්තු අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර සැපය සඳහායි. දියුණුව අතුරෙන් ලෝකෝත්තර දියුණුව සඳහා පමණක් විශේෂයෙන් මෙය මහෝපකාරී වෙනවා.
අල්පේච්ඡකම පිළිබඳව, සීලය ගැන, ධූතාංග පිළිබඳව කතා බස් කිරීම, අල්පේච්ඡකම අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍යයයි. අල්පේච්ඡකම තිබුණොත් තමන්ගේ මෙලොව , පරලොව සැපතටත් හොඳයි. මෙලොව සුගතියටත් හොඳයි. නිවන් සුවය සඳහාත් මහෝපකාරී වෙනවා. ඒ වගේම ලද දෙයින් සතුටුවීම සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා.
අල්පේච්ඡ කථා වගේම ලද දෙයින් සතුටුවීම, තමාට යමක් ල ැබෙන්නේ පින නිසයි. පිනට ලැබෙන දේ ගැන සෑහීමකට පත්විය යුතුයි. සතුටුවෙන්නට ඕන. එය සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා. අවිවේකී කථා – කාය විවේක , චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේක තුනක් තිබෙනවා. අන්න ඒ විවේක තුන පිළිබඳව කතා කරන්නට ඕන. ඒ වගේම හික්මෙන්නට ඕන. ඒවගේම සංවරකම දියුණු කරගන්නට ඕන. සංවරකථා ආදී දුරුකරගන්නා විට එය ලෝකෝත්තර සුවය පිණිස නැඹුරු වෙනවා. එහෙමනම් විවේකය පිළිබඳ කථා කිරීම අවශ්‍යයයි. ඊළඟට නොඇලීම පිළිබඳව කථා කරන්නේ නැතිව, සාරසබ්බ කථා, එකතු වී කථා කරන්නේ නැතිව වාද භේද අසමඟිකම් නැතිව වැදගත් දෙයක් පිළිබඳව පමණක් කතා කරන්න ඕන. ඒකත් ලෝකෝත්තර ධර්මතාවයන්ට නැඹුරු වෙනවා. ඊළඟට විරියාරම්භ කථා උත්සාහය ගැන කථා කරන්නට අවශ්‍යයයි. කම්මැළි පුද්ගලයෙක් නිවන් දැක්කේ නැහැ. කම්මැළි පුද්ගලයෙක් දෙව්ලොවට , බඹලොවට ගියේ නැහැ. ඔහු දියුණුවක් ලැබුවේ නැහැ. හැම අවස්ථාවකදීම මේ උදවිය දුකට පත්වුණා. උත්සාහවන්තයා සුගතියට ගිය බවත්, දෙව්ලොවට ගිය බවත්, බඹලොවට ගිය බවත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් බවත් ඕනතරම් සඳහන් කරන්න පුළුවන්. බුද්ධ ශාසනය ඇත්තේ උත්සාහවන්තයාටයි. “උත්සාහවන්තයා ජය ගනී කියන්නේ අන්න ඒකටයි. චතුරාර්ය සත්‍ය අවබෝධය, මාර්ගඵල ධර්මයන්ගේ ප්‍රතිභාවය නිවන් සාක්ෂාත් කරනු ලබන්නේ උත්සාහවන්ත නිසයි. උත්සාහ කිරීම පිළිබඳව කතා කිරිීම විශේෂිතයි.
ඊළඟට ශීල කථා. පංචශීලය ගැන අටසිල් ගැන, දස සිල්, සාමණේර සිල් , උප සම්පදා සිල් කියල අධිශීල ගැන කථාබස් කරන්න. එහෙම කථා කළොත් ලෝකෝත්තර පැත්තට සිත නැඹුරු වෙනවා. මා සිල්වන්තයෙක්, ගුණවන්තයෙක් කියලා හැම පැත්තටම නැඹුරු වෙනවා. ශීලය එතරම්ම වටිනවා. පංච ශීලය එකමොහොතක් රකිනවානම් ඒ ආනිසංසවාරය මෙපමණයි කියන්න බැහැ. අවුරුදු සීයක් දුසිල්වන්තව ඉන්නවාට වැඩිය වටිනවා එක මොහොතක් සිල්වන්තව වාසය කිරීම. සංසාරෙදිවත් තෙරුවන් සරණ ගිහින් පන්සිල් අටසිල් රකින්න පුළුවන් කියලා සිතන්න අමාරුයි. බුදු සසුනේ නැහැ එතරම් අසීරු දෙයක්. මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයටම බුදුවුණේ විසිඅටනමයි. අප සිල්ගන්න වාර විසිඅටයි තිබුණේ. අපේ පෙර වාසනාවකට මේ ගෞතම බුද්ධ ශාසනයේදී තෙරුවන් සරණ ගිහින් පන්සිල්, අටසිල් රැකීමේ ශක්තිය ලැබුවා. ගුණයට අප පුළුවන් තරම් ශීල කථාව ඇතිකරන්න ඕන. එය ලෝකෝත්තර දියුණුව පිණිසයි.
ඊළඟට සමාධි කථා, බුදු ගුණ. මෛත්‍රී, අසුභ, ආනාපානසති වැනි භාවනා පිළිබඳව කථා කළ යුත්තේ සමාධිය පිණිසයි. සමාධිය යනු සිතේ තැන්පත්කමයි. සිතේ තැන්පත්කම ලබන්න නිකම් බැහැ. පොත පත කියවීමෙන්, දේශනාවන්නට සවන් යොමු කිරීමෙන්, භාවනාවක් කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කියනු ලබන සමාධි අවස්ථාවන්ට පත්වෙන්නට. ඒකට තමයි ධ්‍යාන අවස්ථාව කියන්නේ. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ත ධ්‍යානය කියන්නේ ඒ සමාධි අවස්ථාවන්ටයි. එහෙම දියුණු කර ගත්තහම රූපාවචර තත්ත්වයන්ට පත් වෙනවා. එහෙමනම් මේ සිතේ සමාධිය, සිතේ තැන්පත්කම දියුණු කරගන්න අය තමයි විපස්සනාවට හැරිලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකෝතර දියුණුවට සිත මුල් කරගන්නේ. එහෙමනම්, සමාධිය පිළිබඳව කතා කිරීම බොහොම වැදගත්.
පඤ්ඤා කථා – නුවණ ගැන කථා කරන්නට ඕන. නුවණ ලැබෙන්නෙ කොහොමද, නුවණ දියුණුවෙන්නේ කොහොමද කියලා සිතන්න ඕන. ඒ ගැන කථා කරන්න ඕන. ඒකෙනුත් කෙලෙස් යටපත් වෙනවා. නිවනට සමීප වෙනවා. වැදගත් ධර්මතා කරුණු බොහෝ රාශියක් දියුණු තියුණු වෙලා යනවා. ඒකත් වැදගත් පාඩමක්. ප්‍රඥාව දියුණුව පිණිස කටයුතු කරන්නට ඕන. බණ ඇසීමෙන් ප්‍රඥාව වැඩෙනවා. භාවනාවෙන්, පොත පත කියවීමෙන් ධර්ම සාකච්ඡාවෙන් ඒ ඒ දේවල් සිතීමෙන් නුවණ හොඳට දියුණු වෙනවා. ලෝභ, දෝස, මෝහ නැත්නම් ඒ සෑම අවස්ථාවකම හොඳට ප්‍රඥාව දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. මේ ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරනවානම් ඒක තමයි නුවණ දියුණු කරන පළමුවන ක්‍රමය. විදසුන් භාවනාව. මේ ශරීරය අනිත්‍ය, දුක්ඛය , අනාත්මයි කියලා නිතර නිතර මෙනෙහි කරන්න. එය ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. එහෙමනම් ප්‍රඥාව ගැන හොඳට සිතලා කථා කරද්දී ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. ලෝකෝතර පැත්තට දියුණු වෙනවා.
ඊළඟට විමුක්ති කථා, නිවන ගැන කථා කරන්නට ඕන. නිර්වාණය යනු තණ්හාවේ නිවීමයි. කෙලෙසුන්ගේ නිවීම නිර්වාණයයි. එහෙනම් තථාගත බුදු කෙනෙකු පමණයි මේ නිර්වාණය ගැන විස්තර කරන්නේ. සංසාරය එතෙරවීම ගැන කියල දෙන්නේ. වෙන කාටවත් බැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවන ගැන කථා කරන්න ඕන. ඒක නිරෝධ සත්‍යයයි. එය නිවනට හේතුවන ලෝකෝත්තර දියුණුව පිණිසයි.
ඊළඟට විමුක්ති ඥාන දස්සන කථා– නිවනට පත් වුණහම ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙනවා. ඒවා ගැන කථා කරන්න ඕන. දැන් සෝවාන් ආර්යයන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහයි. ඉතුරු ක්ලේශ ප්‍රත්‍යවේක්ෂාව, ප්‍රහීණ ක්ලේෂ ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් මාර්ග ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් ඵල ප්‍රත්‍යවේක්ෂාව , නිර්වාණ ප්‍රත්‍යවේක්ෂාව ආදී පස්වැදෑරුම් වෙනවා. සකෘදාගාමීතුමාටත් පහයි. අනාගාමීතුමාටත් පහයි. එසේනම්, ඔක්කොම පහළොවයි. රහතන් වහන්සේට හතරයි. ඉතුරු කෙලෙස් නැහැ. ශේෂ ක්ලේෂ නැහැ. එහෙමනම් දහනවයයි. ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂා ධර්ම දහනවයම තියෙනවා. විමුක්ති ඥාන දස්සන කථා කියලා. එහෙමනම්, අප නිවන ගැන කථා කරන්න වගේ මාර්ග ඵල ධර්ම ගැන කථාකරන්නට ඕන. ඉතුරු ක්ලේශ ගැන, ප්‍රහාණය වූ ක්ලේශ ගැන, මාර්ග ඵල ගැන, නිවන ගැන සාකච්ඡා කරනවිට කථාකරන විට එය සම්පූර්ණ වෙනවා. ලෝකෝත්තර පැත්තට සිතදියුණු වෙනවා.
එහෙමනම්, ලෝකෝත්තර දියුණුව ලබන්න දස කථා වස්තු බොහොම ප්‍රයෝජනවත්. දස කථා වස්තු අප සිතට අරගෙන තවත් පින්වතුන් සමඟ සාකච්ඡාකරන විට තමන්ම සිතනවිට අඩුපාඩුකම් නැති වෙනවා. ගුණ, නුවණ හොඳට දියුණුකර ගන්න පුළුවන්. කායික, මානසික සුවය හොඳට සලසාගන්න පුළුවන්. කායික මානසික සුවපත් භාවයෝ මෙලොව ජීවිතය, සලසාගෙන අපට යහපත්ව කටයුතු කරගෙන යන්න පුළුවන්. මෙලොව පරලොව ජීවිත සකස්කරගන්න බොහෝම සැපවත්කමක් අපට උදාකරගන්න පුළුවන්කම තිබෙනවා. මේ සෑම දෙයක්ම අපට ලැබුණේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය නිසයි. රත්නත්‍රය නැත්නම් මේ කියන කිසිම දෙයක් නැහැ. එහෙමනම්, මේ තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්. නැත්නම් කොහොමත්ම බැහැ. ඉන්ද්‍රිය පහ ප්‍රධානයි.
ඒ මඟින් අපට මාර්ගඵල අවස්ථාව, චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ලෝකෝත්තර ධර්මතාවයන්ට සමීප වෙන්න. ඒනිසා ඔබ ,අප සෑමදෙනාම මේ දියුණුව කියන දොරටුව විවෘත කරගත යුතුයි. එහි යතුර තිබෙන්නේ තමා අතෙයි. අනුන්ට මේක ඇරගෙන යන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමා යන නිවන් ගමන තමා විසින්ම යා යුතුයි. ඒකට අවශ්‍යවන්නේ ඉහත සඳහන් කළ ධර්ම කරුණුයි. ඒනිසා ලොවුතුරු බුදු දහම යනු දෙවියන් සහිත ලෝකයාගේම මහා ශක්තියක්. මහා බලයක් ගොඩනංවන තැනක්. කල්ප ගණනාවකින් නොලැබෙන දෙයක් අද අපට ලැබී තිබෙනවා. බොහෝ දෙනා මේ ගැන නොසිතන නිසා දියුණුවක් ලබාගන්නට බැහැ.

මරණෙන් පසුව දුකට පත්වෙනවා. මේ ගැන සිතන බොහොම ටික දෙනා මරණින් පසුව සුගතියට පත් වෙනවා. බොහෝ දෙනෙක් නිවනට පත් වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් පතාගෙන ආපු ,දියුණුව පතාගෙන ආපු සූවිසි අසංඛ්‍යයක් දෙනා නිවනට පත් වුණා. බුදු සසුන පිහිටපතාගෙන ආපු නැති කෙනාට නිවනට පත්වෙන්නට බැරි වුණා. දැන් කොසොල් රජතුමාටවත් , මල්ලිකා දේවියටවත් මේ ලෝකෝත්තර දියුණුව ලැබුණේ නැහැ. හේතුව ඒ අය නිවන් සම්බන්ධව ප්‍රාර්ථනාවක් නැතිව ඇති. නිවන් සම්පත් පතාගෙන ආ බිම්බිසාර රජතුමා මාර්ගඵලවලින් නිවනට පත් වුණා. සුද්ධෝදන රජතුමා රාජ්‍ය කරන කාලයේදීම රහත් බවට පත්වුණා. රජකෙනෙක් ලෙසම පිරිනිවන් පෑවා. එහෙමනම්, එතුමා ඉහළම දියුණුවට පත් වුණා. මේවා ගැන සිතලා අපත් පුළුවන්තරම් සිත, කය, වචනය සංවරකරගෙන , බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන පාරමිතා සපුරාගෙන මොලොව ,පරලොව සකසාගෙන ඉතා ඉක්මනින්ම ලෝකෝත්තර දියුණුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.




අම්බලන්ගොඩ, කහව ගල්දූව ආරණ්‍ය 
සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, 
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment