Labels

Friday, May 13, 2016

මෙත්තිකා මහරහත් තෙරණින් වහන්සේ

ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ උත්තරීතර වූ සම්බුදු සසුනින් නිවී සැනසුනු උතුමෝ කෙතරම් භාග්‍යවන්තද පේ‍්‍රත, තිරිසන්, අසුර, නරකය යන සතර අපා දුකින් නිදහස්ව දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආදි කාමභෝගී ජීවිතවලින් වියුක්තව සසරට කිසිදු ඇලීමක් නැත්තා වූ රහත්භූමියේ ස්පර්ශ ලාභය ලද්දාවූ මෙත්තිකා මහරහත් තෙරණියෝ ගෞතම බුදුහදවතින් උපන්” උත්තමාවියක වූවාය. උන්වහන්සේ පිළිබඳ අනන්ත ගුණ සිහිකරමින් සිත පහදවා ගනිමු.
මෝ තොමෝ පෙර බුදුරජාණන් වහන්සේ ගේ කාලවල කරන ලද පින් ඇත්ති සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයක උපත ලැබුවාය. ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් සමන්විත වූ ඇය සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදී උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කොට ගොඩ නඟන්නා වූ මහා ස්තූපයම ස්වකීය මේවලාදාමය සැදැහැ සිතින් යුතුව පූජා කළාය.

ඒ ධාතු ස්තූපය ගොඩනගා අවසන් වූ කල්හිද ඇය තවත් මේවලාදාමයක් ගෙන සිද්ධාර්ථ දසබලධාරින් වහන්සේගේ ශාරීරික ධාතුන් තැන්පත් කළ මහා ස්තූපයට පූජා කොට සිත පහදවාගෙන තවත් බොහෝ පින්කම්හි නිරත වූවාය. ඒ අප ගෞතම බුදුපියාණන් වහන්සේට පෙර කල්ප අනූහතරකට පෙරය.
මේ ආත්ම භාවයෙහිදී කරන ලද මහ කුසල් ඇත්තී එම ආත්මභාවයෙන් චුතව සතර අපා දුකකට නොවැටී බොහෝ කාලයක් දෙව්මිනිස් සැප සම්පත් විඳ ශාක්‍යමුනි ගෞතම ශාන්තිනායකයාණන් වහන්සේ ලොව පහළ වන සමයෙහි රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපිද ‘මෙත්තිකා’ යන නම ලැබුවාය.
වැඩිවියට පත් මෙත්තිකා තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට ගිහිගෙය හැර දමා උත්තරීතර පැවිදි ජීවිතයකට උරුමකම් කීවාය. ශරීර ශක්තියෙන් බෙහෙවින් දුබලව සිටි මෙත්තිකා” තෙරණිය නිරතුරු රෝගාතුර වී දිනෙන් දිනම ශරීර පරිහානිය කරා ගමන් ගනිමින් සිට දිනක සැරයටියේ ආධාරයෙන් රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයට නැග්ගාය.
පර්වතයට නැඟ විවේකස්ථානයක් වෙත එළඹි මෙත්තිකා තෙරණිය සඟල සිවුර පසෙකින් තබා ඒ මත පාත්‍රය මුනින් අතට පසෙකින් තබා ඒ මත මුනින් අතට නමා කෙලෙස් තවන වෙර ඇතිව සිත සමාධිගත කොට විදර්ශනා වඩා නොබෝ දිනකින් සකල ක්ලේශධර්ම දුරුකොට සිව්පිළිසිඹියාපත් මහරහත් භාවයට වැඩම කොට වදාළ සේක.
අනන්ත දුක්ඛිත සංසාරයට ඇද දමන්නා වූ සකලවිධ ක්ලේශ ධර්මයන් නැසීමෙන් තමා විඳින්නා වූ විරාගි සුවය පිළිබඳව උදාන ගාථා ප්‍රකාශ කොට වදාළ සේක. ඒ උදාන පාඨයෝ පරම ගම්භිරය, ශ්‍රේෂ්ඨයා

‘කිඤ්චාපි ඛොම්හි දුක්ඛිතා දුබ්බලා ගතයොබ්බනා
දණ්ඩමොලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූභිය
මම රෝගාදියෙන් පෙළීම නිසා හටගන්නා වූ බොහෝ දුක් ඇති, යෞවන බව ඉක්මවා ගිය තැනැත්තියක් වෙමි. දුර්වල වූ මම සැරයටිය ගෙන බොහොම අපහසුවෙන් ගිජ්ඣකූට පර්වතයට නැඟ,
‘නික්මිපිත්වාන සංඝාටිං පත්තකං ච නිකුජ්ජිය නිසින්නා චම්හි සේලම්භි අළු චිත්තං විමුච්චි මෙ,
තිස්සෙ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සසනන්ති”
“සඟල සිවුර පසෙකින් තබා පාත්‍රයද යටිකුරු කොට තබා ගල්තලාව මත හිඳ ගත්තෙමි. කෙලෙස් තවන වීර්යෙන් යුක්තව සිටි මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදුනි. මා විසින් ත්‍රිවිද්‍යාවත් පසක් කොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරන ලදී.
දෙතිස් කුණපයන්ගෙන් සැදුනාවූ මේ ශාරීරයාගේ ස්වභාවය විවිධ වූ රෝගාබාධයන්ට ගොදුරු වීමයි. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදි විවිධ වු රෝගාබාධයන් පිළිබඳ දේශනාකොට වදාළ සේක. චක්ඛු රෝග, සෝත රෝග ඍණ රෝග, ජිව්හා රෝග, කාය රෝග ආදි ඇස, කන, නාසය , දිව, ශරීරය යන ස්ථාන මුල්කොට විවිධ රෝග හටගන්නා බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. “සීස රෝග, කණ්ණ රෝග, මුඛ රෝගා, දන්ත රෝගා කාසො , සාසො, පිනාසො, ඩහොජරො කුච්ඡිරොගො, මුච්ඡා පක්කන්දිකා සුලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරොථ දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ජිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළිකා භගන්දළා”.

හිසෙහි උපදනා රෝග, කනෙහි පිටත උපදනා රෝග මුඛයෙහි උපදනා රෝග, දත්වල රෝග, දද, කුෂ්ට මධූමෙහෙය, පිළිකා,භගන්දලා ආදි විවිධ රෝග හටගන්නා බැව් ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී මනාව පැහැදිළි කොට වදාළ සේක.
මෙසේ විවිධ වූ රෝගයන්ට නතුවන ශරීරයක් නිසාවෙන් යෞවනත්වය ඉක්මවා සිටි මෙත්තිකා දුබල වූ ශරීරය ඇතිව සැරයටිය ගෙන බොහොම අපහසුවෙන් ගිජ්ඣකූට පර්වතයට නැංඟේය. වීර්යවන්ත වු ඕ තොමේ අප්‍රමාණ වීර්යයෙන් යුක්තව සඟල සිවුර හා පාත්‍රය ගල්තලාව මත තබා විදර්ශනා වඩන්නට වූවාය. මෙසේ වඩන ලද වීර්යය ඇත්ති නැවත නූපදනා සිරුරක් ඇති උත්තමාවියක වූයේ මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීමය.
සන්සුන් ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, ගමනින් සන්සුන් වු රහත් උතුමෝ යටට හෙලන ලද ඇස් ඇතියෝය. ඒ රහත් උතුමන්ගේ කායකර්මය පිරිසුදුය. වාග් කර්මය පිරිසුදුය. මනඞ කර්මය පිරිසුදුය. බාහිර අභ්‍යන්තර දෙකින්ම සක්සේ මුතු සේ පිරිසුදුය. නිර්මලය, අප්‍රමාණ වූ වඩන ලද මනුෂ්‍ය ගුණධර්මයන් ගෙන් යුක්ත වන්නෝමය.

ඒ උතුම් රහතන් වහන්සේලා ලාභ අලාභ දෙකේදීම උඩඟු නොවෙති. පරිවාර සම්පත්තියෙන් උඩඟු නොවෙති. අයස යසස දෙකේදීම සමව සිටිති. නින්දා – ප්‍රශංසා දෙකේදීම සමව සිටිති. සැප– දුක් දෙකේදීම සමව සිටිති.
එසේ වු අනන්ත ගුණ සාගරයක් දරන්නට මෙත්තිකා මහරහත් තෙරණියෝ පුරන ලද පින් ඇත්තියක වූවාය. රූපශබ්දාදී කාම වස්තූන් නිසා ඇති වන සැපයට වඩා, විවේකයට පි‍්‍රයකරමින් විවේකයට ඇලෙමින් ආරණ්‍ය වෘක්ෂමූල ගුහා ආදියෙහි රළු අසුන්වල හිඳිමින් සැතපෙමින් මේ උත්තරීතර ජීවිතයක සුවය අනිත්‍ය සංඥාවෙන් යුක්තව විඳින්නට ඇති.


කුරුල්ලකු අහසේ පියා හබන කල ගිය මඟ හෝ යන මඟ සෙවිය නොහැක්කාසේ මෙත්තිකා රහත් උත්තමාවිය ආ ගිය මඟ හෝ යන මඟ නොදත හැක්කේය. නැවත පංචස්කන්ධය පරිහරණය නොකරන්නේමය. උතුම් රහත් භූමියට පත් සිතක සුවය ලබන්නට සසර දුකින් එතෙර වන්නට මෙත්තිකා රහත් තෙරණියගේ වීර්යය සැමට හේතුවේවා!





මොරගොල්ලාගම 
උපසමා සිල්මාතාව











ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 13 වන සිකුරාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment