අන්‍ය දෘෂ්ටික අන්‍ය ලබ්ධික අන්‍ය රුචික, අන්‍ය පිළිවෙත්හි යෙදෙන අන්‍ය තීර්ථායතනයක ආචාර්යවරයකු වූ ඔබ විසින් කාමයන් හෝ කාම සුවයන් හෝ කාමාග්‍ර සුවය හෝ කවරේ දැයි දත නොහැකිය. එහෙත් මේ බුදු සසුනෙහි නම් ඒ අරහත් භික්ෂූහු වෙත් ද ඔවුහු කාම කෙලෙස් ප්‍රහීණ කළාහු වෙති.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි විශිෂ්ඨතම ගුණයක් ඇත. එනම් “ඇවිත් බලන්න” යැයි ආරාධනා කෙරෙන ‘ඒහිපස්සික ගුණය’ යි. ඇවිත් බලා විමසා පිළිගන්න යැයි කරන ආරාධනාව ලොව පහළ වූ කිසිදු ශාස්තෘවරයෙකු විසින් සිදු නො කළේය. ගාතානුගතික පාරම්පරික විශ්වාසයෙන් බියෙන් පාපයට සමාව අපේක්ෂාවෙන් කෙරෙන ඇදහීමක් හෝ යැදීමක් ඒහිපස්සික ගුණයෙහි නැත. පුද්ගල ස්වෛරීත්වය ශ්‍රාවකයාට හිමි කොට දී එවැන්නා මානසික අන්ධකාරයෙන් ධර්මයේ ආලෝකය වෙත ගමන් කිරීම, ශ්‍රාවකයා නිරවුල් සන්තුෂ්ඨිමත් එසේම සංතෘප්තිමත් සංසිඳීමකට පත්කිරීම මේ “ඒහිපස්සික” ගුණයෙන් පිළිබිිඹු වේ.
එක්තරා දිනයක වේඛනස්ස නම් පිරිවැජියා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේ සමඟ වාද කොට ජයග්‍රහණය පිණිස මෙසේ කීය.
අයං පරමෝ වණ්ණෝ. අයං පරමෝ වණ්ණෝ - උතුම් වර්ණය මෙයයි. උතුම් වර්ණය මෙයයි
කිං පන ත්වං කච්චාන ඒවං වදේසි - පින්වත් කච්චායන (ගෝත්‍ර නාමය) ඔබ කුමකට මෙසේ කියන්නේ ද
යස්මා භෝ ගෝතම වණ්ණා අඤ්ඤෝ වණ්ණෝ උත්තරීතරෝ වා පණීත්තරෝ වා නත්ථි සෝ පරමෝ වණ්ණෝ - භවත් ගෞතමයන් වහන්ස, යමක පැහැයට උත්තරීතර වූද ප්‍රණීත වූද, වෙනත් පැහැයක් නැති නම් ඒ පැහැයම උතුම් පැහැය වේ. ප්‍රණීතම පැහැය වේ. (ම.නි. වේඛනස්ස සූත්‍රය)
ඔබ අදහස් කරන ඔබ පවසන ඒ වර්ණය කුමක්ද යැයි බුදුරජාණන් වහන්සේ අසති. එහෙත් වේඛනස්ස පිරිවැජියා එකී වර්ණය කුමක්දැයි නොකියා පෙර පරිදිම යම් පැහැයකට වඩා උත්තරීතර වූද, ප්‍රණීත වූද, වෙනත් පැහැයක් නොමැති නම් ඒ වර්ණය ම උත්තරීතර බවද, ප්‍රණීත බවද අවධාරණය කරයි. මිථ්‍යා මතධාරී අන්‍ය ලබ්ධික වැරැදි පිළිවෙත්හි යෙදී සිටින පිරිවැජි ආජිවක නිගණ්ඨ වැනි වූවන් තමන් වහන්සේ වාද විවාද මඟින් කොටු කරගෙන බුද්ධ ශ්‍රාවක සුපටිපන්න ශාසන පිළිවෙත අභියෝගයට ලක් කිරීමේ උත්සහාය අත්දැකීමෙන් හඳුනාගෙන සිටි තථාගතයාණෝ ඔහුගෙන් මෙසේ විමසූහ.
පින්වත් කච්චායන, ඔබ එක ම දේ කියයි. එය කුමක් අරභයා කුමට කියන්නේ ද නොකිය යි. ඔබගේ කථාව දිග්ගැස්සෙයිි. මම ඔබගෙන් මෙසේ විමසමි. ඔබට වැටහෙන අයුරින් මෙයට පිළිතුරු දෙන්න.
කිසියම් පුරුෂයෙක් මෙසේ කියයි. මේ ජනපදයෙහි සිටින ඉතා හැඩවැඩ ඇති සිත වශීකරන රූප සම්පත් ඇති ජනපද කල්‍යාණියක් වේ නම් මම ඇය රුචි කරමි. ඔබ මෙහි යම් ජනපද කල්‍යාණියක රුච් කරයිද ඇයට කැමැති වෙයිද කිම ඔබ එවැන්නියක දැක තිබේද ඇය ක්ෂත්‍රීය කන්‍යාවක ද බ්‍රාහ්මණ හෝ ශුද්‍ර කන්‍යාවකද නොදනිමි යි ඔහු පිළිතුරු දෙයි. ඉහත ප්‍රශ්නය ඇසූ අනෙක් පුද්ගලයා නැවත මෙසේ අසයි.
පුරුෂය, ඔබ මෙහි ජනපද කල්‍යාණියක රුචි කරන්නේ ද, කැමැති වන්නේ ද, ඇය බ්‍රාහ්මණ හෝ වෛශ්‍ය හෝ ශුද්‍ර යැයි නොදනී නම් මෙවැනි නමක්, කුලයක් , ගෝත්‍රයක් ඇයට ඇත්දැයි නොදනී නම්, ඇයගේ උස, මහත හෝ සිහින් බව හෝ නොදනී නම් ඇයගේ පැහැය කළු හෝ සුදු හෝ තළෙළු හෝ යැයි ද නොදනී නම් අසවල් ගමේ අසවල් නගරයේ හෝ ඇය ජීවත් වන්නීයැයි නොදනී නම් ඔබගේ ප්‍රකාශය නිරර්ථ හිස් බොල් අරුත්සුන් වචන කිහිපයක් නොවේද එපරිද්දෙන් පින්වත් කච්චායන ඔබගේ එකී උතුම් හා ප්‍රණීත ම වර්ණ කථාවද අරුත් සුන් හිස් බොල් වදන් පෙළක් ම වෙයි.
තථාගතයන් වහන්සේ මේ සාකච්ඡාවේදී තවදුරටත් කච්චායනයට මෙසේ වදාළේය.
කච්චායන, ඔබ කුමක් සිතන්නේ ද පසළොස්වක පොහොය දින වලාකුළු වලින් තොර අහසේ අර්ධ රාත්‍රියෙහි චන්ද්‍රයා යම් සේ පායා තිබේද එසේම සරත් කාලයෙහි වලාකුළුවලින් තොර අහසේ මද්දහන වේලෙහි යම් සේ හිරු පායා තිබේද මේ වර්ණ දෙක අතරින් කවරක් වඩාත් සුන්දර වේද වඩාත් ප්‍රණීත වේද ගෞතමයන් වහන්ස, වඩාත් සුන්දර වඩාත් ප්‍රණීත වන්නේ සූර්ය යාමය.
කච්චායන, මේ සඳ,හිරු දෙදෙනාගේ අවභාෂය (භාවිතයක් නැති) නො විඳින්නෝ දෙව්ලොව දෙවියෝ ය. අවභාෂය විඳින්නෝ මිහිපිට මනුෂ්‍යයෝ ය. එනමුත් ඒ දෙවියෝ බොහෝ ය. මම එසේ දකිමි. එසේම දනිමි. එහෙත් යම් වර්ණයකට වඩා උත්තරීතර දීප්තිමත්, වෙනත් පැහැයක් නැතැයි මම නොකියමි. එහෙත් නුඹ කලාමැදිරියකුටත් වඩා හීන වර්ණයක් ගැන කතා කරන්නා සේය. ඔබ ඒ වර්ණය ද නමින් නො කියන්නේ ය.
එහිදී භාග්‍යවතුන් වහන්සේ වේඛනස්ස පිරිවැජියාට දෙසූ දහම ශාස්තෘවරයකුගේ උදාරතම උත්තුංග මාර්ගෝපදේශකත්වයක් බව කිව යුතුය.
පඤ්ච ඛෝ ඉමේ කච්චාන කාමගුත්තා. කතමේ පඤ්ච චක්ඛු විඤ්ඤෙය්‍යා රූපා, ඉට්ඨා කන්තා මනාපං පිය රූපං කාමූපසංහිතා රජනීයා සෝත විඤ්ඤෙය්‍යා සද්දා. ඝාන විඤ්ඤෙය්‍යා ගන්ධා. ජිවිහා විඤ්ඤෙය්‍යා රසා. කාය විඤ්ඤෙය්‍යා පොට්ඨබ්බා.
කච්චායන, මේ කාමගුණ පහකි. කවරද ඉෂ්ඨ වූ මනහර වූ සිත්ගන්නා වූ පි‍්‍රය ස්වරූප වූ කාමාශාව පැලපදියම් වන්නා වූ සිත රඳවන්නා වූ ඇසින් හඳුනා ගැනෙන රූපයෝය. කනින් හඳුනා ගැනෙන ශබ්ධයෝ ය. නාසයෙන් හඳුනාගැනෙන ගන්ධයෝය. දිවෙන් හඳුනා ගැනෙන රසයෝ ය. කයින් හඳුනා ගැනෙන ස්පර්ශයෝය.
කච්චායන මේ වනාහි පස්කම් ගුණයෝ වෙති. කච්චායනය, මේ පස්කම් ගුණයන් හේතුවෙන් යම් සුවයක් සොම්නසක් උපදියි ද ඊට කාම සුඛය යැයි කියයි. මෙසේ කාම සුඛය සිදුවන්නේ කාමයන්ගෙනි. එහි මේ පංචකාම සුවයට වඩා කැමැති විය යුතු අග්‍ර කාම සුවයක් (නිවන් සුවය) වෙයි.
කච්චායනට දෙසු මේ ධර්මයෙහි කාම සුවයට වඩා අග්‍ර කාම සුවයක් ඇතැයි භාග්‍යවතුන් වහන්සේ දෙසා වදාළේ හැම කෙනකු ම කැමැති විය යුතු සුවය ලෙසින් සැලකිය යුතු නිවන් සුවය යි. නිවන් සුවයට සියලු කාම සුව අතරින් හැම දෙනාම කැමැති විය යුත්තේ කාම සුවය තිරිසනුන් පවා විඳින හීන, දීන ග්‍රාම්‍ය සුවයක් හෙයිනි. එහෙත් අන්‍ය තීර්ථක, අන්‍ය ලබ්ධික, මිථ්‍යා සංකල්පයන්හි රැඳුණු පිරිවැජියෝ මේ කාමාග්‍ර අතර කාමාග්‍ර සුඛයක් ඇතැයි බුදුරදුන් වදාළ කරුණ වරදවා තේරුම් ගත් වේඛනස්ස පිරිවැජියා ඊට තමා එකඟතාව හා සතුට ප්‍රකාශ කළේය. ඔහුගේ ඒ ප්‍රකාශය තහවුරු වූයේ සාමාන්‍ය පංචකාම සුව අතර අග්‍ර උතුම් සුවයක් ම පවතින බව බුදුරදුන් අදහස් කළ බවයි. මේ වැරදි වැටහීම දුරු කරනු වස් තථාගතයාණෝ එහිදී මෙසේ කරුණු ගෙනහැර වදාළහ.
පින්වත් කච්චානය, අන්‍ය දෘෂ්ටික අන්‍ය ලබ්ධික අන්‍ය රුචික, අන්‍ය පිළිවෙත්හි යෙදෙන අන්‍ය තීර්ථායතනයක ආචාර්යවරයකු වූ ඔබ විසින් කාමයන් හෝ කාම සුවයන් හෝ කාමාග්‍ර සුවය හෝ කවරේ දැයි දත නොහැකිය. එහෙත් මේ බුදු සසුනෙහි නම් ඒ අරහත් භික්ෂූහු වෙත් ද ඔවුහු කාම කෙලෙස් ප්‍රහීණ කළාහු වෙති. බ්‍රහ්මචාරි වාසය නිම කළාහු වෙති. නිවනට පැමිණීමට කළ යුතුව ඇති යමක් වෙයිද එය කළාහු වෙති. පංච උපාදානස්කන්ධ බර පැත්තකින් තැබුවාහු වෙති. නිවැරදි යහපත් අපේක්ෂා මුදුන් පමුණුව ගත්තාහු වෙති. භවයෙහි හට ගැනෙන සංයෝජන රැහැන් පට සිඳ දැමුවාහු වෙති. විශිෂ්ට ඤාණයෙන් සසරින් මිදුණාහු වෙති. කච්චානය ඒ මේ භික්ෂුහු මේ කාමයන් හා කාම ගුණයන් හඳුනති. කාම සුව දනිති. ඔවුහු මේ කාමාග්‍ර සුවයට (ලෞකික හීන, ග්‍රාම්‍ය පුහුදුන් කාම සුව ඉක්මවා යන නිවන් සුවයට) පැමිණ ඇත්තේ එහෙයිනි. ඔවුහු ආශ්්වාදයත් ආදීනවයත් එහි නිස්සරණයත් යථා පරිදි දැන කාමාග්‍ර සුවය ම විඳිති.
මෙතෙක් සිදු වූ සංවාදයෙහි අප හැම දෙනාම හඳුනාගත යුතු තවත් සුවිශේෂම කරුණක් ඇත. එනම් පුරිසදම්මසාරථි ගුණය හා දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘවරයා යන ගුණය උද්දීපනය කරන අවස්ථාවක් මෙහි පිළිබිඹු වන බවයි. බුදුරදුන් ඒහිපස්සික ගුණයෙන් පිරිපුන් ධර්මය දේශනා කළේ කෙසේද කවුරුන්ටද ඒ කුමකටදැයි එහිදී උපුටා පෙන්වා තිබිමයි.
එනිසා අපගේ ශාස්තෘවරයා කෙබඳු චරිතයක්ද කවරාකාර දැයි නොදන්නා බෞද්ධකමේ මොන වටිනාකමක් හෝ තිබෙනු ඇද්ද
මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති
කථිකාචාර්ය දර්ශනපති,
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
කථිකාචාර්ය දර්ශනපති,
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment