Labels

Friday, May 13, 2016

දහම තුළින් පිළිබිඹු වන ශාස්තෘත්වය


මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි. භව කතරේ අතරමංව භයානකව දුක් පීඩා කරදර බාධකවලින් වෙලී මහත් සේ දුකට පත් සත්ත්වයාට නො වරදින ඉතා පැහැදිලි ධර්ම මාර්ගයක් වදාළේ තථාගතයන් වහන්සේ යි. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට සිත යොමු කිරීමටත්, ඒ ධර්ම කරුණු
යෝනිසෝමනසිකාරයෙන් විමසීමත් සසර තරණයට උපකාරි වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්ම ශ්‍රවනය කරන විට අපේ සිත නිවී යනවා. සිත තුළට පැමිණෙන අපේ ජීවිතය, සසර ගමන අඳුරු කරන පාපී සිතිවිලි මනසින් ඈත් වීමට පටන් ගන්නවා. පාපි සිතිවිලි වලින් පුණ්‍යමය සිතිවිලි මැකී යන්න පුළුවනි. නමුත් පුණ්‍යමය සිතිවිල්ල වඩාත් බලවත්නම් ඒ පාපී සිතිවිල්ල මකන්නට ද පුළුවනි. ඒ සිතිවිල්ල වහා යට කරන්නට පුළුවනි. විටෙක අපේ ජීවිතය බලවත් වෙනවා. විටෙක ජීවිතය කඩා වැටෙනවා. ජීවිතය තුළ පින බලවත් වනවිට ජීවිතය ප්‍රබල වෙන්නට පටන් ගන්නා අතර, ජීවිතය තුළ සංසාරික කර්ම ශක්තිය තුළින් පුණ්‍ය ශක්තිය දුර්වල වනවිට ජීවිතය තුළ අඳුර, හැඬිම, වැළපීම, ශෝක කිරීම, දුක දොම්නස වැඩි වැඩියෙන් අපව ලුහුබැඳීමට පටන් ගනී. ඒ නිසා සද්ධර්මය ශ්‍රවණය තුළින් ජීවිතය හොඳින් අවබෝධ කර දෙන ජීවන අඳුර නසන ප්‍රභාශ්වර සිතක් මෝදුකරන පුන්සඳක් සේ සිත පිරිසුදු කරන, වටිනා කටයුත්තක් ලෙස ධර්ම ශ්‍රවණය, පොතපත කියවීම, ධර්මයට අනුගතවීම ආදිය ගැන දැනගැනීම වටිනවා.

ධර්මයේ අසිරිය මතුකර ගැනීමට අවශ්‍යනම්, අසිරිමත් සිතක් අවශ්‍යනම් මේ සද්ධර්මය අප ශ්‍රවණය කළ යුතුම යි. එළැඹි සිහියෙන් ඉන්න පුද්ගලයා සතියෙන්, සති සම්පජඤ්ඤයෙන්, සති ඉන්ද්‍රියෙන්, සති බලයෙන්, කටයුතු කිරීම අවශ්‍යයි. එවිට පුද්ගලයා ධර්මය තුළ අසිරිමත් ආශ්චර්යවත් ගමනක් යන කෙනෙකු බවට පත්වෙනවා. මොට වූ සිහියෙන් සිටින පුද්ගලයාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔබත් සම්මා සතියෙන්, එළැඹි නුවණින් සිටිය යුතු වෙනවා.
අපේ සිත තුළ පැන නඟින අකුසල ධර්ම, අකුසල මූල, සොලවලා කඩා බිඳ දමා අකුසල් මනසින් ඈත් කරන්නට පුළුවන් වන්නේ පින්වත් කුසල සිතිවිලි නිසා යි. එළඹුන මනස තුළ පැන නැඟුන සිහිය කඩා, බිඳ, සොලවා සිතින් එය ඈත්කර දමන්නට පුළුවන්නම් එය බලවත් කුසලයක් වෙනවා. එනිසා නිරන්තරයෙන් ධර්මයට සිත යොමන්නාගේ පාපී සිතිවිල්ලට වඩා හැම මොහොතකම පුන්‍යමය සිතිවිල්ල බලවත් වෙනවා.
තථාගතයන් වහන්සේ සත්ත්වයාට අනුශාසනා කරන බැවින් “සත්ථා” හෙවත් “ශාස්තෘ” නම් වන බව වදාළා. තවත් තැනක පැහැදිලි කළේ ශාස්තෘ ධර්මය නමැති පිරිසුදු වතුරෙන් කෙලෙස් නමැති මඩ සෝදා හරින හෝ දේශිත ධර්මයන් ඇසීමට සත්ත්වයා කැමැතිය යන අදහසින්ද “ශාස්තෘ” වන බවයි. අධ්‍යාත්මක සංවර්ධනයේ ඉහළම තලයේ සිටියා වූ ගුරුවරයකු වශයෙන් එකී ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිලි කරන්නා වූ තැනත්තාට “ශාස්තෘ” නාමය භාවිත කරයි. මෙකී ලක්ෂණ සහිත ලොව පහළ වූ හැම ආගමික සම්ප්‍රදායකම නිර්මාතෘ ‘ශාස්තෘ’ ලෙස හඳුන්වයි.
"මධුපිණ්ඩික" සූත්‍රයේදී දණ්ඩපාණී ශාක්‍යයා පැමිණ අසන්නේ, ස්වාමිනී, ඔබවහන්සේ කුමන වාදියෙක්ද එයට උන්වහන්සේ පිළිතුරු දෙන්නේ යථාවාදී ඛෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය න කේනචි ලෝකේ විගහ්යහ තිට්ඨති ශ්‍රමණ, බ්‍රාහ්මණයන්ගෙන් හා දෙව් මිනිසුන්ගේද දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද කිසිවකු සමඟ ගැටුමක් ඇති නොකොට සිටිමි යන්නයි.
ඒ වගේම උන්වහන්සේ වදාළා තථාගතයන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ඥනයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත කියා. අතීත, වර්තමාන, අනාගත සකල ධර්මයන් සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානයට අරමුණු වන බව. ඒ වගේම අන් අයට නොමැති බුදුවරුන්ට පමණක් ඇති දසබල ඥනයන් ගැන උන්වහන්සේ මෙසේ වදාළා.
1. තථාගතයන් වහන්සේ හැකි දෙය හැකි ලෙසත්, නොහැකි දෙය නොහැකි ලෙසත් දන්නා සේක.
2. අතීත,වර්තමාන, අනාගත කාලයන්හි කර්ම විපාකය දන්නා සේක.
3. සියලු හැසිරීමෙහි මාර්ගයන් අවසන් වන තැන දන්නා සේක.
4. ලෝකයෙහි බොහෝ වූ නොයෙක් ධාතු නොයෙක් කාරණාවන් දන්නා සේක.
5. පුද්ගලයන්ගේ නොයෙක් අදහස් දන්නා සේක
6. අනෙක් සතුන්ගේ ඉන්ද්‍රියන් ක්ෂණික බවද, ප්‍රමාද බවද දන්නා සේක.
7. බුද්ධි සෘර්ධිය, ධ්‍යානයන් වැඩීම, විමුක්තිය, සමාධි හා සමාප්ති දන්නා සේක.
8. පූර්ව භවයන් දන්නා සේක.
9. කර්මානුරූප ව චුතවන හා නැවත ඉපදෙන සතුන් ගැන දන්නා සේක.
10. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් මේ ජීවිතයේදීම චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කොට වෙසෙන සේක (ම.නි. ධම්මසංගනී සූත්‍රය)
මෙම දසබල ඤාණයන් අන් සියලු ශාස්තෘවරුන් මැඬ පැවැත්වීමට හේතු විය. මෙසේ අපගේ ශාස්තෘන් වහන්සේගේ සුවිශේෂ ඥාන සම්භාරය ගැන පොතපතේ සඳහන් වෙයි. එනිසාම අප උන්වහන්සේගේ නව අරහාදි ගුණයන් ඉගෙනගෙන ඒ කෙරෙහි සිත පහදවා ගැනීම ශ්‍රාවකයා ශාස්තෘන් වහන්සේට කරන ගරු සැලකිල්ලක්ද වනු ඇත.
ලෝකයේ ප්‍රථම වරට මහජන මතයකින් මත පාලන ක්‍රමයක් ලොවට විදහා පෙන් වූ එක ම උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයේද නිර්මාතෘවරයා ද වෙයි. ස්ත්‍රී කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඔවුන්ට විමුක්තිය ලබා දුන්නේද භාග්‍යවතුන් වහන්සේ යි. ඒ වගේම ලොව ප්‍රථම වරට ධර්මදූත පිරිසක් මෙහෙයවා ඇත්තේද උන්වහන්සේ යි.
මෙසේ සුවිශේෂ සමාජීය චරිතයක් වශයෙන්ද උන්වහන්ස්ගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝය. තථාගතයන් වහන්සේගේ නිහතමානි බව හා උදාර නායකත්වය ද සුවිශේෂයි. “මම සංඝයා පරිහරණය කරමි. සංඝයා මා උදෙසා බැඳී සිටිය යුතුය යන හැඟීමක් මට නැත” යැයි උන්වහන්සේ වදාළේ එහෙයිනි. ඒ වගේම උන්වහන්සේ වදාළ ධර්මය නිදහසේ සිතා බලා පරිශීලනය කිරීමට නිදහස ලබාදුන් වෙනත් ශාස්තෘවරයෙක් අපට හමු නොවේ. මෙය බුද්ධ චරිතය පුරාම දක්නට තිබෙනවා. නොයෙක් රජවරු, සිටුවරු, ධනවතුන්, විද්වතුන්, සමහර ශාස්තෘවරුන් පවා තමන් වහන්සේ සරණ යන බව පැවසූ විට උන්වහන්සේ ඔවුන්ට වදාළේ නැවත සිතා බලා තීරණයක් ගන්නා ලෙසයි. උපාලි ගෘහපතියාට පවසන්නේ බුදු දහම වැළඳ ගත්තද, නිගණ්ඨනාථ පුත්තයන්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට කලින් දක්වන ලද අනුග්‍රහයද නො වෙනස්ව පවත්වාගෙන යන ලෙසයි.
දිනක් සේල බමුණාට තමන් වහන්සේ කවරෙක්දැයි විවරණය කරන අවස්ථාව ගැන ධර්මයේ මෙසේ සඳහන් වෙයි.

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවේ තබ්බඤ්ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ

අවබෝධ කළ යුතු දේ අවබෝධ කළ වැඩිය යුතු දේ වඩන ලද අත්හළ යුතු දේ අත්හළ බැවින්ද, බ්‍රාහ්මණය, මම බුද්ධ නම් වෙමියිි යනුවෙන් වදාළ සේක.
ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂත්වය පිළිබඳව මෙසේ ද වදාළ සේක.

සබ්බාභිභූ සබ්බවිදූහමස්මි
සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ
සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං 

(අරියපරියේසන සූත්‍රය)

මම සියල්ල අභිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නේ වෙමි. සියලු ධර්මයේ ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාව ක්ෂය සංඛ්‍යාත නිර්මාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. එසේ වූ මට අන් කවරෙක් ආචාර්ය ලෙස දහම් දෙසයි ද
මම රහත් වෙමි. නිරුත්තර වූ ශාස්තෘ වෙමි. එකම ම සම්මා සම්බුදු වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල් වූයෙමි. එහෙයින් නිවුණෙමි, ද වදාළ සේක.

මේ අයුරින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පවතින විවිධ ගුණයන් හකුළ ඉදිරිපත් කරමින් උන්වහන්සේ විසින්ම සාර්ථක විවරණයක් කර තිබෙනවා. එනිසා අපත්, අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ කෙරෙහි බලවත් ලෙස සිත පහදවාගෙන උන්වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කොට සසර දුකින් නිදහස් වීමට අදිටන් කර ගනිමු.



මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති,
කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත,
ඇත්කඳුරේ සුමනසාර හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 13 වන සිකුරාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment