Labels

Saturday, May 21, 2016

සසර සයුරෙන් එතෙර වෙමු


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“අනෙකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුන ගෙහං න කාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා”
පින්වත්නි,

“සත්වයාගේ නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් මේ ආත්මභාවය නමැති ගෙය සාදන වඩුවා සොයා නොදැක, නොයෙක් ජාතීන්හි ඉපිද බොහෝ කල් සසරේ ඇවිද්දෙමි. මේ ආත්මභාවය නමැති ගෙය සාදන වඩුව මම තා දුටුවෙමි. නැවත මේ ගෙය නොසෑදිය හැකිය. තාගේ සියලු කෙලෙස් නමැති පරාල බිඳ දැමූවෙමි. එහි කැණිමඬල සුනු විසුණු කළෙමි. මාගේ සිත නිවනට පැමිණියෙහිය. තෘෂ්ණාව මුළුමනින්ම කෙළවර කොට රහත් වීමි. නිවන පසක් කර ගතිමි.”
මනුෂ්‍යයාගේ භවගාමී ජීවිත ස්වභාවය වන ඉපදීම, දිරීම, ලෙඩවීම, මියයාම, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස යනාදී වශයෙන් පඤ්චුපාදානස්කන්ධය ම දුකකි. එය සනාතන ධර්මතාවයකි. එහි පැවැත්ම නිරන්තර ජරා, මරණ, දුකට හේතු වේ. අනිත්‍ය වූ මේ ස්කන්ධාදියේ පැවැත්ම දුකකි. නැවත නැවත ඉපදීම ඇති කරන කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන තෘෂ්ණාවන් ප්‍රහාණය කළ යුතුය. කාම තණ්හාව නම් ඇස. කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියවලට කැමති අරමුණු ලබා දීමෙන් ඉඳුරන් පිනවීමයි. කම් සැප විඳීමයි. පංචකාම සම්පත් පිළිබඳව ඇති කරගන්නා ආශාවයි. කාම භවයේ ලබන සැප සම්පතින් සෑහීමකට පත් නොවී රූප අරූප භවවල සැපතට ආශා කර, ධ්‍යාන මඟින් ඒ ඒ ලෝකවලට ගොස් සැප ලැබීමේ ආශාව මත සත්ත්වයා සදාකාලික යැයි සිතා ඇතිකරගන්නා ශාස්වත දෘෂ්ටිය භව තණ්හාවයි. මරණයෙන් පසු නො ඉපදී සිටියොත් වඩා හොඳ යැයි සිතා උච්ඡේදයට යන ආශාවෙන් මරණයෙන් පසු නැවත ඉපදෙන්නේ නැතැයි යන උපකල්පනයෙන් යුතුව ඇතිවන තෘෂ්ණාව විභව තෘෂ්ණාවයි. එනයින් දුක පැවතීම සඳහා මුල් වන්නේ තෘෂ්ණාවයි එය ප්‍රහාණය කළ යුතු ය. ඒ සඳහා දුක්ඛ නිරෝධය නම් වූ නිවන සාක්ෂාත් කර ගත යුතු ය. එය පරම සත්‍යයයි.
මෙකී ත්‍රිවිධ තණ්හාව සම්පූර්ණයෙන් නැසීම, නැතිකිරීම, දුක්ඛ නිරෝධයයි. ඒ නිරෝධය නිවන නමින් හැඳින්වේ. මෙසේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුරු කිරීමෙහි ලා තෘෂ්ණාව සපුරා කෙළවර කොට පරම මෝක්ෂය නම් වූ ශාන්ති දායක නිවන ලබා ගැනීම සඳහා සංසාර ගමනේ ඇති දුකත්, ඊට හේතුවත් දැන, තමන්ගේ ම බුද්ධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ නිසා, තථාගතයන් වහන්සේ බුද්ධ නම් වූ සේක. භවයෙන් භවයට පෙරළෙමින් දුක් විඳිමින් පවතින සත්ත්වයාගේ පැවැත්මත්, එයට හේතුත් එයින් තොර වූ සැනසීම ලැබීම සඳහා මධ්‍යම ප්‍රතිපදාවෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට සියලු කෙලෙස් නසා සියලු ලෝක සත්ත්වයන්ට අවබෝධ කරවන අධිෂ්ඨානයෙන් මහබෝසතාණෝ සමතිස් පෙරුම්දම් පිරූහ. සුමේධ තවුස්ව ඉපිද දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නිවන් පසක් කර ගැනීමට හැකියාව තිබියදී, ‘මම සසර කතරින් එතෙර වී අන් අයත් එතෙර කරවන්නෙමියි’ සිතා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබූහ. බුද්ධාංකුර ධර්ම සපුරා අවසන් භවය ලෙස සිදුහත් කුමරු වශයෙන් කිඹුල්වත් පුර සුද්ධෝදන මහරජතුමන් නිසා මහාමායාදේවින් කුස පිළිසිඳ රාජ කුමාරයෙකු වශයෙන් වෙසක් මස පුන් පොහෝ දිනයක ලුම්බිනි නම් සාලවන උද්‍යානයේ දී උපත ලැබූහ. නිසි වයස් එළඹි කල රූමත් ගුණවත් යසෝධරා කුමරිය සමඟ විවාහ පත් වූහ. කාමසුල්ලිකානු යෝගයෙන් සියලු ගිහි සැප විඳ මහල්ලෙක්, රෝගියෙක්, මළ සිරුරක්, හා තවුසෙක් යන සතර පෙර නිමිති දැක සසරෙහි කලකිරී පැවිදි වූහ. එතැන් පටන් අත්ථකිලමතානු යෝගයෙන් සාවුරුද්දක් තිස්සේ දුෂ්කරක්‍රියා කළහ. ශරීරයට දැඩි දුක් දීමෙන් නිවන් අවබෝධය කළ නොහැකි බව දැන අත්ථකිලමතානු යෝගය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවෙන් ආර්යාෂ්ටාංගික මාර්ගය පිළිපැද නේරංජනා නදී තීරයෙහි සිරිමහබෝමැඬ සෙවණෙහි දී වෙසක් මස පුරපසළොස්වක පොහොය දිනයෙක අරුණ නැගෙන වේලෙහි දසමරුන් පරදවා පළමු යාමේ පූර්වේනිවාසානුස්සති ඤාණය, මැදියම දී දිවැස පිරිසුදු කරගෙන, පස්චිම යාමයේ දී සියලු ලෝසතුන් කෙරෙහි මහා කරුණාවෙන් හේතුප්‍රත්‍ය ධර්ම කෙරෙහි ඤාණය උපදවා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරමින් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එසේ බුද්ධත්වයට පත්ව ප්‍රථමයෙන් දේශනා කොට වදාළ ‘අනේක ජාති සංසාරං... යන ගාථා ධර්ම දෙක ඉන් අනතුරුව දෙව්රම් වෙහෙරෙහි වැඩවසන සමයෙහි ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් විමසන ලදුව යළිදු දේශනා කොට වදාළ සේක.
සත්වයා රාග සහිතව, ද්වේශ සහිතව නැවත නැවත ඉපදීම හෙවත් ජාතිය, වයසට යෑම හෙවත් ජරාවට පත්වීම, ලෙඩවීම හෙවත් ව්‍යාධියට පැමිණීම හා මරණයට පත්වීම, ශෝකය, වැළපීම, ශාරීරික, චෛතසික දැඩි දුකට හා සංසාර දුකට පත්වීම යනාදිය ස්වභාව කොට ඇත. ඒ දුකෙන් නිදහස්වීමට නම් රහත් ඵලයට පැමිණීමට තණ්හාවේ මුල් නසාලිය යුතුය. තණ්හාව සපුරා කෙළවර කිරීමෙන්, අවිද්‍යාව දුරකිරීමෙන්, සංස්කාරයන් කෙළවර කොට නිවන් මඟ සාක්ෂාත් කරගැනීමට හැකිය.
මිනිසාගේ සසර ගමන දික්වනුයේත්, දුකට පත්වනුයේත්, ලෝභයෙන්, තෘෂ්ණාවෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිරීගිය විටය. මනුෂ්‍යයෙකුගේ තෘෂ්ණාව වඩන දොරටු සයකි. ඇස, කන, නාසය, දිව, කය හා සිත යනු ඒ සයයි. පි‍්‍රය මනාප දෙයින් සතුට, පී‍්‍රතිය, සැපය අත්වන අතර අපි‍්‍රය මනාප දෙයින් අතෘප්තිය, දුක ඇතිවෙයි. මොහොතක් සතුටු වුවත් නිමේෂයක දී දුකට ම පත්වෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වශයෙන් උපදින සිතිවිලි තුළින් සෑම මනුෂ්‍යයෙක් ම මුලාවට පත්වේ. එසේ මුලාවට පත්වන සත්ත්වයා සතුට තෘප්තිය, ආශ්වාදය පමණක් අපේක්ෂා කරයි. මෙසේ සිත පිනවීමේ කෙළවරක් නොදැකීමෙන් යළිත් දුකට ම පත්වෙයි. දුක කොතෙකුත් වින්දනය කළත් නොසංසිඳෙන ආශාව නිසා විඳින දුක අමතක කර යළි සතුට සොයා නරකට ම, දුකට ම පත්වෙයි.
ප්‍රඥාවන්ත මනුෂ්‍යයා දුකින් ගැලවීමට සිත දියුණු කර කුසල් දහම්හි හැසිරෙයි. සීල, සමාධි, ප්‍රඥාවෙන් සිත සෝදා පිරිසුදු කරගත් විට, සිත දමනය කරගත්විට නිවන් මඟ හෙළිවෙයි. තෘෂ්ණාව ප්‍රහීණ කළ විට සියල්ලෙන් සැනසීම ලද හැකිය. සදාකාලික සැනසිල්ල ලබා ගන්නට නම් නිවන් මඟ ම පසක් කරගත යුතු ය. සසර සයුරෙන් එගොඩ වන්නට, සසර බැමිවලින් මිදී විමුක්තිය ලබාගන්නට නම්, සියලු පව් නොකිරීමත්, කුසල් දහම් රැස් කිරීමත් අවශ්‍ය බව සම්බුද්ධ දේශනාවයි. ඒ සඳහා දුක, දුක හටගැනීමට හේතුව, දුකට හේතුව නැති කිරීම, දුකින් මිඳීමේ මාර්ගය යන සත්‍ය සතර අවබෝධ කර ගත යුතු බව බුද්ධානුශාසනාවයි. දුකින් මිදීමේ මාර්ගය වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම නිවන් අවබෝධ කරගැනීමට පමණක් නොව මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ද හේතුවේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර දුක කෙළවර වූ විට තෘෂ්ණාව දුරු කිරීමෙන් නිවන මෙලොව දී ම වුව අවබෝධ කරගත හැකිය. නිවන ලෝකෝත්තරය, නැවත ඉපදීමක් සිදු නොවේ. පුනර්භවයට පත්වන්නේ නැත. ‘අයමන්ථි මාජාති නත්ථිජාති පුනබ්භවෝති’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්වන සූත්‍රයෙහි විමුක්තිය හෙවත් රහත් ඵලයට පැමිණ මේ අවසන් ජාතිය බවත් පුනර්භවයක් හෙවත් නැවත ඉපදීමක් නැති බවත් වදාළ සේක.
පසිඳුරන් අරමුණු කොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාණ යන පංච උපාදානස්කන්ධයන්ගේ නැවත නැවත ඉපදීම සිදු කරන උපනූපන් භවයේ ඇල්ම ඇතිකෙරෙන, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන තෘෂ්ණාවන් දුකට හේතු වේ. දුකට හේතුව වූ තෘෂ්ණාවෙන් මිදීමෙන් දුක්ඛ නිරෝධය නම් වූ නිවනට පත්විය හැකිය. දුක් ඉපදීමට හේතුව නැති කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවෙන් උගන්වයි.

බෞද්ධයන්ගේ අරමුණ විය යුත්තේ සීල, සමාධි, ප්‍රඥාවන් වඩා වර්ධනය කොට කෙලෙස් මල බැහැර කිරීමය. සියලු අකුසලයන්ගේ මුල් සිඳ, සියලු කුසලයන් සපුරාගෙන විමුක්තිය ලැබිමට මෙම උතුම් පොහෝ දිනයේ දී අදිටන් කර ගනිමු. තෙරුවන් සරණයි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ 
මල්වතු මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක සංඝ සභික
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර 
ශ්‍රී දළදා මාළිගාවේ තේවාව භාර නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන  සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment