Labels

Thursday, May 5, 2016

නිවැරදි ගාථා සජ්ඣායනා හා උච්චාරණ ක්‍රමය

බුදුදහම මූලික කොටගත් ථේරවාදී බෞද්ධ රටවල නොයෙක් ආගමික වතාවත් සහ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවලදී පාලි භාෂාවෙන් පබැඳුණු ගාථා සහ පාඨ යොදා ගනු ලබන බව අපි දනිමු. ශ්‍රී ලංකාවෙහි ද බෞද්ධ ජනයා අලුයම අවදි වූ තැන් සිට නින්දට යන තෙක්ම පන්සිල් සමාදන්වීම්, තුනුරුවන් නැමදීම, මව්පිය වැඩිහිටි ආදීන් වැඳීම ආදී සද් ක්‍රියාවන්හි දී මෙන්ම වන්දන මාන හා පුද පූජා විධීන් පැවැත්විම් ආදී ආගමික කටයුතුවලදී මෙකී ගාථා හා පාඨ සජ්ඣායනා කරති. මේ හැරුණු විට රැස්වීම්, 

උත්සව, විවිධ ශුභ කටයුතු හා රාජකාරී කටයුතු යනාදිය ආරම්භ කෙරෙන අවස්ථාවල දී ද ආගම මෙනෙහි කිරීමට පුරුදු වී සිටීම පුරාතනයෙහි සිට ශ්‍රී ලාංකිකයන් තුළ පැවති යහපත් ගුණයකි. ආගම මූලික කොට කෙරෙන මෙබඳු සියලු කර්තව්‍යයන්හිදී පාලි මාධ්‍යයෙන් රචිත ගද්‍ය පද්‍ය පාඨ පෞද්ගලිකව හෝ සාමූහිකව සජ්ඣායනා කිරීමට ඔවුහු පි‍්‍රය කරති. මේවා පාලියෙන් ම කීම වඩාත් ඵලදායක බව ඔවුන් විසින් තීරණය කරනුයේ ඒවා අර්ථ පූර්ණව මෙන්ම ගණ පිහිටුවා අක්ෂර ශක්ති ගන්වා පබැඳ ඇති බව මැනවින් දැන සිටි හෙයිනි. අප විසින් භාවිත කරනු ලබන පාලි ගද්‍ය පද්‍ය පාඨ නිවැරදිව ලිවීම මෙන්ම උච්චාරණය කිරීම අතශ්‍යවශ්‍ය කරුණක් වේ. ඊට හේතුව පාලියේ තනි එක අක්ෂරයකින් පවා කිසියම් අර්ථයක් බිහිවීමේ ශක්තියක් ඇති හෙයිනි. එනිසාම වැරදි ලෙස ලියනු ලබන අක්රෂයෙන් මෙන්ම වැරදි උච්චාරණයෙන් ද වැරදි අර්ථ බිහි වේ. තුනුරුවන් වැඳීම, මව්පිය වැඩිහිටි ආදීන්ට වැඳීම, බෝධිය චෛත්‍යය ආදී පූජනීය ස්ථාන වන්දන මාන කිරීම, බෝධි පූජා, පිරිත් දේශනා ආදියේ දී අක්ෂර නිසි පරිදි උච්චාරණය කිරීම එයින් ලැබෙන ආනිසංශ ද නිසි පරිදි මෙන්ම උසස් අයුරින් ලබා ගැනීමට උපකාර වේ.

වැරදි උච්චාරණය


පාලි භාෂාවේ තනි අක්ෂරයක් වුවද අර්ථයක් ජනනය වේ. ක (ජලය, ඛ (අහස), ච (ද) මා (එපා, න ( නොවේ), දු, (දෙක) ති (තුන), තෙ (ඔවුහු) යනාදි අනේකවිධ නිදසුන් මේ සඳහා දැක්විය හැකිය. භාෂාවක පදයක් සෑදෙනුයේ අකුරු කීපයක් එකතුවීමෙනි. එබැවින් පදයක එක අකුරක් වෙනස් වුවහොත් එයින් අර්ථය වෙනස් වේ. නිදසුනක් ලෙස සුඛං (නිබ්බාණං පරමං සුඛං) පාලි වචනයෙහි අර්ථය වන්නේ සැප යන්නයි. මෙහි මහප්‍රාණාක්ෂරය වෙනුවට අල්පප්‍රාණාක්ෂරය යොදා "සුකං" යැයි උච්චාරණය කළහොත් එයින් ගිරවා යන අර්ථය ලැබේ. එසේම මුල් අක්ෂරය වන "සු" යන්න දීර්ඝ ලෙස යොදා සූකං යැයි උච්චාරණය කළහොත් එයින් වී පොතු යන අරුත ලැබේ. මේ නිසා උච්චාරණය පද බෙදීම් ආදිය කෙරෙහි නිවැරදි වීම අවශ්‍යය. එකී නිවැරදි බව ආරක්ෂා වන්නේ එම පාලි පාඨවල අර්ථය දන්නේ නම් පමණකි. මේ නිසා වන්දනා ගාථා, පිරිත් සජ්ඣායනා ආදියෙහි මෙන්ම පාලි වැකි සහිත දැන්වීම් පුවරු, පත්‍රිකා ආදියෙහි නිවැරදි පාලි පාඨ යෙදීම හා උච්චාරණය ද සැලකිල්ලෙන් සිදු කළ යුත්තක් වේ.
පඤ්චශීල ශික්ෂාපදවල හමුවන කාමෙසු මිච්ඡාචාරා වෙරමණී යැයි කිවයුත්ත කාමෙ සුමිච්ඡාචාරා වෙරමණී හෝ කාමෙසු මිච්චාචාරා වෙරමණී යැයි හෝ භාවිත කිරීමෙන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යන තේරුම නො ලැබේ. මෙසේම සුරාමෙරය, මජ්ජපමාදට්ඨානා යන්න සුරාමෙරය මජ්ඣපමාදට්ඨානා යනුවෙන් අක්ෂර දෝෂ සහිතව යෙදීමෙන් ද අර්ථය වැනසේ. තවද නව අරහාදී බුදුගුණ දැක්වෙන පාඨයෙහි ඉතිපි සො යන්න ඉතිබිසො යනුවෙන් ද පුරිසදම්මසාරථි (දමනය කළයුතු පුරුෂයන්) දමනය කිරීමෙහි රියදුරෙකු වූ) යන්න පුරිසධම්මසාරථි යනුවෙන්ද සත්ථා දෙවමනුස්සානං (දෙව් මිනිසුන්ට ශාස්තෘවරයෙකු වූ) යන්න සත්තා දෙවමනුස්සානං (දෙව් මිනිසුන්ට සත්වයෝ වූ) ලෙසත් වැරදියට උච්චාරණය කෙරෙන අවස්ථා අපි දකිමු. කුසුමසන්තතිං යැයි කිවයුත්ත කුසුමසන්තොසිං යනුවෙන් ද කායෙ ජිගුච්ඡො යන්න කායෙ චිගුච්චො යනුවෙන් ද කීමත් එබඳු ය. මෙබඳු තැන්වල දක්නට ලැබෙනුයේ අක්ෂර වැරදි ලෙස භාවිත කිරීමයි. මෙබඳු පාලි පාඨ විශේෂයෙන්ම යොදා ගනු ලබනුයේ නමස්කාරයක්, ආශීර්වාදයක් හෝ ප්‍රාර්ථනාවක් හෝ කිරීම සඳහා ය. මෙම පාඨ උච්චාරණය කරන්නා තුළ ශක්තිමත් මානසික ප්‍රාර්ථනාවක් ඇත්තේ වී නමුත් වාචසික ප්‍රාර්ථනාවද එපමණටම නිවැරදි හා ශක්තිමත් වීම මහත්ඵල උදාකරන්නේ වේ.
සොත්ථි තෙ හොතු සබ්බදා යන්නෙහි තේරුම ඔබට සැමදා යහපතක් වේවා යන්නයි. මෙහි යහපත යන අදහස දීමට යෙදූ පාලි වචනය වන්නේ සොත්ථි යන්නයි. මෙය සොත්ති යනුවෙන් වැරදියට ලියන සහ කියන අවස්ථා ද අප දැක ඇත. සොත්ති යන්නෙහි තේරුම ඇඟ උලන කොස්ස යන්නයි. එබැවින් වැරදි අක්ෂර භාවිතයම විෂම අදහසක් උපදවයි. අරුත් නොදැන යොදනු ලබන වැරදි පද භාවිතය ද එමෙන්ම බලවත් වරදකි. පහත දැක්වෙන ගාථාව බලන්න.
නක්ඛත්තයක්ඛභූතානං - පාපග්ගහනිවාරණා
පරිත්තස්සානුභාවෙන – හන්තු තෙසං උපද්දවෙ
පරිත්තස්ස ආනුභාවෙන – පිරිතෙහි ආනුභාවයෙන්, නක්ඛත්තයක්ඛභූතානං - නක්ෂත්‍ර (තාරකා) යක්ෂ, භුතයන්ගේ ද, පාපග්ගහනිවාරණා - පාප ග්‍රහයන්ගේ වැළැක්වීමෙන් ද, තෙසං - ඔවුන්ගේ, උපද්දවෙ උවදුරු, හන්තු – නැසේවා යනු එහි පදගතාර්ථයයි.
මෙම ගාථාව සජ්ඣායනයේ දී "හන්තු" යන පදය වෙනුවට "හොන්තු" යන්න යොදා හොන්තු තෙසං උපද්දවෙ යනුවෙන් සදොස් ලෙස උච්චාරණය කෙරෙන අවස්ථා ඔබ අසා ඇත. එවිට එයින් වන්නේ ඔවුන්ට උවදුරු වේවා යන නපුරු ප්‍රාර්ථනයයි.

වැරදි පද බෙදීම්


සිංහල භාෂාවේ වැරදි ලෙස පද බෙදා උච්චාරණය කිරීමෙන් වැරදි අදහස් සන්නිවේදනය වන ආකාරය ගැන ඔබ අසා ඇත. බෙනේක නයෙක් යන්න වැරදියට පද බෙදා උච්චාරණය කළහොත් බෙනේ කනයෙක් වන බවත් ලෙඩාගේ දකුණු කකුල යන්න ලෙඩාගේ ද කුණු කකුල විය හැකි බවත් ඔබ අසා ඇත. එමෙන් පාලි පාඨ සජ්ඣායනා කිරීමේ දී ද නිසි තැන්හි යතිය, විරාමය හෙවත් නැවතීම සිදු නො කිරීමෙන් වැරදි පද බෙදීම් ද ඇතිවේ. එනිසා ද අර්ථයට හානි සිදු වේ. පහත දැක්වෙනුයේ එබඳු සදොස් වූ පද බෙදීම් සහිත යෙදුම් කීපයකි. වරහන් තුළ ඇත්තේ නිවැරදි භාවිතයයි.

කාමෙ සුමිච්ඡාචාරා (කාමෙසු මිච්ඡාචාරා)
අධිවාසෙ තුනො භන්තෙ ( අධිවාසෙතු නො භන්තෙ )
සබ්බඨානෙ සුපතිට්ඨිතං (සබ්බඨානෙසු පතිට්ඨිතං)
පුඤ්ඤෙන මෙතෙ නච හොතු මොක්ඛං ( පුඤ්ඤෙන මෙතෙන ච හොතු මොක්ඛං)
දෙවානා ගාමහිද්ධිකා (දෙවා නාගා මහිද්ධිකා)
යො වද තං පව රොමනු ජෙසු (යො වදතං පවරො මනුජෙසු)


එදිනෙදා ජීවිතයේ දී යොදාගනු ලබන මෙබඳු පාලි ගද්‍ය පද්‍ය පාඨ කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආ ඒවා ය. භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැතිව ඒවා වෙනස් කිරීමට උත්සාහ නොදැරිය යුතු ය. නිදසුනක් ලෙස මවට වැඳීම සඳහා භාවිත කරනු ලබන ගාථාව ගත හැකි ය. එහි දසමාසෙ උරෙ කත්වා යන්නෙහි තේරුම දසමසක් කුසෙහි දරා යන්නයි. උර යන්නෙහි තේරුම කුස නොව උර හිස හෝ ළය බව සිතන ඇතැම්හු මෙම ගාථා පාදයේ උර යන්න වෙනුවට උදර යන පදය යොදා දසමාසමුදරෙ කත්වා යනුවෙන් වෙනස් කරති. එහෙත් උර යන පදය පාලි සංස්කෘත භාෂාවල කුස හෙවත් උදරය යන අරුතින් ද භාවිත වේ. තමාගෙන්ම උපන් පුතා හැඳින්වීමට පාලියෙහි යෙදෙන ඔරස (ඖරස) යන පදය සලකා බැලීමෙන් මෙය පැහැදිලි කරගත හැකිය. උරසා ජාතො ඔරසො යනුවෙන් එය නිර්වචනය වේ. මවකගේ කුසෙහි දරුවෙකු වැඩෙනුයේ ආහාර පැසවන්නාක් මෙන් කුස පමණක් ආධාරකොටගෙන නොවේ. කුස මෙන්ම ළය හෙවත් හදවතත් ආධාර කොටගෙනය. එබැවින් එහිලා දරුවෙකු පිළිසිඳ ගන්නා මවගේ කුසෙහි යන්න හැඳින්වීමට වඩාත් යෝග්‍ය වචනය වන්නේ උරෙ කත්වා යන්නයි. එය පැරණි යතිවරුන් විසින් ගැඹුරු නුවණින් සලකා පාලියට අනුරූපී ලෙස යෙදූ ප්‍රයෝගයකි. දෛනික ජීවිතයේ දී භාවිතයට ගැනෙන මෙබඳු ඇතැම් ගද්‍ය පද්‍ය පාඨ වෙනස් නොකොට භාවිත කිරීම සුදුසු වන්නේ වරදක් නොමැති නිසා මෙන්ම කාලාන්තරයක් සමාජගතවී තහවුරු වී ඇති නිසාත් අර්ථමය ගැඹුරක් ඊට ආරූඪ වී ඇති නිසාත් ය. වරක් මුහුදු ගිය නැවක් දියෙහි ගිලීමෙන් බොහෝ ජනයා මියගිය බවත් එක් උපාසිකාවක් සතිපට්ඨානය කීමට පටන් ගත් බවත් බණ කතාවක දැක්වේ. එය ඇසූ දේවතාවෙක් බොහෝ කලකින් නිවැරදි ලෙස සජ්ඣායනා කරනු ලබන සතිපට්ඨාන සූත්‍රය අසා ඈ කෙරෙහි ප්‍රසන්නව ඇයව මරණින් බේරාගත් බව එහි සඳහන් වේ. එබැවින් අප ද උසස් අරමුණු සහිතව කෙරෙන වන්දනා ගාථා ආදියෙහි දී නිවැරදිව ඒවා සජ්ඣායනා කිරීමට පුරුදු විය යුතු ය.



කැලණිය දළුගම්ගොඩ ත්‍රිපිටක 
අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ , 
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ 
අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය, මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment