Labels

Thursday, May 5, 2016

වෙන්වෙන ලොවක අපත් ආර්ය වූ හුදකලාවකට පුරුදු වෙමු


ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් බුදු සසුනෙහි ඉතාම සුවපත්ව ජීවත් වූ ස්වාමියෙක් හා බිරිඳක් වූ නකුල පිතා හා නකුල මාතා ගෘහපතීන් පිළිබඳව අප පසුගිය පෝය දිනයන්හි සිට කතා කරමින් පැමිණියා. අද ද එම සූත්‍ර දේශනාව තවදුරටත් කතා කරමු.

මා කෙරෙහිවත් නො ඇළෙන මම, මොනතරම් සමීප වුණත්, ස්වාමියා, බිරිඳ, මවුපියන් කෙරෙහි නො ඇළෙන බවට, ඔබත්, මමත් ඉතා හොඳින් දහමෙන් අපේ සිත් පුරුදු කොටගෙන තිබෙනවා. ඒ නිසා මා වඩ වඩා දහමට ළංවෙනවා මිස කිසිවිටකවත් ධර්මයෙන් ඈත්වෙන්නේ නැහැ. මේ අදහස් පෙළත් තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමට නතුව ජීවත්වන හැම කෙනෙකුටම ඉතාම යහපත් වූ මාර්ගයකුයි.
එකම මඟක ගිය අය එක් අයෙක් හෝ දෙදෙනෙක් නැති වූ විටක ඒ මඟ තනිව යන්නට නොහැකි යැයි පවසා දහමෙන් ඈත්වෙන ජීවිතයකට වඩා දෙදෙනෙක්, කීපදෙනෙක් එක්ව ගමන් කළත් කවදා හෝ දිනක ඔවුන් තනිවම හුදකලාවම මේ මාර්ගයේ ගමන් කළ යුතු බවට ඔය සිත් පුරුදු කොට තැබිය යුතුමයි. එසේ නොමැති වුණොත් අතීතය ගැන සිහිපත් කළයුතු වන්නේ අප දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හා සමඟින් ගමන් කළ මේ මඟ අද දවසේ තනිව ගමන් කරන මගේ හදවතට ලබාදෙන්නේ දැඩි පාළුවක්, හුදකලාවක් බවත් හඬන හදවතක ඡායාවක් සෙවනැලි බවක් බව ඔබම පවසනවා ඇති. එවැනි ලෞකිකව ඇළුණු කතාවකට වඩා දහමෙන් පෙන්වන ආර්යය වූ හුදකලාවක් ඔබේ ජීවිත තුළ පවත්ව ගන්න ස්වාමියා, බිරිඳ, මවුපියෝ, දරුවන් වශයෙන් එක්ව ජීවත්ව සිටින කාලයේ පටන් ම ඔබ විසින් පුරුදු කරගත යුතුමයි.
නැවතත් නකුල මාතාවන් තමන්ගේ ස්වාමියාට සඳහන් කරනවා. ස්වාමි පුත්‍රයාණනි, ඔබ මේ විදිහට සිතන්නට එපා. එනම් ඔබගේ ඇවෑමෙන් නකුල මාතාව සීලයෙහි පරිපූර්ණ වූ කාන්තාවක් බවට පත්වන්නේ නැත කියායි. මේ කාලය වගේම ඔබගේ ඇවෑමෙන් පසුව වුවත් සීලයෙන් පරිපූර්ණව ඉතාම හොඳින් සීලය ආරක්ෂා කරගෙන මම මගේ ජීවිතය පවත්වනවා. ගෘහපතියනි, ස්වාමිපුත්‍රයාණනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය සුදුවස්ත්‍ර ඇඳගෙන ගිහිගෙදර වාසය කරන සීලයෙන් පරිපූර්ණත්වයට පත් වූ යම් වූ ද ශ්‍රාවිකාවෝ වෙත් නම් එවැනි ශ්‍රාවිකාවන් අතර මමත් එක් ශ්‍රාවිකාවක් බවට පත්වෙනවා. යමෙකුට මේ පිළිබඳව සැකයක් පවතිනවා නම් භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් ඒ ගැන දැනගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාරගිරිය අසළ භේසකලා වනයෙහි වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් විමසා දැන ගන්න. මේ නිසා ස්වාමිපුත්‍රයාණනි, නුඹ මා ගැන සැකයක් ඇති කරගන්න එපා. මගේ සීලය බිඳෙයි කියල සීලයෙන් අඩුවෙයි කියල කිසිවිටකවත් සැකයක්, ඔබේ සිතේ ඇතිකරගන්නට එපා. එවැනි සැකයකින් තොරවම නුඹ කළුරිය කරන්න. ඔබට දුකෙන් අත්මිදෙන්න පුළුවනි.
බොහෝ ස්වාමිපුත්‍රවරුන්ට තමාගේ කළුරිය කිරීමෙන් අනතුරුව නොව තමා ජීවත්ව සිටින කාලයේ දී ම තමාගේ ස්වාමි දියණියගේ සීලය, හැදියාව, ශික්ෂණය පිළිබඳව යම් වූ ද සැකයන් පහළ වන්නට පුළුවනි. එය ඉතාම වැරැදියි කියන විවාහ ජීවිතයට විපත් සිදුවන සම්බන්ධයක් ගැන නොවුණත් යම් විටක වචනය නිසා, කායික ඇවතුම් පැවතුම්, චරියාවන් නිසා හෝ සිතිවිලි නිසා හෝ සීලය පිළිබඳව සැකයක් ඇති විය හැකියි. දැඩි ලෝභී කෙනෙක් ලෙස හෝ දැඩි ආශාවන්ගෙන් පිරිපුන් වූ කෙනෙක් හැටියට හෝ එසේ නොමැති නම් නිරන්තරයෙන් ම කේන්ති ගන්නා, තරහවෙන්, වෛරයෙන් සිටින, අයෙක් හැටියට ස්වාමියකුට ස්වාමි දියණියක් ගැන දැනිය හැකියි. යම් ස්වාමි පුත්‍රවරු යම් වූ ද ස්වාමි දියණියකට මෙසේ පවසන්නේ ඒ නිසාය. ‘ඔබ ලෝකයාට මොනවගේ මුහුණක් පෙන්නමින් සිටියත් නුඹගේ ආධ්‍යාත්මය හෙවත් ඇතුළාන්තය මොනවගේ දැයි මා හොඳින් දන්නවා. ඉතා කේන්ති ගන්න, තරහවෙන් සිටින, දැඩි ආශාවන්ගෙන් යුක්ත, අතෘප්තිකර ආශාවන් ඇති අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන, කෙනෙක් බව මා වටහා ගෙන තිබෙනවා යැයි යම් ස්වාමි පුත්‍රයෙක් පැවසුවොත් එය ස්වාමි දියණියගේ ජීවිතයට මහත් වූ ම අවැඩක් බව ඒ අදහස් පෙළෙහි දකින්නට තියෙනවා. එවැනි පරිසරයක් තුළ නකුල මාතාවන් තමන්ගේ ස්වාමියාට කියන අදහස් පෙළ ඔබට මතකයි. එනම් ඔබගේ ඇවෑමෙන් පසුවයි. සීලයෙන් පරිපූර්ණ වූ ම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සුදු වස්ත්‍ර හැඳගෙන ගෘහස්ථ ජීවිත ගත කරන ශ්‍රාවිකාවන් අතර මමත් එවැනිම ශ්‍රාවිකාවක් බවට පත්වෙනවා, කියන අදහස මොනතරම් සැනසිල්ලක් ද
යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි, ඔබේ ඇවෑමෙන් පසුව මම සුදු වස්ත්‍ර හැඳගෙන හුදකලාව හඬ හඬා දුකින් මා කාලය ගත කරනවා කියල. එය ධර්මය විසින් අනුමත කරන කරුණක් නොවෙයි. ධර්මය දැක ගෙන සීලය පරිපූර්ණවම සමාධි සිතකින් ම හටගත්ත හැම දෙයක් ම නැතිවෙනවා කියන සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට දැකගනිමින් ම හැම හමුවීමක් ම වෙන් වීමකින් කෙළවර වෙන බවත්, හැම උපතක් ම ආයු ශක්තිය, කර්ම ශක්තිය, අවසානයේ මරණයෙන් කෙළවර වෙන බව මෙනෙහි කරමින් ම ජීවිතය පවත්වා ගත යුතුයි. එයයි බුදු දහමින් අනුමත කරදෙන ඒ ධර්ම මාර්ගය වන්නේ.
නැවතත් නකුල මාතාවන් තම ගුණබර ස්වාමියාට කතා කරනවා. ස්වාමි පුත්‍රයාණනි, ආධ්‍යාත්මීය චිත්ත දමනයක් මා විසින් නොලබන්නීය යනුවෙන් ඔබ කිසිවිටකවත් සිතන්නට එපා. ඔබ එහෙම දකින්නටත් එපා. ගිහිගෙයි වසන සුදු වස්ත්‍ර හඳිනා, ආධ්‍යාත්මික වශයෙන් දමනයක් ඇතිකරගත්ත, ධර්මයෙන් සුවපත් වූ යම් පමණ ශ්‍රාවිකාවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සිටින්නේ නම් අන්න ඒ පිරිස අතර මමත් තවත් අයෙක්මියි, ඔබ දැකිය යුතුමයි. යමෙකුට මේ පිළිබඳව සැකයක් පවතින්නේ නම් විමතියක් ඇත්තේ නම් භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් ඒගැන දැනගත හැකියි. සැකය හැරගත හැකියි. භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ප්‍රශ්න කරන්න. ඒ නිසා ඔබ සමාධිය දියුණු කරගන්නෙ නැතිව චිත්ත සන්තානයේ සංවරයකින් තොරව මා වාසය කරාවියැයි ඔබ කිසිවිටකවත් සිතේ අපේක්ෂාවක්, තෘෂ්ණාවක්, ව්‍යාකූල බවක් තබාගන්නට එපා. එසේ කළුරිය කිරීම දුකකි. අපේක්ෂා සහිතව සිත වික්ෂිප්ත කරගෙන කළුරිය කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසා කරන්නේ නැත.

නැවතත් නකුල මාතාවන් තම ගුණබර වූ ස්වාමි පුත්‍රයාට කතා කරනවා. ස්වාමි පුත්‍රයාණනි, ධර්ම විනයෙහි ජීවත්වෙමින්, ඒ ධර්ම විනයෙන් ලැබිය යුතු, යම් සැනසිල්ලක් ලැබිය යුතු නම් අන්න ඒ සැනසිල්ල මා විසින් ලබා ගත්තා. ඒ වගේ ම ඒ ධර්මයෙන් මා ආශ්වාදයට පත්වුණා. සුවපත් වුණා. මගේ සිත තුළ මේ උතුම් ධර්මයෙහි, එනම් බුද්ධාදී අටතැන් හි කිසිදු සැකයක් නැහැ. ප්‍රහීණ කළ සැක සංකා මට පවතින්නේ යම් වූ ද සැකයක් සංකාවක් ඇත්නම් ඒ සියල්ල ප්‍රහීණ කොටයි මා පවතින්නේ. සොම්නස් සහිතව මා ආර්ය මාර්ගයෙන් දැකිය යුතු යම් නුවණක් වේ නම් අන්න ඒ නුවණට මා පැමිණ තිබෙනවා. ලබා තිබෙනවා. මේ උතුම් බුද්ධ ශාසනයේ තවත් කෙනෙකුගේ පිහිටක් නැතිව ධර්මයෙන් සැනසෙන්නට හැකි තැනැත්තියක් බව මට දැන් මා කෙරෙහි විශ්වාසයි. ඔබටත් මගේ ස්වභාවය පිළිබඳව දැක ගැනීමට පුළුවණි. ධර්මයට පැමිණ ධර්මයෙන් ආස්වාදයක් ලබාගෙන ඒ ධර්ම විනයෙහි හික්මෙමින්, තවත් කෙනෙකුගේ උපකාරයකින් තොරව, තමාට තමා පිහිටක්, පහනක්, කොට ජීවත්විය හැකි බව මා වගේ ම ඔබත් ඉතා හොඳින් දන්නවා. ඒ නිසා එසේ නොවේ යැයි මා ගැන දුක්වෙන්නට එපා.



බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment