Labels

Monday, May 23, 2016

සසල සිත නිසල කරන භාවනාව


බ්‍රහ්ම, දිව්‍ය, මිනිස්, අසුර, පේ‍්‍රත, තිරිසන්, නරක යන පැවතුම් වලට වැටෙමින් සසර සකස් වන්නේ පුද්ගල සන්තානයේ සැකසෙන චේතනාමය විචිත්‍රත්වය අනුවයි. සිතේ නියාමය එයයි. හැම සසර පැවැත්මක් ම යම් ආකාරයක ඉන්ද්‍රිය අත්දැකීම් ක්‍රමයකි.

ඉන්ද්‍රියානුසාරී අත්දැකීම් ලෝකය සකස් වන්නේ “මෙය ඇති කල්හි මෙය වේ (ඉමස්මිං සති ඉදං හොති) මෙය ඉපදීමෙන් මෙය උපදියි” (ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති) “මෙය නැති කල්හි මෙය නො වේ” (ඉමස්මිං අසති ඉදං න හොති) “මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ” (ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති) යන ධර්ම නියාමය අනුවයි. ඒ න්‍යායට අනුව චිත්තයාගේ සමුදය වන්නේ නාමරූප සමුදයෙනි. (නාමරූප සමුදයා චිත්තස්ස සමුදයො) විඳීම්, හැඳිනීම්, චේතනා, ස්පර්ශ, මනසිකාර යන නාමධර්ම ඔස්සේ ඉඳුරන් ඇසුරෙන් නිමිති වන වර්ණ, ශබ්ද, ගන්ධාදී රූප විඤ්ඤාණයේ පිළිබිඹු වෙමින් සිත් පහල වීම වේ. සිත්වල ස්වභාවය අනුව සළායතනික ලෝකය සමුදය වේ. ස්පර්ශයෙන් සමුදය වන වින්දනයට තෘෂ්ණා ඉපදවීම් වශයෙන් පුද්ගලත්වය , මමත්වය බිහි වේ. (තණ්හා ජනෙතා පුරිසං) මේ සත්ව ප්‍රඥප්තියයි. සියලු නිමිති පිළිබඳව මමය, මගේ යයි ගනිමින් සත්වයා සිත් වේගයක් වශයෙන් ඔබ මොබ දුවයි, (චිත්තමස්ස විධාවති) මේ අයුරින් සත්වයා සසරගත වෙයි, (සත්තො සංසාරමාපාදී) දිගින් දිගට ජරාමරණ දුකට පත්වීම ඔහුට ඇති මහත් බයයි. (දුක්ඛමස්ස මහබ්භයං) මේ සිදුවීමේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව නො දන්නේ නම් දුකින් මිදීමක් නැත.(දුක්ඛා න පරිමුච්චති) මමත්වය ඉදිරියට දමාගෙන ගොඩනගන චේතනා ශක්තිය වූ කර්මය පැවැත්මට ආධාරකය වේ. (කම්මං තස්ස පරායනං) මේ සකස් වන්නේ දුක බවත් ඉන් මිදිය යුතු බවත් සාමාන්‍ය පුද්ගලයා නො දනියි.

බුදුරජාණන් වහන්සේ


ඉතා කලාතුරකින් සසර සත්වයන් අතරින්ම කෙනෙක් ප්‍රඥාව මෙහෙයවා සසර හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය වෙසෙස් නුවණින් (යොනිසෝමනසිකාරයෙන්) විමසා සම්බෝධියට පැමිණ සසර තතුත් ඉන් මිදීමට මඟත් දේශනා කරති. බුදුවරුන් පහළ වන්නේ දෙවි, බඹුන් අතර නොව පහළම සුගතිය වන මනුලොව මිනිසුන් අතරය. එසේ වන්නේ මනුලොව සුගතියක් නමුත් ආහාර තෘෂ්ණාව මානය මෛථූන රාගය, පටිඝය, බලගතු කරගනිමින් මාංශකයකට හසු වී පස්පව් දශඅකුශල් කිරීමට නැඹූරු වූ මිනිසාගේ පටන් දෙවියන් දක්වා නිවන් පිළිවෙත හඳුන්වා දීම පිණිසය.ගොරෝසුම තැනින් පිරිසුදු කිරීම ඇරඹීම පිණිසය. බුදුරජාණන් වහන්සේ දෙවිමිනිසුන්ට ශාස්තෘ වන්නේ ඒ නිසාය. (සත්ථා දෙවමනුස්සානං)

සදහම් මග


සදහම් මග සීල, සමාධි, පඤ්ඤා, යන ශික්ෂා තුනකින් යුක්තය. සීලය මිනිසාගේ පස්පවට දශ අකුශලයට ඇති නැමියාව සංවරණය කිරීම පිණිසය. මිනිසාගේ කය, වචනය හැසිරවීමේ දී පදනම වන්නේ මනසයි. අභිජ්ඣා , ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මනෝ දුසිරිත් තුන ඇති තැන කය, වචනය නිවැරදිව හැසිරවීමක් නොවේ. කයට ඇති වසඟ බව අකුශලයට යොමු කරන බලගතු අවස්ථාවක් බැවිනි. සමාදාන ශීලයෙන් සංවර වීමට හිතෙන තරමට කර්මය ස්වකීය කොට ඇති බව දක්නා සම්මා දිට්ඨියක් පුද්ගලයා තුළ කලණ මිතුරු ඇසුරින් සදහම් ඇසීමෙන් ඇතිවිය යුතුය. තව තවත් කලණ මිතුරු ඇසුරින් මාර්ග සම්මාදිට්ඨියට අදාළව දහම දැනගත යුතුය. චිත්තභාවනාවට ප්‍රඥා භාවනාවට ඉඩහසර විවෘත වන්නේ එවන් පසුබිමකයි.

භාවනාව


බුදුදහමේ භාවනාව චිත්තභාවනා (සමථ) ප්‍රඥාභාවනා (විපස්සනා) වශයෙන් දෙ ආකාරයි. සීලයෙන් යුතු පුද්ගලයාට කයෙන් සිත නිදහස් කොට බැලීමට හැකිවන්නේ සමාධි භාවනාවකට යොමු වීමෙනි. ආනාපානසතිය, බුද්ධානුස්සතිය, මෛත්‍රීචේ’තෝවිමුත්තිය වැනි සමථ භාවනාවක් කලණ මිතුරු උපදෙස් සහිතව ප්‍රගුණ කිරීමෙන් අදාළ ධර්ම අර්ථ වටහා ගනිමින් ධර්මය හා බැඳුණ ප්‍රමෝදයත්, ප්‍රමෝදයෙන් පී‍්‍රතියත්, පී‍්‍රතිමත් මනසින් කාය චිත්ත සැහැල්ලු භාවයත්,සැහැල්ලුව නිසා සැපයත්, සැප ඇත්තේ චිත්ත සමාධියත් අත්දැකිය හැකිය. සමාධිය බලවත් පමණට කයට ඇති වසඟ බව අඩු වී යයි. සීලය පහසුවෙන් රැකෙයි. එබඳු පුද්ගලයාට යථාභූත ඥානදර්ශනය පහසු වෙයි. (සමාධූපනිසං යථාභූතඤාණදස්සනං)
යථාභූත ඥානදර්ශනය යනු ‘යම් සේ සිදු වී ඇත්ද, ඒ ආකාරය දක්නා නුවණ යි’ මෙහි දී විෂයය විය යුත්තේ අපගේම සංකල්පනා ක්‍රියාකාරිත්වය විනා අන් කිසිවක් නොවේ. ආයතන සයක ක්‍රියාකාරිත්වයෙන් අපි පෙනෙනවා. ඇසෙනවා ,ආඝ්‍රාණ දැනෙනවා. රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා යන අත්දැකීම් ලබමු. වින්දන වශයෙන් ඇලෙන්නේ, ගැටෙන්නේ, රැවටෙන්නේ එසේ අරමුණු වන නාමමාත්‍ර රූපනිමිති වලටයි. වින්දනයෙන් තණ්හාවට වැටෙන සත්වයා උපාදාන භව, ජාති, ජරා ,මරණ, සෝක, පරිදෙව දුක් දොම්නස් උපායාසයන්ට වැටේ.
මෙහි පිවිසුමෙහි ඇති කරුණු ටික තේරුම් ගන්න. ඇලෙන, ගැටෙන, රැවටෙන කවරක් නමුත් තමාට දෙයක් වන්නේ සිතින් කල්පනය කරගැනීමක් හැටියටය. මොන සිතිවිල්ලක් පහළ වුණත් සිදු වී තිබෙන්නේ විඤ්ඤාණයේ නාම රූප පිළිබිඹු පහළ වීමයි. පුහුදුන් පුද්ගලයාගේ සිරිත ඒ පිළිබිඹු ඇත්ත සේ හිතා ගැනීමයි. යම් යම් ආකාරයෙකින් හිතාගන්නේද, ඒ හිතාගත් දේවල් ඒ ආකාරයෙන් නො තිබී වෙනස් වේ. (යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා) එසේ නම් ඒ හිතාගත් දේ නො වටිනා බොරු දෙයක් වේ. (තං හි තස්ස මුසා හොති මොසධම්මං හි ඉත්තරං) මේ සංකල්පනා ලෝකයෙන් මිදෙන්න නම් සංකල්පනා ඇති වන අවස්ථාවේ දීම ඒ ඒ තන්හි දීම අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නුවනින් දැකිය යුතුයි. (පච්චුප්පන්නං ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති) ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතෙහි කෙලෙස් මල දුරුකළ යුතුය. (ථොක ථොකං ඛණෙ ඛණෙ, නිද්ධමෙ මලමත්තනො)

නිවන



අපට ජීවිතයේ මිහිරි අත්දැකීම්, අසීරුකම්, ගැටලු, කලකිරීම්, මානසික පීඩා, කායික වේදනා, අත්විඳින්නට සිදුවේ. ඒ කවර අවස්ථාවක වුවත් අල්ලාගන්න හෝ එයින් පලායන්න හෝ උත්සාහ නො කළ යුතුය. ඒ වෙනුවට කළ යුත්තේ එය තේරුම් ගැනීමයි. ඕනෑම සතුටුදායක හෝ නො සතුටුදායක හෝ තත්ත්වයක් නාමරූප මැවීමක් බව අමතක නො කළ යුතු ය. ස්වාමියා,බිරිඳ, මව, පියා, දුව ,පුතා සොයුරා, සොයුරිය යන පුවලේ සම්බන්ධතාව තුළද පුද්ගල සිතේ මැවෙන්නේ නාම රූප ලෝකයයි. ඒ ලෝකය තුළ තමන් බලාපොරෙත්තු වන සතුටුදායක තත්ත්වය පිළිබඳ හැඟීමක් හැම කෙනා තුළම පවතී. මමත්වය ඉදිරියට දමාගෙන ඇතිකරගන්නා මේ හැඟීම් මුදුන් පැමිණෙන්නේ නැති විට කෝපය, සිත්තැවුල, කලකිරීම විසින් සිත මඬිනු ලබයි. ඒ වෙනුවට තමා වටා ඇති හැම දෙයක්ම මට ඕන හැටියට විය යුතුයි කියා සිතන්නේ නම් එය දුක කැඳවා ගැනීමක් බව දකින්න. සංකල්පනය කරගත් දේවල් පාලනය කරන්නට නොයා යුතුයි. අපට හමුවන හැම අසීරුකමක්ම කලකිරීමක්ම අපට අවබෝධය ලබාගන්න අවස්ථාවක් උදාකර ඇති බව දැකිය යුතුයි. අවබෝධය ලැබීම යන ගැටලු දුක්, කම්කටොලු මැකී යාමයි. එය කිසිවකට බලපෑම් කිරීමෙන් ලැබෙන්නක් නොවේ. මනසින් දෙයක් බවට පත්කරගත් දේ, තරහ මරහ, ඇබ්බැහිකම්, ඇලුම් කිරීම්වල දිගින් දිගට එල්ලීගෙන සිටීමේ දුක දකින්න. අවබෝධය පදනම් වූ විට දුක් දෙන දේ පිළිබඳ උනන්දුව නැතිව යයි. ඊට ‘නිබ්බිදා’ යයි කියනු ලැබේ. නිබ්බිදාව ඇත්නම් සිතින් අල්ලාගත් දේ මැකී යයි. ඒ ‘විරාගය’ යි. සංකල්පනා වලින් නිදහස් වන්නේ එවිටයි. (විරාගා විමුච්චති) නිවන එයයි. භාවනාව ඒ පිණිසයි.





කොස්වත්තේ අරියවිමල හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment