Labels

Thursday, January 19, 2017

ජාතක පොත් වහන්සේ පවසන පාරමිතා

පාරමිතා බලය අපරිමිතයි. බුදු සසුනේ බුදු, පසේ බුදු, මහරහත් පදවි ලැබීමේ වාසනාව උදා වුණේ අධ්‍යාත්මික ගුණ දියුණුවෙන් පාරමිතා පිරීම නිසයි. ත්‍රිවිධාකාර වූ එය දාන පාරමිතාව, දාන උප පාරමිතාව, දාන පරමත්ථ පාරමිතාවයි. රහත්බව, පසේ බුද්ධත්වය සහ ලොවුතුරා බුද්ධත්වය ලැබීමට සුදුසුකම් ලැබුවේ මෙසේ සිතේ පහළවූ විශාල දියුණුවයි. ගෞතම මහ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක්ම දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව පුරමින් බෝධි පාක්ෂික ධර්ම දියුණුවෙන් අසමසම බුද්ධත්වයෙන් පිදුම් ලැබුවා.
උත්තරීතර බුද්ධත්වය පතන පින්වතුන් දාන පාරමිතාව පිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. අඟ පසඟ පරිත්‍යාගයෙන් පුරන උප පාරමිතාවත් ප්‍රමාණවත් නැහැ. එය ජීවිත පරිත්‍යාගයෙන් සපුරන දාන පරමත්ථ පාරමිතාවක්ම විය යුතුයි. එසේනම්, පෙර සඳහන් පරිදි තෙවදෑරුම් පාරමිතාවන් පිරීමෙන් තිලෝගුරු බුද්ධත්වය උදෙසා භාග්‍ය උදා වෙනවා.

අපේ ගෞතම බෝසතාණෝ ලොවුතුරා බුද්ධත්වය පිණිස අතීත සංසාර සාගරයේ ආත්ම තිස්පහක් දිවි හිමියෙන් පාරමිතා පිරුවා. එය ‘චර්යා පිටක ග්‍රන්ථයේ්’ (ජාතක පොත) මෙසේ සඳහන් වෙනවා.
එක්තරා ආත්ම භාවයක අපේ මහ බෝසතාණන් වහන්සේ කීර්ති නමින් දඹදිව උපත ලබා තරුණ වියේදීම තාපස පැවිද්දෙන් හිමාල පෙදෙසෙහි වාසය කළා. මේ පුවතින් දැනුම්වත් වූ පින්වතුන් හිමාලය වෙත පිවිසී තවුස්දම් පිරුවා. දහය, විස්ස, සියය, දහස, දස ලක්ෂය ලෙස කෝටි ගණනින් තවුස් දම් පිරුවා. මේ සැමටම ඉඳුම් හිටුම්, දානමාන පිරිනැමුවේ සක්දෙව් රජතුමාගේ උපදෙසින් විස්කම් දිව්‍ය පුත්‍රයයි. තාපස ඇඳුම් , ගිලන්පස දාන, දාන මළු සියල්ලක්ම කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. මේ පිරිසට අවවාද , අනුශාසනා ලබා දුන්නේ බෝධිසත්වයන් වූ කීර්ති මහා තාපස තුමයි. මෙලෙස අවවාද අනුශාසනා ලබමින් , භාවනාවෙන්, මිය ගිය බොහෝ පින්වතුන් උපත ලැබුවේ බඹලොව සහ දෙව්ලොවයි. බුද්ධ ශාසනයේ නිවන් සම්පත් පිණිස සුදුසුකම් සපුරා පාරමී ගුණ දහම් දියුණු කළේ එවැනි උතුමන් වහන්සේලායි.
එක්තරා දවසක කීර්ති තාපසතුමා එදා ‘කුරු දිවයින’ ලෙසින් හැඳින්වූ ලංකාදීපයට වැඩම කළා. එකල කරකොළ බහුල වූ ලක්දිව, කුරු දිවයින වූවා. කරදර පීඩා, බහුල කලෙක වුණත් කරකොළ අනුභවයෙන් දිවිගෙවන්න පුළුවන්. මේ කාලයේ බෝසතාණන් වහන්සේ හුදෙකලාවම කුරු දිවයිනේ උතුරු කරයේ වාසය කළා. එක්තරා දවසක බෝසත් කීර්ති තාපසතුමාට බොහෝ කලකින් දානයක් පිරිනමන්න අවස්ථාවක් නොලැබුණු බව කල්පනා වුණා. මේ මොහොතේ සක්දෙව් රජතුමා යාචක වේශයෙන් තෙදිනක්ම පැමිණ තාපසතුමාගේ කරකොළ දානය පිළිගත්තා. සිව්වන දිනත් පැමිණි සක්දෙව් රජතුමා මෙසේ පැවසුවා. තාපසතුමනි, ඔබතුමා තෙදිනක්ම නිරහාරව සිටිමින් මට කරකොළ දානය පූජා කළා. මට අවශ්‍ය වූයේ ඔබතුමාගේ කරකොළ දානය නොවෙයි. ඔබතුමා හොඳින් තවුස් දම් පුරනවාද, වංචනිකව තවුස් දම් පුරනවා දැ’යි සොයා බැලීමට පමණයි. නමුත් ඔබතුමා ගුණවන්ත තාපස තුමෙක්. ඔබතුමා, මගෙන් කැමැති වරයක් ඉල්ලන්න. එවිට තාපසතුමා මෙසේ පැවසුවා. මට සැමදාම දන් දෙන්න ලැබේවා! දානය ලබා ගන්න කෙනෙකු ලැබේවා! පින් දෙන්න කෙනෙකු ලැබේවා! ගතිගුණ දියුණු කරගන්න, සද්පුරුෂයන් ලැබේවා! අසද්පුරුෂයන් නොලැබේවා’යි! වර ගණනාවක්ම ඉල්ලුවා. සක්දෙව් රජතුමා තවත් වරයකට අවස්ථාව ලබා දුන්නා. මින්පසු ඔබතුමා මෙතනට එන්න එපා . එයයි මගේ ලොකුම ඉල්ලීම යැ’යි කීර්ති තාපසතුමාණන් පැවසුවා. ඇයි, ස්වාමීනි, එසේ පවසන්නේ? බොහෝ මිනිසුන් මා වෙනුවෙන් විවිධාකාර පූජා පවත්වමින් මට ආරාධනා කරනවා. නමුත්, මා එහෙම ආරාධනා පිළිගන්නේ නැහැ. එහෙත් ඔබතුමා මට නැවත එන්න එපාලු. එයට හේතුව කුමක්ද? සක්දෙව් රජතුමනි, ඔබ දැකීමෙන් මගේ ආශාව, තණ්හාව, ලෝභකම ලියලන්න පුළුවන්. ඒ නිසා මේ පෙදෙසට නොඑන්නැ’යි ඔබතුමාගෙන් ඉල්ලුවේ. මගේ තාපස දිවිය මා හොඳින් ගත කරනබව විශ්වාසයි.
එදා කීර්ති තාපසතුමා තමන්ගේ ආහාරය පිණිස තම්බා ගත් කරකොළ ස්වල්පය නිරහාරව දන්දීමෙන් සැපිරුවේ දාන පරමත්ථ පාරමිතාවයි. මේ හේතුවත් කීර්ති තාපසතුමාට ලොවුතුරා බුද්ධත්වය ලැබීමට භාග්‍ය උදාවුණා.
ඒ නිසා සැවොම ලොවුතුරා බුද්ධත්වය උදෙසා දානමාන ආදී උතුම් පින්දහමින් උත්තරීතර වෙනවා. නොඑසේනම් දන් දීමේ පිනෙන් අර්හත්වයට හේතු වාසනා වෙනවා. හැබැයි, මේ තුළින් පමණක් බුද්ධත්වය, පසේ බුදු බව ලබන්න බැහැ. ලොවුතුරා බුද්ධත්වය ලැබීමට ජීවිත පූජාවෙන් දන් දිය යුතුයි.
එක්තරා ආත්ම භාවයක අපේ මහා බෝසතාණන් වහන්සේ විශාල දන්සලක් පැවැත්වූවා. අබුද්ධෝත්පාදක කාලයක පැවැත්වූ මේ දන්සල වෙත දස දහස් ගණනින්, ලක්ෂ ගණනින් ජනතාව ගංඟාවක් සේ ගලා ආවා. මේ අය ඔල්වරසන් දෙමින්, ප්‍රීති ඝෝෂා නඟමින් කාබී සතුට පළ කළා. එදා මේ දන්සල වෙත පසේ බුදුවරයෙක් වැඩම කළා. මේ දසුනින් අපමණ ප්‍රීතියෙන් පිනා ගිය අප මහ බෝසතාණන් වහන්සේ ඉදිරියට පැමිණ පසේ බුදුරදුන් වැඳ නමස්කාර කරමින් දන් බෙදීමට පාත්‍රය ඉල්ලා ගත්තා. හොඳින් පිරිසුදු කර පිළියෙළ කරගත් පාත්‍රයට දන් බෙදා ගත් බෝසතාණන් වහන්සේ දන්සලෙන් පිටතට පා තබද්දී නොසිතූ ලෙසින් ඉමක් කොනක් නොපෙනෙන විශාල ගිනි අඟුරු වළක් පැන නැඟුණා. නමුත්, දන්සල අසල මෙවැනි බියකරු දසුනක් පෙර තිබුණේ නැහැ. මෙය දානය වැළැක්වීමේ අදහසින් මාරයාගේ පවිටු ක්‍රියාවක්දැ’යි සිතූ බෝසතාණන් වහන්සේ දිවිහිමියෙන් දන් පාත්‍රය පූජා කරන්න අදිටන් කළා. ගිනි අඟුරු වළ මැදින් පැනගෙන පැමිණි බෝසතාණෝ තම දෑත දිගුකරමින් මහත් ශ්‍රද්ධාවෙන් පසේ බුදුරදුන්ට දාන පාත්‍රය පූජා කළා.
ඇත්තටම එහි ගිනි අඟුරු වළක් නොතිබුණු බවත් එය මාරයාගේ මවා පෑමක් බවත් පසුව දැනගත්තා. එදා බෝසතාණන් වහන්සේ ගිනි අඟුරු වළට බිය නොවී දිවි හිමියෙන් ලබා දුන් දානය ‘දාන පරමත්ථ’ පාරමිතාවයි.

මෙලෙස බෝසතාණන් වහන්සේ දිවි හිමියෙන් ලබාදුන් දානයෙන් කෙතරම් පිනක් අත්වන්න ඇතිද? කෝටි ගණනින් ජන ගඟකට ලබා දෙන දානයට වඩා එක දන් හැන්දක් පසේ බුදුරදුන්ට පූජා කිරීමෙන් ලැබෙන පින කෙතරම් අනුසස් ඇතිද? සිල්්වත්, ගුණවත්, නැණවත් උතුමෝ ලොවේ දුර්ලභ වුවත් මෙවැනි උතුමන්ට ලබා දෙන දාන, පරිත්‍යාගයන් සැදැහැ සිතින් පිරිනැමීම මෙලොවට, පරලොවට මෙන්ම සංසාරයටම අගෙයි.





අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 12 වන බ්‍රහස්පතින්දා දින  බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment