පුද්ගලයා විවිධ දේ පරිහරණයෙන් සතුටු වන අතරම එහි වෙනස් වීමත් සමඟ දුකට පත්වේ. එසේ වන්නේ පරිහරණය කරනු ලබන සෑම ද්‍රව්‍යයක් මෙන්ම ඒවායින් ලැබෙන ආශ්වාදයද වහා වෙනස්වන, අනිත්‍යතාව ස්වභාව කොට ඇති බැවිනි. පුද්ගලයා හැම විටම අපේක්ෂා කරන්නේ එකම ආකාරයේ වෙනස් නොවන සුවදායක වින්දනයකි. මිනිසා ඇතුළු සමස්ත ජීව ලෝකයේ පවතින සහජ ස්වභාවය නම් දුක පිළිකුල් කිරීම හා සැප කැමති වීමයි (සුඛකාමා දුක්ඛාපටික්කූලා). සියල්ල පවතින්නේ හේතුඵල සන්තතියකට අනුවය. අප කොතරම් උත්සාහ ගත්තද ඒ කිසිවක් අපගේ ආධිපත්‍යයට යටත් කළ නොහැකිය.
බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් දැහැමි ආර්ථිකයක් ගොඩ නඟා ගන්නේ කෙසේද, යන්න පැහැදිලි කරමින් ඉදිරිපත් කළ ලිපි මාලාවෙහි අවසන් ලිපියෙන් සාකච්ඡා කරන්නේ ධන සම්පත් පරිභෝජනය පිළිබඳ බෞද්ධ පිළිවෙතයි. බෞද්ධ පරිභෝජන දර්ශනය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ රාසිය සූත්‍රයෙහිය. මෙයට අමතරව වෙනත් සූත්‍ර දේශනාවන්හිද එම කරුණු සාකච්ඡා වන අවස්ථා දක්නට ලැබේ.
රාසිය සූත්‍රයේ අවසන් කරුණෙන් අවධාරණය වන්නේ බෞද්ධ පරිභෝජන දර්ශනයයි. ඒ අනුව ධන සම්පත් පරිභෝජනය සම්බන්ධයෙන් අගථිත, අමුච්ඡිත, අනජඣාපන්න, ආදිනව දස්සාවි, නිස්සරණපඤ්ඤ යනුවෙන් නිර්ණායක පහක් ඉදිරිපත් කරයි. මෙම නිර්ණායක මැනවින් පරික්?ෂා කළ විට ආර්ථික සම්පත් පරිභෝජනය පිළිබඳ බෞද්ධ පිළිවෙත පැහැදිලිකරගත හැකිවේ.
ගථිත යනුවෙන් අදහස් කෙරෙන්නේ තමා පරිහරණය කෙරෙන ධනයට හෝ වස්තුවට නැතහොත් දේපළවලට තිබෙන දැඩි ඇලීමයි. තමා සන්තක දේට දැඩිලෙස ඇලී ගැලී කටයුතු කරන පුද්ගලයා නොදැනීම අධිපරිභෝජනයෙහි යෙදේ. අධිපරිභෝජනය ආර්ථික අර්බුද රැසක් නිර්මාණය වීමට බලපා තිබේ. ආදායම පිළිබඳ සැළකිලිමත් නොවී ලැබෙන ධනය විචාරයකින් තොරව පරිහරණය කිරීම දිළිඳුකමට හේතුවක් විය හැකිය. ඇතැම් විට එවැනි ප්‍රතිපත්ති හේතුවෙන් ණය වීමට සිදු වේ. ආර්ථික සම්පත් කෙරෙහි අසීමාන්තිකව ඇලී ගැලී කටයුතු කිරීම කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහිද බලපායි. මුදල හෝ වස්තුව ජිවිතය කරගත් පුද්ගලයාට කොතෙක් ලැබුණත් සෑහීමක් නොමැත. ධනයෙන් මත් වූ මිනිසා සදාචාරය නීතිය යුක්තිය නොසළකා කටයුතු කරයි. එවැන්නෝ සමාජයේ යහපැවැත්ම වළක්වන්නෝ වෙති. මේ අනුව ධනය හෝ වස්තුව පරිහරණය කිරීමේදී දැඩි ඇලීමකින් හා දැඩි තෘෂ්ණාවෙන් තොරව පරිහරණය කිරීමේ පළමු ආකල්පය “අගථිත” යනුවෙන් දැක්වේ.
තමා පරිහරණය කරන ආර්ථික සම්පත් කෙරෙහි මුලා නොවී (අමුච්ඡිත) පරිහරණය කිරීම පරිභෝජනයේ දෙවන ආකල්පයයි. මෙයින් අදහස් කෙරෙන්නේ සම්පත් පරිහරණයේ අරමුණු කවරේදැයි වටහාගෙන ක්‍රියා කිරීමයි. ආර්ථික සම්පත් පරිහරණයේදී අවශ්‍යතා පිළිබඳ මනා වැටහීමක් අවශ්‍ය වේ. මේ පිළිබඳ අවබෝධයක් ඇතිකරගත් පුද්ගලයාට, අධිපරිභෝජනය උදෙසා නිරන්තරයෙන්ම සමාජය පොළඹවන වෙළෙඳ දැන්වීම්වලින් මෙන්ම තරඟකාරිත්වයෙන් හා අනුකරණයෙන් මිදී තම ආදායමට හා සමාජ සංස්කෘතික වටිනාකම්වලට ගැලපෙන ආකාරයට ආර්ථික සම්පත් පරිභෝජනය පිළිබඳ දර්ශනයක් ගොඩනගාගත හැකිවේ. ධන පරිභෝජනයේ තුන්වන ආකල්පය වන්නේ අනජඣාපන්නයි. මෙයින් අදහස් කෙරෙන්නේ තමා පරිහරණය කරන ආර්ථික සම්පත් කෙරෙහි දැඩි ලෙස බැස ගැනීමකින් තොරව කටයුතු කිරීමයි. තමා සතු ආර්ථික සම්පත්කෙරෙහි දැඩිලෙස බැසගත් තැනැත්තා අවිචාරවත් ලෙස මුදල් වැය කරයි. ධනයෙන් මත්ව කටයුතු කරන හෙයින් දුටු දුටු දෑ මිලදී ගැනීමටත්, සිතෙන සිතෙන දෑ කිරීමටත් පෙළඹෙයි. ඇතැම් විටෙක එම පිළිවෙත ඔහුගේ ජීවිතය විනාශ විමට ද හේතුවක් විය හැකිය.
සිව්වන ආකල්පය වන ආදිනව දස්සාවි යනුවෙන් අදහස් කෙරෙන්නේ ධන පරිභෝජනය සම්බන්ධයෙන් ඇලීමෙන් (ගථිත) මුලාවට පත්වීමෙන් (මුච්ඡිත) ඇබ්බැහි වීමෙන් (අජඣාපන්න) සිදුවන අයහපත අවබෝධ කර ගැනීමයි. මෙකී අවබෝධය ඇති පුද්ගලයා ධන පරිභෝජනයේ සීමාවන් හඳුනාගෙන ක්‍රියා කරයි. ආර්ථික සම්පත්වල ආනිසංස මෙන්ම ආදීනවත් තිබේ. මෙය දකිමින් නුවණින් යුතුව ධනය වැය කළොත් එහි නිසි ඵල නෙළාගත හැකිවේ. එහෙත් ධන පරිහරණයේ ආදීනව නොදැක අවිචාරවත් ලෙස මුදල් භාවිතා කිරීමෙන් අර්බුද රැසක් නිර්මාණය වේ. සෑම දේකම එයට ආවේණික ආශ්වාදයක් මෙන්ම ආදිනවයක් තිබෙන බව බුදුසමයේ පිළිගැනීමයි. මෙනිසා පුද්ගලයා විවිධ දේ පරිහරණයෙන් සතුටු වන අතරම එහි වෙනස් වීමත් සමඟ දුකට පත්වේ. එසේ වන්නේ පරිහරණය කරනු ලබන සෑම ද්‍රව්‍යයක් මෙන්ම ඒවායින් ලැබෙන ආශ්වාදයද වහා වෙනස්වන, අනිත්‍යතාව ස්වභාව කොට ඇති බැවිනි. පුද්ගලයා හැම විටම අපේක්ෂා කරන්නේ එකම ආකාරයේ වෙනස් නොවන සුවදායක වින්දනයකි. මිනිසා ඇතුළු සමස්ත ජීව ලෝකයේ පවතින සහජ ස්වභාවය නම් දුක පිළිකුල් කිරීම හා සැප කැමති වීමයි (සුඛකාමා දුක්ඛාපටික්කූලා). සියල්ල පවතින්නේ හේතුඵල සන්තතියකට අනුවය. අප කොතරම් උත්සාහ ගත්තද ඒ කිසිවක් අපගේ ආධිපත්‍යයට යටත් කළ නොහැකිය. අප පරිහරණය කරන සියලුම ආර්ථික සම්පත්වලට ද මෙය පොදුවේ. උපයන මුදල් විනාශ වීමෙන් පුද්ගලයා දුකට හා වේදනාවට පත් වේ. ඇතැම් විටෙක එම විනාශය අපට වැළක්විය නොහැකි ස්වාභාවික විපත් නිසා සිදු විය හැකිය. කවර ආකාරයෙන් විනාශ වුවද එය පුද්ගලයාට දුක් වේදනා ගෙනදෙයි. මෙසේ භෞතික වස්තූන් තූළ පවතින යථා ස්වභාවය වටහා ගැනීම ආදීනව දැකීම (ආදීනව දස්සාවි) යනුවෙන් නම්කළ හැකිය.
එසේ ආදීනව දකින තැනැත්තාට තම ධනය ඵලදායි ලෙස භාවිතයට ගත හැකි වේ. එම ධනය අයෝග්‍ය තැන නොයොදා යෝග්‍ය තැන යෙදීමට හැකිවන්නේ මෙම දැක්ම සහිත පුද්ගලයාට පමණි. ආර්ථික සම්පත්වල ආදීනව වටහාගත් විට ඕනෑම අවස්ථාවක ඒවායින් ඉවත්වීමේ මානසික ශක්‍යතාව ඇතිකරගත හැකිවේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ආදීනව දකින තැනැත්තාට ධනය අත්හැරීමේ හැකියාව ඇතිවේ. වස්තූ තෘෂ්ණාවෙන් සියල්ල තමා සන්තක කරගැනීමෙන් වැළකී සම්පත් සෙසු අය සමග සාධාරණ ලෙස බෙදා ගැනීමේ ආකල්පය ඇති වන්නේ ආදීනව දකින තැනැත්තාට පමණි. මෙම අවබෝධය “නිස්සරණ පඤ්ඤ” යනුවෙන් දැක්වේ. එය පරිභෝජනය පිළිබද බෞද්ධ දර්ශනයේ විශේෂ අවස්ථාවයි. ධන පරිහරණයේ මූලික අරමුණු නිසි ලෙස වටහාගත් තැනැත්තාට තමා පරිහරණය කරන කවර වස්තුවක් වුවද විනාශ නොකර ඒ කෙරෙහි හිතානුකම්පීව රොන් රස උරාගන්නා බඹරෙකු සේ ප්‍රයෝජනයට ගත හැකි වේ. අනිත්‍යතාව හා ආදීනව වටහා ගැනීම යනු සම්පත් පරිහරණය කිරීමෙන් වැළකී සිටිම නොවේ. එසේම එය ජීවිතය හා ලෝකය දෙස අශූභවාදීව බැලීමක්ද නොවේ. ඉහතින් දැක්වූ පරිභෝජන දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ සම්පත් පරිහරණය කිරීමේදී පුද්ගලයෙකු තුළ වර්ධනය කර ගතයුතු දැක්මයි.
මෙම දැක්ම සහිත පුද්ගලයා අනවශ්‍ය ආකාරයෙන් වස්තුව ගොඩගසා ගැනීමෙන් වැළකෙයි. දැහැමිව උපයාගත් ධනය දැහැමිව පරිභෝජනය කොට දෙලොවම යහපත උදාකරගනී. දැහැමිව ධනය ඉපැයීමත් දැහැමිව පරිභෝජනය කිරීමත් අන් අය සමග දැහැමිව බෙදාගැනීමත් පින් රැස් කිරීමත් බෞද්ධ ආර්ථිකයේ ඒකායන අපේක්ෂාව වේ. බුදුසමය පරලොව සුගතිය පෙන්වන ආගමක් පමණක් නොව පුද්ගලයෙකුගේ ලෞකික හා ආධ්‍යාත්මික සංවර්ධනය අවධාරණය කරමින් උභයාර්ථයම ජයගන්නා ආකාරය පෙන්වන ආගමික චින්තනයක් ලෙස නම් කළ හැකිවේ. මෙම පසුබිම තුළ ආර්ථිකය පිළිබඳ බුදුරදුන්ගේ දේශනා ආශ්‍රයෙන් සමෘද්ධිමත් ජීවිතයකට අවශ්‍ය පදනම සැකසෙන ආර්ථික දර්ශනයක් ගොඩනඟාගත හැකිවේ. ආර්ථික සමෘද්ධියත්, ධාර්මික විමුක්තියත් එම ආර්ථික දර්ශනයේ අන්තර්ගත සාරය වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment