අද අපි ධම්මානුපස්සනාව ගැන විමසා බලමු. හැබැයි, එය ටිකක් ගැඹුරුයි. ස්කන්ධ විදර්ශනාව, නීවරණ විදර්ශනාව, ආයතන විදර්ශනාව, බොජ්ඣංග විදර්ශනාව , ආර්ය සත්‍ය විදර්ශනාව යනුවෙන් මෙය පස්වැදෑරුම් ගැඹුරු භාවනා ක්‍රමයක්. ස්කන්ධ විදර්ශනාව යනු අපේ ශරීරයයි. රූපස්කන්ධය, වේදනාස්කන්ධය , සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, ව්ඤ්ඤාණ ස්කන්ධය යනුවෙන් හැඳින්වෙන රූපස්කන්ධ පහයි.
මෙලෙස රූප විසිහතක එකතුව රූපස්ඛන්ධයයි. වේදනාවට වේදනා ස්කන්ධයයි, සංඥාවට සංඥා ස්කන්ධයයි. සියලුම සිතිවිලිවලට සංස්ඛාර ස්කන්ධයයි. සිත විඤ්ඤාණස්ඛන්ධයයි. සිත් පිළිබඳව, රූප පිළිබදව, චෛතසික පිළිබඳව හොඳ දැනීමක් වැටහීමකින් ධම්මානුපස්සනාව තේරුම් ගන්න පුළුවන්. පංචඋපාධානස්කන්ධය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කිරීමෙන් ස්කන්ධ විදර්ශනාව පිරෙනවා.
නීවරණ විදර්ශනාව යනු කාමච්ඡන්ද නීවරණ, ව්‍යාපාද නීවරණ, ථීනමිද්ධ නීවරණ, උද්ධච්ච නීවරණ, විචිකිච්ඡා නීවරණ පහ හොඳට සිතෙන් බලමින් පංච නීවරණයෝ අනිත්‍යයයි. දුක්ඛයි, අනාත්මයි යනුවෙන් හොඳින් මෙනෙහි කිරීමයි. එවිට සිතේ ශක්තිය , බලය තහවුරු වෙනවා.
ආයතන විදර්ශනාවට ඇස, කන, නාසය, දිව, සිරුර, සිත , රූප, ශබ්ද, ගන්ධ,රස,ස්පර්ශ, ධම්ම යනුවෙන් ආයතන දොළහක් අයත් වෙනවා. මේ දොළොස් ආයතනයෝ එකින් එක බලමින් ඇස අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි, කන අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කළ යුතුයි. මේ අයුරින් ආයතන දොළහම මෙනෙහි කිරීම ආයතන විදර්ශනාවයි. අවසානයේ දොළොස් ආයතනම අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් ප්‍රකාශ වෙන්නේ සියලු සංස්ඛාර ධර්මයෝ විනාශ වී යන බවයි.
බොජ්ඣංග විදර්ශනාවට අනුව සප්ත බොජ්ඣංග යනුවෙන් සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගයි. මේවාද මොහොතින් මොහොත වෙනස් වීම ධම්මානුපස්සනාවට අනුව මෙනෙහි කරමින් සිත දියුණු කළ යුතුයි. නූපන් සති සම්බොජ්ඣංගය ඇති වුණා, උපන් සතිසම්බොජ්ඣංගය නැති වුණා. එසේනම් නැතිවූ සම්බොජ්ඣංගය නැවත හටගන්නේ ඇයි කියලා නුවණින් පිරික්සා බැලීම බොජ්ඣංග විදර්ශනාවයි.
දැන් අපි ආර්ය සත්‍ය විදර්ශනාව දෙස බලමු. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. මාර්ග සත්‍ය ආදී සත්‍ය සතර නුවණින් දකින්න. අපට දුක පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. ජාති, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දෙස හොඳින් බලමින් මෙනෙහි කරන්න. තණ්හාවත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ප්‍රධාන කොටස් තුනත් මෙනෙහි කර රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා හයත් අතීත තණ්හා, අනාගත තණ්හා, වර්තමාන තණ්හා තුනත්, අභ්‍යන්තර තණ්හා, බාහිර තණ්හාවන්ගෙන් වැඩි කළවිට එකසිය අට වැදෑරුම් තෘෂ්ණාවයි. මෙය සමුදය සත්‍යයයි. සමුදය සත්‍යයට ක්‍රම හැටක් තිබෙනවා. මේවා විචක්ඛයි. දැන් විදර්ශනාව හොඳින් මෙනෙහි කර දුක්ඛ , සමුදය, නිරෝධ මාර්ගයෝ හොඳින් වටහාගෙන අපට කටයුතු කරන්න පුළුවන්.
තථාකාරී ධර්මය හොඳට වටහා ගැනීම සච්ච විදර්ශනාවයි. මේ සියල්ල එකතු කළවිට සතර සතිපට්ඨාන භාවනාවයි. භාවනා ක්‍රම විසිඑකක් මේ දේශනාවේ උගන්වනවා. මේවා දියුණු කරද්දී “සත්තානං විශුද්ධියා” සත්ත්වයන්ගේ සිත පිරිසුදු වෙනවා. ඇඬීම, වැළපීම, අඩුවෙනවා. දුක්, දොම්නස් සන්සිඳෙනවා. නිවන් මඟට බැස ගන්නවා. සෝවාන් ධර්මය සාක්ෂාත් කරගන්නවාම’යි නියතවම අසම සම බුදු පියාණෝ ආර්ය සත්‍ය සතර දේශනා කර වදාළා.
සතර සතිපට්ඨානයේ ආශ්වාස, ප්‍රශ්වාස මෙනෙහි කරද්දීම ආනිසංස හතයි. කේසා..., ලෝමා..., නඛා..., දන්තා..., යනුවෙන් මෙනෙහි කළොත් ආනිසංස හතයි. එසේනම් මේ ගැන හොඳ දැනීමකින් ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයෝ දියුණුවෙන් සතර සතිපට්ඨානයම දියුණුවට මහන්සි වුණොත් එයමයි බුද්ධ ශාසනය. බණ, භාවනා, නිවන් සම්පත් අවබෝධයෙන් කටයුතු කරන්නන් පිනට දහමට ගුණයට නැඹුරුවීමෙන් උදාර ගති පැවතුම් දියුණුකර මෙලොව පරලොව යහපත සලසාගන්න, ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්න, බෝධි පාක්ෂික ධර්ම, පාරමිතාවෝ, කරණීය ධර්ම , මංගල ධර්ම දියුණුව සිතමින් කටයුතුකර බුදු,පසේ බුදු, මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයට අප දියුණු කළ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා! මෙම පින්බර පැතුම සෑම අයෙකුම සිතෙහි පෙරදැරි කරගෙන සතර සතිපට්ඨානය නම් වූ ගැඹුරු දේශනාව බහුලව මෙනෙහි කිරීමට අවශ්‍ය කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව දියුණු තියුණු කරත්වා!
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment