අධ්‍යාපනය යටතේ අප විසින් ඉගෙන ගනු ලබන විවිධ ශාස්ත්‍ර හා විද්‍යාවන් ඇත. ඉතිහාසය, කලාව, සංගීතය යනාදිය මෙන්ම තර්කය, න්‍යාය, ජ්‍යොතිෂය හා ආයුර්වේද වැනි ශාස්ත්‍රයන් ද ජීවවිද්‍යාව, භෞතික විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයයන් ද ඊට අයත්ය. මෙම ශාස්ත්‍ර හා විද්‍යාවන්ගේ මූලික අවශ්‍යතාව වන්නේ අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගෙවීමට මග විවර කර දීමයි.
එහෙත් වර්තමානය වන විට ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ සමාජය තුළ මානසික අසහනය ඉහළ යාමත් එම ව්‍යසනය පිටු දැකීමට නූතන අධ්‍යාපනය ශක්තිමත් නොවීමත්ය. අධ්‍යාපනය පිළිබඳ සමාජ කතිකාවත අති ප්‍රබල වූවකි. පාසල් සහ විශ්වවිද්‍යාල වැනි ආයතනයන්හි විවිධ උගත්හු තම තමන් දත් ශාස්ත්‍ර සහ විද්‍යාවන් අනෙක් සියල්ලට වඩා උසස් බව හුවා දැක්වීමට ප්‍රයත්න දරති. නව යොවුන් වියේ පසුවන යෞවන යෞවනියෝ ද එම අවස්ථාව වන විට තම සිතට ආකර්ෂණීය වූ මඟ පෙන්වීම අනුව ලුහුබඳීති.
වෛද්‍යවරයෙකු වීම, ඉංජනේරුවෙකු වීම යනාදිය මහත් උත්කෘෂ්ට වෘත්තීන් ලෙසත් කලා විෂයන් හැදෑරීම මරණය තෝරා ගැනීමක් ලෙස ද සිතූ වකවානුවක් මෑත අතීතයේ ලංකාවේ පැවතුණු බව අපි දනිමු. එහෙත් එවැන්නක් වර්තමාන ලංකාවේ නැත. කුමක් නිසා ද යත් එකී උසස් යැයි සම්මත වෘත්තිකයන් ද අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කිරීම්, අපචාර ක්‍රියාවල නිරත වීම්, අසහනයෙන් සියදිවි හානිකර ගැනීම් යනාදී අනේකවිධ ලාමක ක්‍රියාවන් තම චරිතයෙන් ප්‍රකට කරවන හෙයිනි. මෙයින් අදහස් වන්නේ කුමක් ද? සියලු විද්‍යාවන්ට වඩා ජීවිත විද්‍යාව උසස්ය යනුවෙන් අපේ පැරැන්නන් යතාර්ථයක් වශයෙන් පසක් කළ හා සටහන් කොට තැබූ සත්‍යයයි.
පරිපූර්ණ මිනිසෙකු තුළ තිබිය යුතු කුසලතාවන් දෙකක් ඇත. ඒවා මෘදු කුශලතා සහ දෘඪ කුසලතා යන නම්වලින් හැඳීන්වේ. දෘඪ කුශලතා යනු යමක් කිරීමට ඇති හැකියාවයි. වර්තමාන අධ්‍යාපනයෙන් අප ලබනුයේ මෙම කුසලතාවයි. මේ සඳහා අපට සහතික පත්‍ර පවා ලැබේ. මෘදු කුසලතා යනු තමා පිළිබඳව මෙන්ම අනෙක් සමාජ සත්වයන් කෙරෙහි ද සංවේදීව ක්‍රියා කිරීමට හැකි ශක්තිය දියුණු කර ගැනීමයි. කරුණාව, දයාව, අනුකම්පාව, පරහිතකාමිත්වය, අසාධාරණය, අයුක්තිය, වැරැදි බව තේරුම් ගැනීමේ හැකියාව යනාදී මානව ධර්ම ඊට අයත්ය. තම මව පියා දරුවා බිරිඳ ස්වාමි පුරුෂයා අසල්වැසියා හා රටවැසියාගේ සංවේදනා තමන්ගේ සංවේදනාවක් ලෙස සැලකීමේ භාවිකත්වයක් ඇත්තේ මෙකී මෘදු කුසලතා වඩා ගත් පුද්ගලයන්ටය. මෙම මෘදු කුසලතා වර්තමාන අධ්‍යාපනයේ දී අවතක්සේරුවට ලක්වීම පොදු සමාජයේ අවාසනාවකි. බටහිරින් පොදි බැඳ ආ ඥාන සම්භාරයක් නොමැතිව සිටි කලෙක මෙරට දේශීය අනන්‍යතා සහිතව පිබිදුණු අධ්‍යාපනයෙන් අතීත ලංකාවේ මිනිසුන් පෝෂණය වී සිටීම විස්මය කරුණකි. එබැවින් පැරැණි ලක්දිව අධ්‍යාපනය පිළිබඳව වටහා ගැනීම අතිශය ප්‍රයෝජනවත් වේ. පැරැණි ලක්දිව අධ්‍යාපනය තුළ සිසු අරගල නැත. විරැකියා ගැටලු නැත. වැටුප් අර්බුද නැත. එහෙත් ශාස්ත්‍රීය නිර්මාණ ඇත. පෘථුල චින්තන ශක්තියක් ඇත. වර්ණනීය සමාජ ආගමික ශික්ෂණයක් ඇත. දේශීය ආර්ථිකය හා සංවර්ධනය සඳහා ලබා දුන් විශිෂ්ට මඟ පෙන්වීමක් ඇත. අතිශයෝක්තියක් නොවන මෙම කරුණු වර්තමාන ශ්‍රී ලාංකික සමාජ දේහය ශක්තිමත් කරන සීගිරිය වැනි ජාතික උරුමයන් මෙන්ම අනුරපුර පොළොන්නරු සංස්කෘතික නටබුන් අද වන විට ද දේශීය ආර්ථිකයට සපයන විශාල දායකත්වය පමණක් පිළිබඳව වුවද සිතන්නෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිය. එමෙන්ම ශිෂ්‍ය අර්බුද යැයි සංකල්පයක් ගැන අතීත ලංකාවේ ඉතිහාසයෙන් සොයාගත හැකි කිසිවක් නැත. තවද පෙරදිග ඥාන සම්භාරය සුරක්ෂිත කළ සාහිත්‍යයක් මෙකල අධ්‍යාපනය විසින් සුරක්ෂිත කරමින් පෝෂණය කරමින් අනාගතයට රැගෙන ආ හෙයින් විදේශීය පඬිවරුන් ද ලංකාවට ගලා ආහ. එබැවින් සුපුෂ්පිත සුසංවේදී හා සුසංවාදී ජන ජීවිතයකට මග පෑදූ බුදුදහමින් පෝෂිත ලක්දිව පැරැණි අධ්‍යාපනය ගැන පුනරාවර්ජනය කිරීම යුගයේ අවශ්‍යතාවක් වේ. පැරැණි ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව සිහිපත් කිරීමේ දී දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ එය ගුරු කේන්ද්‍ර ීය අධ්‍යාපනයක් වූ බවයි. ගුරු කේන්ද්‍ර ීය අධ්‍යාපනය යනු ගුරුවරයා මූලික කරගත් අධ්‍යාපනයයි. එය වර්තමානයේ පවතින ශිෂ්‍ය කේන්ද්‍ර ීය අධ්‍යාපනයට සපුරා වෙනස්ය. ගුරු කේන්ද්‍ර ීය අධ්‍යාපනය තේරුම් ගැනීමට ගුරුවරයාගේ භූමිකාව තේරුම් ගැනීම වැදගත්ය. ගුරු යන වචනයේ පැහැදිලි අර්ථ දෙකක් ඇත. ඉන් එකක් වන්නේ ගරු යන්නයි. අනෙක බර යන්නයි. අතීත ලංකාවේ ගුරුවරයා අතිශයින්ම ගුණවත් පුද්ගලයෙකි. සමාජය විසින් දැක වහා හුනස්නෙන් නැගිටීම ක්‍රියාවන් කළේත් දුටු තැන නමස්කාර කළේත් මෙම මාහැගි ගුණ පෞරුෂය නිසාය. අනෙක් අතින් ගුරුවරයා විස්මය ඥාන සම්භාරයකින් හෙබි තැනැත්තෙකි. ශිෂ්‍යයාගේ භූමිකාව ද මීට සමානුරූපී වේ. ශිෂ්‍යයා ගුරුවරයාගේ දැනුමට හා ගුණයට සහේතුකව බෙහෙවින්ම ගරු කළ අතර ඉගෙනීම නමැති කර්තව්‍යය සාර්ථක කරගැනීමට තමන් ද ගුණගරුක හා කැපවීම් සහිත කෙනෙකු වීමේ අවශ්‍යතාව ඔහුගේ බුද්ධියට හා හදවතට පසක් විය. බුද්ධ දේශනාවෙහි සඳහන් වන පරිදිම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පැවැතියේ පිය පුතු සෙනෙහසේ සබැඳීයාවයි. දෙවන වැදගත් කරුණ වූයේ අධ්‍යාපනය හා බද්ධ වූ කාර්යභාරයයි. දිසාපාමොක් ගුරු භූමිකාව ප්‍රතිමූර්තිමත් කළ තත්කාලීන ගුරුවරයා ශිෂ්‍යයාගේ ජීවිතය හා ඔහුගේ ඉලක්ක මැනවින් හඳුනාගෙන ක්‍රියා කළේය. ඉගෙනීමට ඇති හැකියාව හා වුවමනාව පමණක් නොව ඔහුගේ ආහාර ගැනීම නියපොතු කැපීම හා දත්මැදීම් වැනි ක්‍රියාදාමයන් ගැන ද ඔහු සැලකිල්ලක් දැක්වීය. මානව හිතවාදී ක්‍රියාදාමයක් වූ එය නිමා වූයේ ඔහුට නිසි විවාහයක සහ වෘත්තියක පදනමක් ද සලසා දීමෙනි. අනෙක් අතින් දේශීය අනන්‍යතාවක් සහිත අවශ්‍යතා හඳුනාගත් විෂය නිර්දේශයකට අනුව සැකසුණු අධ්‍යාපනයක් ද එකල පැවතුණි. ධර්මය පමණක් නොව ගණිත මිණිත ජ්‍යොතිෂ ආයුර්වේද ආදී විෂයන් ද සාහිත්‍ය සංගීත නැටුම් ශිල්පය වැනි විෂයන් ඊට ඇතුළත් ය. අනවශ්‍ය හඹා යෑම් හා අභියෝගවලට පෙළඹවීම් ඊට ඇතුළත් නොවීය. වනපොත් කිරීම හා සජ්ඣායනය ශාස්ත්‍රීය දැනුම් තහවුරු කිරීමේ උපාය මාර්ගය විය. මෙම වනපොත් කිරීමේ ක්‍රමය අනවශ්‍ය බව වර්තමාන පිළිගැනීම වුවත් බෞද්ධ පිළිගැනීම සූත්‍රවල දැක්වෙන්නේ මෙසේය. “විශ්වාසයක් ඇති ශිෂ්‍යයා ගුරුවරයා වෙත එළඹෙයි. එළඹ ගුරුවරයා ඇසුරු කරයි. ඇසුරු කරන්නා අවධානය යොමු කරයි. අවධානය යොමු කරන්නා ධර්මය හෙවත් කරුණු අසා දරයි. කරුණු සිහියේ දරන්නා හෙවත් කටපාඩම් තැනැත්තා අර්ථ පිරික්සයි. අර්ථය පිරික්සන්නාට කරුණු මනාව වැටහේ. එවිට ඔහුට වැඩිදුර හැදෑරීමේ කැමැත්ත හා උත්සාහය ඇතිවේ. ඉන්පසු ඔහු කරුණු තුලනය කරයි. තුලනය කොට යතාර්ථය තේරුම් ගැනීමට වෑයම් කරයි. ප්‍රඥාවෙන් කරුණු විනිවිද දකියි” යනුවෙනි. අන්තර්ජාලයෙන් ගීතයක් අසන්නෙකු එයින් ස්වල්ප ආස්වාදයක් ලබන අයුරුත් එම ගීතය මතකයේ ඇති කෙනෙකු එහි අරුත් විනිවිද දකින අයුරුත් සැසඳීමෙන් මෙය ඔබට පහසුවෙන් තේරුම් ගත හැකිය. මේ නිසා සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව සහමුලින් අතහැර දැමීමෙන් වන හානිය දේශයේ අනාගතය තීරණය කරන්නකි
තෙවන කරුණ ලෙස ගුරුකුල සතු කාර්යභාරය දැක්විය හැකිය. පැරැණි ලංකාවේ ගුරුකුල බිහි වී තිබූ බව අපි දනිමු. ‘වියත් අටගණ’ නමින් ගුරුකුල අටක් පැවතීමේ රහස එකිනෙකා අතර පැවති භේද භින්නතා නොව විෂයය ප්‍රාමාණිකත්වයයි. එකල සමාජයට ශිෂ්‍යයා දෙස බලා ගුරුවරයා හඳුනාගැනීමේ හැකියාවක් තිබුණි. ශිෂ්‍යයන් විසින් ඒ ඒ ආචාර්යවරයා හෝ ආචාර්වරුන් තුළ පැවති විශේෂඥ ශික්ෂණ ක්‍රමවේදයට ඇලුම් කිරීම හේතුවෙන් එම ගුරුවරයා හෝ අධ්‍යාපන ආයතනය වටා ඒකරාශීවීම නිසා ගුරුකුල බිහිවිය. ඇතැම් ශිෂ්‍යයන් තුළ පැවති උසස් දැනුම් හා විධිමත් ශික්ෂණය ඇති වූයේ කෙසේ ද යන්න සොයා බලා ඔබගේ ආචාර්යවරයා කවරෙක් ද? ඔහු කෙබඳු ශාස්ත්‍රයක් උගන්වයි ද? යන විමසීමෙන් තීරණ ගැනීම මවුපියන්ගේ මෙන්ම දැනුම සොයා යන ඡාත්‍රයන්ගේ ද අභිලාෂය විය. මෙකල එබඳු ගුරුකුල නැත. ආර්ථික ඇගයුමක් උපාධියකට හිමි කිරීමත් වල් බිහි වූ අධ්‍යාපන වහසි බස් නමැති මායාවේ සපිළිවළින් සරසවා තිබීමත් මීට හේතුවයි. එකල ගුරුකුලවල කිසිදු වාණිජමය පරමාර්ථයක් නොවීය. ඔවුන්ගේ අරමුණ වූයේ ශිල්ප ශාස්ත්‍ර දානය උපරිම අයුරින් කිරීමය. සිවුවන කරුණ ලෙස දැනුම ලබා ගැනීමේ පදනම දැක්විය හැකිය. විද්‍යාවෙන් විනය ඇතිවේ (විද්‍යා දදාති විනයං) යන්න බෞද්ධ කියමනක් නොවේ. බෞද්ධ අදහස විය යුත්තේ විනයෙන් විද්‍යාව හෙවත් දැනුම ලැබේ යන්නයි. සීලය, හැදිච්චකම නැතහොත් විනය ප්‍රඥාව සොයා යාමට හේතු වන එකම සාධකය බව තහවුරු කිරීමට බුදුගොස් හිමියන් විසින් විසුද්ධිමාර්ගය රචනා කිරීම ඊට නිදසුනකි. එබැවින් පැරැණි රටාව අනුව අධ්‍යාපනයක් ලබා දීමේ දී දැනුමට පෙර විනය සැකසීමේ ක්‍රමවේදයකට යා යුතුය. වර්තමානයේ ඇතැම් ශිෂ්‍යයන් තුළ මූලික වශයෙන් හික්මීමක් නැත. එහෙයින් ඔවුන් ලබන දැනුම ද විධිමත් නැත. අර්බුද හටගැනීමේ මූලික සාධකය මෙයයි. අධ්‍යාපනය යනු විද්‍යා සාගරයකි. එහි මර්මස්ථාන ග්‍රහණය කිරීමේ හැකියාවක් මෙබඳු ශිෂ්‍යයන්ට නැත. පැරැණි අධ්‍යාපනයේ පැවති බව කියැවෙන ගුරුමුෂ්ටි යන්නෙන් අදහස් වන්නේ අධ්‍යාපනයක පවතින මෙම මර්මස්ථානයි. උසස්ම ශික්ෂණයකින් හෙබි ශිෂ්‍යයාට ගුරුමුෂ්ටි නොතබා ඉගැන්වූ බව ප්‍රසිද්ධ කරුණකි. පෙරදිග අධ්‍යාපන ක්‍රමය බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස් වේ. ඊට හේතුව බටහිර අධ්‍යාපනයේ නැති අධ්‍යාත්මික හැදෑරීම්වලින් ලත් දැනුමක් පෙරදිග අධ්‍යාපනය තුළ පැවතීමයි. යම් යම් ගුප්තමය විද්‍යාවන්ගේ ගුප්තමය තත්වයන් සුරක්ෂිත කළ යුතුය. ඒවා ආරක්ෂා කිරීමේ ශක්තිය ඇති ශිෂ්‍යයා ගුරුවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුට එම දැනුම ලබා දී ඇත. ඒවා මිණිමුතු මෙන් අගනේ වේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ දී මෙසේ වැකියක් හමුවේ. “විද්‍යා සාගරයේ පතුලෙන් ගොඩගෙන අගනා මාණික්‍ය පළඳීමි සිසු ගෙළ“ සැබෑ ගුරුවරයෙකුගේ අභිප්‍රාය වන්නේ වැදගත්ම කරුණු ඉගැන්වීමෙන් ශිෂ්‍යයාට පන්නරය ලබාදීමයි. මිණි මුතු වන් එම යතාර්ථ ප්‍රතිබද්ධ ධර්මතා සකලවිධ විද්‍යාවන් හැදෑරීමෙන් පමණක්ම ඵල නො දරණ අතර ඒවා අධ්‍යාත්මික විද්‍යාව සමඟ ද ප්‍රතිබද්ධ වන්නේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ ආචාර්ය, රාජකීය පණ්ඩිත
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment