Labels

Friday, January 20, 2017

නොතැවෙන්නට නොදැවෙන්නට නම්..

පව් කරන්නා සැමවිටම ශෝක කරයි. මෙපමණ කලක් මම අකුසල් ම කළෙමි. කුසල් නොකෙළෙම්’යි ශෝක වෙයි. තවත් කෙනෙක් තමන් කළ පාප කර්ම ගැන කිසිවිටෙක නොසිතයි. ඒවා මිහිරියි, සුව ගෙනදෙතැයි සිතයි. එසේ සිතමින් පවෙහිම නිරත වෙයි. කළ පව් අමතක කළත් ඒවා සිහියට නැගෙන මොහොතක් එළඹෙයි. ඒ අවසන් මොහොතයි.
එය ඒකාන්තයෙන්ම කළ පව් සිතට නැඟෙන අවස්ථාවයි. මරණ මොහොතේදී ඔහුගේ හෝ ඇය ගේ සිතට කම්ම , කම්ම නිමිති, ගති , ගති නිමිති පහළ වෙයි.එය වූ කලී සවස් කාලයෙහි කඳු සෙවනැල්ල පෙර දිගට නතුව වැටෙන්නාසේ මරු ඇඳෙහි හෝනා සත්ත්වයා කරාම පැමිණෙයි. මේ ශෝකය මව්පිය ඥාති මිත්‍රාදින්ගෙන් ඇතිවන්නක් නොව තමා විසින්ම කළ කර්මයේ විපාක තමා කරාම එන අවස්ථාවයි. තමා කළ කර්ම මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකිය.
ඊළඟ භවයෙහි උපත ලැබීමට නියත වු ප්‍රතිසන්ධිජනක කර්මය ,කර්ම නිමිත්තාදිය ඔහු කරා එළඹෙයි. සත්ත්වයා උපදවනු ලබන්නේ කර්මය විසින් බව“ කම්ම යෝනි” යන්නෙන් පැහැදිලි වේ. සත්වයා විසින් වැඩි වශයෙන්ම පුරුදු පුහුණු කළ කර්ම ඉදිරිපත් වන්නේ මරණ මඤ්චකයේදීය. ඒවා ආචිණ්ණ කර්ම නමින් හඳුන්වයි.
කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසල කර්ම වැඩි වශයෙන් කළේද ඔහුට මරණ මොහොතේදී ඒවා පෙනෙයි. දැනෙයි. සිතට නැගෙයි. ඒ අකුසල කර්ම කිරීමට යමක් භාවිත කළේ නම් එනම් දඬු මුගුරු අවි ආයුධ ආදියයි. එය කර්ම නිමිත්ත වශයෙන් හඳුන්වයි. ඒ ප්‍රාණඝාතාදියට උපකාර කර ගත් දේම ඔහුට පෙනෙයි. තමා කළ අකුසල කර්මයන්ට අනුව ඒ කර්මය විසින්ම ගතිය තීරණය කරයි. ඔහුට පහළ වන ගතිය නම් දුගතියයි. එනම් සතර අපාය, නිරය ආදියයි. ඒ නිරයේ නිරාගිනි , නිරයපාල, කාල සුනඛ, වන, ගංගාදිය ගති නිමිති වශයෙන් පෙනෙයි. ඒ ප්‍රාණඝාතාදී අකුසල කර්ම කළ සත්ත්ව තෙමේ ජීවිතය හැර මරණයට පත්ව දුර්ගතියක ඉපිද එහි විඳිය යුතු කර්කශ දුක්ඛ වේදනාවන් විඳිමින් අපමණ කාලයක් අපමණ දුක් විඳිමින් ශෝක කරයි.
පාපයෙහි බියජනක බව වටහා නොගන්නෝ පව් කරති. ඔහුගේ ලක්ෂණය පව්කම් කිරීමය. සද්පුරුෂයෝ මේ පව්කම්වල බරපතල භාවය අවබෝධ කරගෙන තමන්ගේ එලොව මෙලොව රක්ෂාවරණයට පව්කම් අත් හරිති. පින්කම්, කුසල කර්මම රැස්කරති. මෙලොව පරලොව ශෝකය ගෙන දෙන පාප කර්ම හඳුනා ගත යුතුය. අපායට පමුණුවන අරුතින් පාප යන නම ව්‍යවහාර කරයි. තමාටත් අහිත පිණිස, අවැඩ පිණිස හේතුවන,අන් අයටත් අහිත පිණිස අවැඩ පිණිස හේතුවන, තමාට මෙන්ම අන් අයටත් අහිත පිණිස අවැඩ පිණිස හේතුවන දේ හඳුන්වා ඇත්තේ පාප කර්ම ලෙසය. එයින්ම දුක් උපදවයි. දුක් විපාක ගෙන දෙන බව සඳහන් කරයි.
ඒ පාප කර්මයෝ මොනවාදැයි අප හඳුනාගත යුතුය. පාප කර්ම, කාය කර්ම, වාග්කර්ම ,මනෝ කර්ම වශයෙන් ත්‍රිවිධ වේ. කය මුල් කරගෙන සිදුවන ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය යන තුන කාය කර්ම වේ. වචනය මුල් කරගෙන බොරුකීම,කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස්වචන කීම යන සතර වාග් කර්ම වේ. මනස මුල්කරගෙන දැඩි ලෝභය, දැඩි තරහව, මිථ්‍යා දෘෂ්ටිය ඇතිවේ.
උපන් සත්ත්වයාගේ විනාශය කර්මානුරූපව සිදුවන්නට ඉඩ නොදී යම් කිසි උපක්‍රමයකින් විනාශයට පත්කිරීම ප්‍රාණඝාතය නම්වේ. කාය ද්වාරයේ පැවති වධක චේතනාවම ප්‍රාණඝාතයයි. ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය. ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු බව දැන ගැනීම, පණ නැසීමේ සිත, ඒ සඳහා යොදන උපක්‍රම, හා එයින් මරණය සිදුවීමයි. ජීවිතය හා බද්ධ වූ දිවි ඇති යම්කිසි සතෙකු වීම,මොහු දිවි ඇති සතෙක් බව දැනීම, ඒ සතා මොන ආකාරයෙන් හෝ මැරීමට සිතීම, මැරීමට උපක්‍රම වශයෙන් යොදාගන්නා ප්‍රයෝග එනම් පහරදීම, සාහත්ථික නම් වේ.මෙසේ ඇන කොටා වෙඩි තබා මරන්නට යැයි අනුනට අණකිරීම ආණාන්තික නම් වේ .ඈතක සිටියකු මරන්නට දඬුමුගුරු ආදිය යැවීම නිස්සග්ගික නම් වේ. මරන්නට උගුල් ඇටවීම, බොරුවළවල් කැපීම, උල් සිටුවීම, මදු ගැසීම, තුවක්කු බැඳ තැබීම, වැව් පොකුණු ළිංවලට වස විෂ දැමීම, ථාවර නම් වේ. මන්ත්‍ර ජප කිරීම, හූනියම් කිරීම ආදිය විජ්ජාව නම් වේ.
ප්‍රාණඝාතය අල්ප සාවද්‍ය හා මහා සාවද්‍යය වශයෙන් දෙවැදැරුම් වේ. මද වූ උත්සාහයකින් පමණින් කුඩා සිරුර ඇති සතෙකු මැරීම අල්ප සාවද්‍ය වේ. මහත්වූ සිරුරක් ඇති මහත් වෙහෙසක් ගෙන සතෙකු මැරීම මහා සාවද්‍ය වේ. එපමණක් නොව ගුණවත්, සිල්වත් කෙනෙකු මැරීම මහා සාවද්‍ය වේ. ප්‍රාණඝාතය අකුසලය සතර අපායෙහි ඉපිද දුක් විඳීමට හේතු වේ. අපායෙහි ඉපිද අපමණ පිනකින් නැවත මනුලොව ඉපදෙන්නේ නම් ඒ තැනැත්තාගේ ආයුෂය මඳවන්නේය. විරූපි පුද්ගලයෙක් වන්නේය. වැහැරුණු සිරුරක් ඇත්තෙක් වන්නේය. බෙලහීනයෙක් වන්නේය. බිම නොගෑවූ වක් වු පා ඇත්තෙක් වන්නේය. මේ හැමටම වඩා සතර අපා දුක කටුක වන්නේය.
ලෝභ, දෝස,මෝහ මුල්වීමෙන් අකුසල කර්ම සිදු කෙරේ. මස් කන්නට, මස් විකුණා මුදල් උපයන්නට පහළ වන්නේ ලෝභයයි. මූ මට විපතක් කරයි යනු එබැවින් මොහු විනාශ කළ යුතු යයි යන දෝෂයද සතුන් මරා ලැබෙන මුදලින් සුවසේ ජීවත්වෙමියි යන මෙයද මුල් කොට ප්‍රාණඝාත අකුසල කර්මය කරයි.
අන් සන්තක දේ ගැනීම අදින්නාදාන නම් වේ.’ එනම් යම් වස්තුවක් අනුන්ට අයත්යැයි දැන දැන ඒ ගන්නා පිණිස යෙදූ උපක්‍රමයන්ගෙන් කාය වාග් ද්වාර දෙකින් එක් ද්වාරයක පැවති සොරසිත අදින්නාදාන නම් වේ. අංග පසකින් සමන්විත වූ විට අදින්නාදාන අකුසල කර්මය සිදුවේ. ඒවා නම් අනුන්ට අයත් බව, ඒ බව දැනීම, නොකියා නොවිචාරා ගනිමි යන සිත, ගන්නට කරන උපක්‍රම හා එයින් ගැනීමයි.
පවිටු මිනිසකුට අයත් වස්තුවක් සොරකම් කිරීම අල්ප සාවද්‍ය වන අතර ගුණවත් මිනිසෙකුට අයත් දෙයක් ගැනීම මහා සාවද්‍යයට අයත්වේ.අදින්නාදානය කළ වුන්ට නියත වශයෙන් හිමි වන්නේ සතර අපායෙහි ඉපදීමයි. එහි දුක් විඳීමය. එසේ දුක්විඳ මිනිස් ලොව ඉපදුනේ නමුත් ඔහු දීනයෙක්, දිළින්දෙක් නොමනා දැකුම් ඇත්තෙක් වන්නේය. එයටත් වඩා සතර අපා දුක කටුකය. මෙයටද ලෝභය, දෝෂය, මෝහය මුල් වෙයි. තමන් හා අඹුදරුවන් රකිමියි සිතා අන්සතු වස්තුව සොර සිතින් පැහැර ගැනීමට ලෝභය මුල්වේ. ක්‍රෝධය උපදවා අන්සතු වස්තුව පැහැර ගැනීම දෝෂය මුල් කොට ගෙනද දුෂ්ට නිග්‍රහ කරමියි ගෙන අන් සතුදේ පැහැර ගැනීමට මෝහය මුල්වන බවත් සඳහන් කළ හැකිය.
කාය ද්වාරයාගේ ළාමකවූ නින්දිත වු හැසිරීමෙන් සිදුවන අකුසල කර්මය කාම මිථ්‍යාචාරය නම් වේ. මෙවුන්දම් සේවනය කිරීමේ අදහසින් කායද්වාරයේ හට ගැනුණු නොයායුතු ස්ථාන කඩකොට යාමේ චේතනාව කාම මිථ්‍යාචාරයයි. ලෝක සම්මත නීතියෙන් අඹු සැමි බවට නොගිය ස්ත්‍රි පුරුෂයන්ගේ මගින් මග සෙවුමෙන් කරන කාම සේවනය නම් වේ. එය තිරිසනුන්ගේ කාම සේවනයට වඩා නින්දා සහගතය. ළාමකය. වැරදි සහිතය. සතර අපාය දුකට හිත කරය. කාලකණ්නි කමට හේතුය. දරු පවුල් බිඳ වැටීමට හේතුය.
කාම මිථ්‍යාචාරය අකුසලය සතර අපායෙහි දුකට හේතුවය. එයින් මිදී මනු ලොව ඉපදෙන්නේද ඒ තැනැත්තාට සතුරන් ඇත්තෙක් වෙයි. නොමනා අපි‍්‍රය වූ දැකුම් ඇත්තෙක් වෙයි. මේ හැමට වඩා සතර අපා දුක බලවත් වෙයි. මෙයටද මුල් වන්නේ ලෝහ, දෝස, මෝහ අකුසල මුලයන්මය.

සත්ත්වයාගේ මදයට හා ප්‍රමාදයට හේතුවන යමක් ඇද්ද එය සුරාපානය නම් වේ. සුරාපාන අකුසලය දස අකුසල කර්ම පථයට අතිශයින් මුල්වේ. කාය විකාරයට නොපැමිණෙන පරිදි රහමෙර පානය කිරීම අල්ප සාවද්‍යයයි. කාය විකාරයට පැමිණීමට තරම් පානය කිරීම මහා සාවද්‍යය වේ. සුරාපානය සතර අපා දුකට හේතුය. එයින් මිදී මිනිස් ලොව උපන්නාද සිහිවිකල් වුවෙක්, නුවණ නැත්තෙක් තැති ගන්නෙක්, ගොළුවෙක්, බිහිරෙක්, කිපෙන්නෙක්, ලජ්ජාභය නැත්තෙක්, කටයුතු නොකටයුතු නොදන්නෙක්, දීනයෙක් දිළින්දෙක්, නිතර දොඩවන්නෙක් නොමනා දැකුම් ඇත්තෙක්, වන්නේය.මේ සියල්ලටම සතර අපා දුක බලවත් වන්නේය. මෙයටද ලෝභ, දෝෂ,මෝහ යන අකුසලයෝ මුල් වෙති.





කෝට්ටේ කොටුබැම්ම පාරේ,
ශ්‍රී සුනේත්‍රාරාමාධිපති, 
කොළඹ කළුතර දෙ දිසාවේ ප්‍රධාන සංඝ නායක 
ශාස්ත්‍රපති 
ඇලිකේවෙල සීලානන්ද නා හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment