ජලය යනු ජීවියාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධාන එකකි. මිහිකත ආරම්භයේ පටන් ජලය විශ්වයේ පැවැත්ම උදෙසා ප්‍රධානව බලපවත්වයි. ලෝක ආරම්භයේ හා පැවැත්ම පිළිබඳ දක්වා ඇති අග්ගඤ්ඤ සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය සප්ත සුරියෝද්ගමන සූත්‍රය යන සූත්‍රයේ දැක්වෙන තොරතුරු අනුව නූතන විද්‍යාවේ සොයාගැනීම් හා බොහෝ සෙයින් මේ හා සත්‍යවත් වී ඇත.
අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්වා දෙන විද්‍යාත්මක දර්ශනය බොහෝ විද්‍යා පර්යේෂණ තුළ ඔප්පු වී හමාරය. පෘථිවිය හැකිළෙමින් විසිවෙමින් පවතින්නකි. විනාශවෙමින් වර්ධනය වෙමින් පැවැතීම ලෝක ස්වභාවයයි. විනාශයෙන් වැඩෙන ලෝක ධාතුවෙහි පළමු ජීවියා හටගන්නේ, ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වු ජීවියෙක්ගෙනි. මෙසේ පෘථිවියට ආ ජීවියා අනුභව කළේ පෘථිවියේ ඇති විශේෂ ද්‍රවන තත්වයෝය.
ටික කාලයක් ගතවෙත්ම මෙම දාවන තත්වය පහව ගිය පසු බිම්මල් පහළ විය. එම බිමමල්ද ඔවුන් අනුභව කළහ. අම්ලකර මූලාශ්‍රයෙන් හතු හට ගැනුණ බව සොයාගෙන තිබේ. මේවා ජ්උව්ට්උඉ යනුවෙන් නම් කර ඇත. මේ අනුව ජලය හටගැනීමේදී මෙම මූලධර්මයන් බලපා ඇති බව පැහැදිලි වෙයි.
ජලයෙහි හටගත් පරමාණුක ක්‍රියාකාරකම් හේතුවෙන් ආරම්භක ජීවය ඇතිවූ අතර එයින් එක් ශෛල ශුද්‍ර ජීවියා පරිණාමය වීමෙන් අනතුරුව ක්‍රමයෙන් සත්ත්ව සන්තතිය ආරම්භ විය. මහ පොළොවේ සාරයෙන් හටගත් ජීවියා මහ පොළොව මතම තම පැවැත්ම තබා ජීවත්වෙයි. මහපොළොවෙහි නියම සාරය වන්නේ ජලයයි. ග්‍රහලෝකවල මිනිසාට ජීවත්වීමට නොහැකි වී ඇත්තේ ජලය’ නොමැති බැවිනි. ජීවියෙකුට ජීවත්වීමට ජලය අත්‍යවශ්‍ය බව මෙයින් මනාව පැහැදිලිවේ.
තෙල් සහිත රටවල් ආර්ථික බලවතුන් මෙන්ම ලෝක බලවතුන් බවට පත්ව ඇත. තෙල් මූලික කරගත් මහා ධනස්ඛන්දයක් ලෝකය තම යටතට ගැනීමට අර අඳිමින් සිටින බව ඔවුන්ගේ තීන්දු තීරණවල ස්වභාවය අනුව පැහැදිලි වේ. එහෙත් පැහැදිලි වන කරුණක් වන්නේ ‘ඔපෙක්ට්’ සංවිධානයේම නිර්දේශ අනුව තව වසර 50කට නොවැඩි කාලයක් තෙල් මිහිකත නොපවතින බවයි. තෙල් බලශක්තියට විසඳුමක් නොවන විට මුළු මහත් ලෝකයට ඊළඟට යොමුවන්නේ ‘ජලය’ සම්පත බලශක්තියක් කරගන්නේ කෙසේද යන්නයි. මිනිසාට තෙල් නොමැතිවද ජීවත් විය හැකි වුවත් ජලය නොමැතිව ජීවත් වීමට නොහැක. මෙය සත්‍යයකි. ඉදිරි ලෝකයේ දශක දෙක තුනකදී තෙල් වෙනුවෙන් යුද්ධ දියත් කරන ලද මිනිසුන් ‘වතුර’ වෙනුවෙන්ද අයිතිවාසිකම්, නීති , සංවිධාන බිහිවූ යුද්ධ ප්‍රකාශ කිරීම කරනු ඇත.
බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින දවස මගධය හා කෝලියවරු අතර ජලය මූලික කරගත් යුද්ධයක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු හෙළි වේ. මේ අනුව පැහැදිලි වන්නේ ඕනෑම සංස්කෘතියක ජාතියක නැඟීමට ජලය අයිතියක්ව කොට පැවැතීම අත්‍යවශ්‍ය බවයි. එසේම බුද්ධ කාලීන ජනයා ජලය කර්මාන්තයක් වශයෙන්ද කළ බව ශාසන ඉතිහාසයේ තොරතුරු හෙළිවේ.
ජල සංරක්ෂණයට බුදු දහමේ දී ඇති ඉඩකඩ විශාල පරාසයක් තුළ විහිදී ඇති බව බෞද්ධ සූත්‍ර, විනය කාරණා පිරික්සීමේදි පැහැදිලි වේ. භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම සිදු කෙරෙන ස්ථානය නම් කරන්නේ ‘පොහොය ගෙය’ වශයෙනි. පොහොය කරන, එසේත් නැත්නම් විනය කර්ම කරන සීමාව පැන වීමේදී ජලයෙන් කොටුවූ ස්ථානයක හෝ ජලය මැදි කරගත් ස්ථානයක් යෝග්‍ය බව විනය දැක්වීමේදී පෙන්වා දී ඇත. එසේම විනය කර්ම කිරීමට ප්‍රථම “උදකං ආසනෙනච” වශයෙන් විමසා බලන්නේ ආසනෙන සහ පරිභෝජනය සඳහා සූදානම පිළිබඳවයි. විනය දේශනා තුළ ‘සේඛියා’ පැනවීමේදී ජලය මූලික කරගත් කරුණු කිහිපයක් විශේෂයෙන් දැක්විය හැකිය.
සේඛියා යනුවෙන් ගැනෙනුයේ භික්ෂු සංඝයාගේ සදාචාරවත් පැවැත්මට අනුබල දෙන සිරිත් විරිත් සමූහයක් වන අතර මෙය හොඳින් විමසා බලන කළ පැහැදිලි වන්නේ ශිෂ්ඨ සම්පන්න පරිසර හිතකාමී සමාජයකට සේඛියා ඉතා වැදගත් බවයි.
හරිතො අගිලානො උච්චාරංවා පස්සාවංවා කරිස්සාමීති සික්ඛා කරණීයා”
නො ගිලන්වූයේ නො මළ තණ ආදියෙහි මල මුත්‍රා කෙළ හෝ නොකරමියි.
"නො ගිලන්වූයේ පරිභෝගයට සුදුසු ජලයෙහි මල මුත්‍රා කෙළ නොගසමියි හික්මිය යුතුය. "
මේ අනුව පැහැදිලි වන්නේ සේඛියා ධර්ම තුළ ජල සංරක්ෂණය පිළිබඳ දක්වා ඇති ආකල්පයයි. ඒ අනුව බුදු දහමේ ජලය සුරක්ෂිත කොට පරිභෝජනය පිළිබඳ විධිමත් ක්‍රමවේදයන් බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු මහා සංඝයා වහන්සේට හඳුන්වා දී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ මුල් යුගයේ ජනාවාස ඇති වූයේ මහවැලි ගඟ, මල්වතු ඔය, දැදුරු ඔය ආදි ගංගා නිම්න ආශි‍්‍රත කරගෙනයි. වැසි ජලය මහපොළොවට වැටී එය ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යෑමට ඔවුන් ඉඩ දුන්නේ නැත. විශේෂයෙන් මුල් යුගයේ ගංගා නිම්න වලින් ගොවිතැන් කරන ලද ගොවියා වර්ෂයේ නියං කාලවලට හසුවීම නිසා ඉතා කුඩා ප්‍රමාණයේ ජලය ගබඩා කර ගැනීම ආරම්භ කළහ. එසේම කාලයේ වෙනස් වීමත් සමඟ හා වැඩිවන ජනගහණයට සාපේක්ෂව ආහාර සපයා ගැනීම පුළුල් කිරීමට අවශ්‍ය විය. මේ සඳහා මුල් යුගයේ ගොවියා විකල්ප ක්‍රමවේදයන්ට යොමු වූහ. ඒ අතර කුඩා ප්‍රමාණයේ වේලිබැඳ ජලය හරවා ගැනීමේ ක්‍රමවේද භාවිතා කළහ. ඉන් නොනැවතී වියළි කලාපයේ ගොවිතැන සඳහා යොමුවීමත්, ඒ සඳහා ජල සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. තිසා වැව, හුරුළු වැව, කලා වැව, අභය වැව ආදි අනුරපුර යුගයේ වැව් ඉදිවීමට ප්‍රධානව රාජ රාජ්‍ය මහා අමාත්‍යවරුන්ගේ සිට සාමාන්‍ය මිනිසා දක්වාම යොමු විය. විශේෂයෙන්ම අඹන්ගඟ හැරවු ඇළහැරත්, මහවැලි ගඟ හැරවූ මිනිපේ ඇළත් විශාල කෙත් බිම් රාශියක් පෝෂණය කළහ. මේ තුළින් ජනයාට ජල ප්‍රශ්නයකින් තොරව ගොඩ ගොවිතැන මෙන්ම කුඹුරු ගොවිතැන් සදහාද ජලය අවශ්‍ය ප්‍රමාණයට ගත්හ. එසේම පොකුණු, උයන්, ජල තටාක, ස්නාන ස්ථාන, වෙහෙර විහාර, අලංකාර ජල මල් මේ තුළින් නිපදවූහ. සීගිරිය වැනි උස් ශෛල මස්ථකයන්ට පවා ජලය රැගෙන ගියේ පැරැණි වාරි තාක්ෂණයේ ඇති විශිෂ්ටත්වය නිසාමය.
පණ්ඩුකාභය ,ධාතුසේන, නිශ්ශංකමල්ල, වසභ, මහා පරාක්‍රමබාහු, විජයබාහු රජවරුන් අමරණීය නාමයන් අතරට එක් වන්නේ මේ නිසාවෙනි. වර්ග සැතපුම් 25000ක් තුළ ලොකු කුඩා වැව් 30000ක් ඇළවල් 60000ක් මුල් කරගෙන සාදා ඇත. මේ සියලු දේ සාදා ඇත්තේ ක්‍රමවත් ජල සංරක්ෂණ පද්ධතියක් තුළින් මිනිසාගේ මෙන්ම සතා සිව්පාවාගේ, ගහකොළ, ජීවින්ගේ පහස නිවාලන පරිසරයක් නිර්මාණය කිරීමටය.
විශේෂයෙන්ම වැව් ආශි‍්‍රත විශාල සංස්කෘතික ලක්ෂණ රාශියක් ඇතිවිය. ගැමි ගීත, කවි, නාට්‍ය, කථා, උපදේශන, මෙන්ම පත පොතද ලියවිණි, එසේම ගම, පන්සල , වැව, දාගැබ මේ සංස්කෘතික දායාදයේ නිර්මාණයන් බව අප පිළිගත යුතුය.
කෙසේ වෙතත් විශාල වාරි තාක්ෂණ ක්‍රමවේදයක් මෙරට බිහිවූයේ ගොවිතැන මූලික කරගෙන බව පැහැදිලි වේ.ගොවියා විසින් ජලය දෙවියන්ගෙන් ලද භාග්‍යය ලෙස සලකා කටයුතු කළහ.මේ නිසාම ගොවිතැනේදී ජල මූලයන්ට හානි නොවන පරිදි, සංරක්ෂණ ක්‍රියාවලියට අනුගතව පැරැණි ගොවියා ගොවිතැන් කළහ.
මෙවැනි ජල සංරක්ෂණයක් පිළිබඳ පැරැණි හෙළ ගොවිතැන මුල් කරගනිමින් පැවැති බවට අදටත් ඕනෑතරම් සාක්ෂි සාධක ජනසමාජ විඥානයෙන් හා පොතපතින් තොරතුරු අපමණ ප්‍රමාණයක් දැකිය හැකිය. ඒ අතර පැරැණි ජන සමාජ ගොවිතැන සඳහා යොමු වූයේ සාර්ථකත්වය මත පදනම වී බව ගොවිතැනට අදාළ සියලු සංසිද්ධි විමසා බැලීමේදි පැහැදිලි වේ. අස්වැන්න කඩා ගෙට ගැනීමෙන් පසුව කුඹුර ඉතා ඉක්මනින් නොයෙක් ජීවින්ගේ කාර්ය බහුල ස්ථානයක් බවට පත් වේ.
ඊළඟට වැසි වසින්නට පෙර ආහාර සොයාගැනීම්, වාසස්ථාන සුරක්ෂිත කර ගැනීම් විශේෂයෙන් කුඹුර තුළ සිදුවෙමින් පවතී. මේ තත්වය අවසාන වන විටම අක්වැසි වැටීම පටන් ගන්නා අතර එහිදි පළමු පස් පිඩැල්ල සෙල්ලා ගැසීම ගොවියා විසින් සිදු කරන්නේ අහස්වැසි වැස්සෙන් කුඹුරු වැඩ ඇල්ලීමෙනි. එහෙත් අද ගොවියා වාරිමාර්ග ඔස්සේ ජලය බලාපොරොත්තුවෙන්ම ගොවිතැනට මඟ බලා සිටින්නේ උදාසීන තත්වයේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. එසේම ගොවියාට පාරම්පරික ඥානය නොමැතිවීම හේතුවෙන්ද කුඹුරු ගොවිතැනේදී නොයෙක් හානිකර තත්වයන් ජලය මත පදනම යොදා සිදු කරනු ලබයි. ගොයම් ගස පඳුරක් වීමට ඇති ඉඩකඩ වැපිරීම් රටාවේ ඇති දුර්වලකම නිසා පත්ව ඇත. එසේම ගොයම් පඳුර සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතා අඩු ප්‍රමාණයකින්. ඕලු, නෙළුම්, මානෙල් වැනි පඳුරු ගස් ජලයේ මඩ වගුරක් තුළ පෝෂණය ලබන අතර ගොයම් ගස එසේ නොවේ.
එසේම මේ සඳහා ජලය අවශ්‍ය වන්නේ වල්නාශක ක්‍රමවේදයන්ට හා බීජය පැළ කරගැනීමට පමණි. එහෙත් ගොවියා ජලය අනවශ්‍ය ආකාරයට ගොවිතැනට යොදා ගැනීම තුළම කුඹූරේ ඇති පාංශූ සත්කාර තත්වයන් නියර කැඩීමත් සමඟ ගසාගෙන ගොඩකුඹුර නිසරු වීමක් බවට පත්වනු ඇත. එසේම අධික ජල ධාරිතාවයක්ද අනවශ්‍ය ආකාරයට අපතේ යෑම සිදුවේ. මේ අනුව අප විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ ජල සංරක්ෂණ ක්‍රියාවලිය තුළ ගොවිතැන සිදු කිරීමටයි.
මේ සමඟම අප විසින් යොදන ලද පොහොර වන යුරියා, ඇමෝනියා , සුපර් පොස්පේට්, මියුරේටි, පොටෑෂ් ඉතා ඉක්මනින් ජලය සමඟ දියවේ. මේවා කුඹුරෙන් ඇළට, දොළට , ගංගාවන්ට, වැවට, ළිඳට, හා වෙනත් ජල මූලයන්ට ඉතා ඉක්මනින් එකතු වේ. මේ පානීය ජලය මිනිසා විසින් භාවිතයට ගැනීමත් සමඟම ඇති වෙන්නාවු තත්වය පිළිබඳ වඩා අවධානය යොමු කිරීම වැදගත් වේ.
වැල්ලවත්ත ධර්ම ශාන්ත විහාරයේ,
ශාස්ත්‍රපති
පාහියන්ගල ආනන්ද සාගර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment