Labels

Thursday, January 19, 2017

දෙව්බව ලබන්නට මෙවැනි කාන්තාවක් වන්න

අප ජීවත්වන මේ ලෝකය විසිතුරුයි. විචිත්‍රයි. සමහරවිට විශ්මය ජනකයි. පුදුම එළවන සුළුයි. හැඩවැඩ සහිතයි. මේ තත්ත්වය අප දකින්නේ සමහරවිට එක කාලයකට වෙන්නට පුළුවනි. ඒ විසිතුරු බව පවතින්නේ එක පළාතක වෙන්නට පුළුවනි. එක රටක, දෙකක වෙන්නට පුළුවනි. එක ජන කොටසක් පිළිබඳ වෙන්නටත් පුළුවනි. මේකෙන් අදහස් වන්නේ තවත් කාලයක තවත් දේශයක නැතිනම් පළාතක, එක පිරිසක් හෝ පුද්ගලයෙකු පිළිබඳ මේ තත්ත්වය වෙනස් වී අප්‍රසන්න. කටුක, දුක් සහිත හරිම කනගාටුදායක, වේදනාකාරී, අප්‍රසන්න තත්ත්වයක් ඒ ආකාරයෙන් ම ඇති වෙනවා.
ඒ කියන්නේ සමහර අය සුවසේ සැපසම්පත් ඇතිව, රෝග පීඩා නැතිව ජීවත්වෙන කොට තව පිරිසක් ඊට හාත්පසින්ම වෙනස් කනගාටුදායක වේදනාකාරී ලෙස ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් මෙයට හේතුවන කාරණා තත්ත්වයන් විමසුවහොත් උන්වහන්සේ දෙන පිළිතුරක් වන්නේ බොහෝ විට කර්මය නිසා මේ තත්ත්වය ඇති වන බවයි. එහෙත් බුදුදහමෙහි ඉගැන්වෙන විශිෂ්ට ලක්ෂණයක් වන්නේ කර්මය පිළිබඳ නියතියක්. නියතිවාදයක් නොවන බවයි.
එනම් කර්මය හේතු අතර තවත් එක හේතුවක් පමණක් ම බවයි. බුදුබණට අනුව මෙහි දී අප තේරුම් ගත යුතු වන්නේ. ලොව සිදුවන සියලුම දේ කර්මයෙන්ම සිදු වෙන්නේ නැහැ. කෙසේ වුවත් කර්මයට විශාල ශක්තියක් තිබෙනවා, ලෝකයේ පැවැත්ම, සත්වයාගේ පැවැත්ම උඩුයටිකුරු කිරීමට. මේ තත්ත්වය අප විසින් පැහැදිලිව තේරුම් ගැනීම අපේ ජීවිත පිළිබඳ පෙරළියක් ඇති කිරීමට හේතු වෙනවා. මේ තත්ත්වය මනුෂ්‍යයා කියන මේ උසස් මනසක්, හැසිරීමක්, දැනුමක්, පැවැත්මක් ඇති කර ගත හැකි ,මානසික මට්ටමක් ඇති කර ගත හැකි සත්ත්වයාට පමණක් සීමා වූවක් නොවෙයි. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, තිරිසන්ගත සතුන්ට, විවිධ අපායගත ජීවීන්ට පවා මේ තත්ත්වය සාධාරණයි. මේ නිසා තමා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ විදියට සත්වයා උස්මහත්, එහෙමත් නැතිනම් උසස් පහත් හෝ සැපවන්ත, දුක්සහිත, කුලවත් කුලහීන ආදී වශයෙන් බෙදෙන්නේ කර්මානුරූපව බව, ඉතින් මේ තත්ත්ව දෙවියන්ට, මනුෂ්‍යයන්ට තිරිසන්ගත සත්වයන්ට හැම දෙනාටම පොදු දහමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එක කාලයක කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ විසූ සමයක අනුරුද්ධ හාමුදුරුවන් හමුවීමට පැමිණි ‘මනාපකායික (තමන්ට කැමති කැමති ශරීර ඇති) නම් දේවතාවරු උන්වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි, අනුරුද්ධ හාමුදුරුවන් වහන්ස, මනාපකායික දේවතා නමින් හඳුන්වන අප තුන් ආකාරයක සැපයක් භුක්ති විඳිනවා. අප ශරීර වර්ණය ගත්තොත් මේ විදියේ වර්ණයක් ඇති නම් හොඳයි කියා ප්‍රාර්ථනා කළාම ඒ වර්ණයෙන් අපේ ශරීර ශෝභාමත් වෙනවා. ඒ වගේම තමා යම් බඳු සැපයක් ලැබුණොත් හොඳයි කියා සිතුවොත් ඒ හා සමඟ ම ඒ සැපය ලබා ගන්නවා සම්බුදු ශබ්දස්වරයක් එහෙම නැතිනම් කටහඬක් පැතුවොත් එයත් ඒ සමගම අපට ලැබෙනවා. ඉතින් අනුරුද්ධ හාමුදුරුවෝ මේ වේලාවේදී සිතුවා හොඳයි එහෙම නම් මේ දේවතාවරුන් නිල්පාට වර්ණය ඇතිව, නිල්පාට ආභරණ, නිල්පාට වස්ත්‍ර ඇති වුවොත් මැනව‘ යි කියා ඉතින් ඒ කරුණ දේවතාවරු දැනගෙන ඒ විදියට ප්‍රාර්ථනා කළා. එය ඒ ආකාරයෙන් ම සිදු වුණා. මේ ආකාරයෙන් අනුරුද්ධ හාමුදුරුවෝ සිතපු සිතපු ආකාරයෙන් දේවතාවරු ක්‍රියා කළා. නැටුවොත් හොඳයි, ගැයුවොත් හොඳයි, වැයුවොත් හොඳයි ආදී වශයෙන් සිතන විට ඒ ආකාරයෙන් ම සිදු වුණා. දේවතාවරු නටන්ට, ගයන්ට, වයන්ට, සිත් අලවන ලෙස ක්‍රියා කරන්ට පටන් ගත්තා. මේ වෙලාවේ අනුරුද්ධ හාමුදුරුවෝ බිම බලාගෙන එදෙස නොබලා සිටියා. ඒ වෙලාවේ අනුරුද්ධ හාමුදුරුවො අප දිහා බලන්නෙ නැහැ කියා සිතා දේවතාවරු ඇතුරුදහන් වෙලා නොපෙනී ගියා. අනුරුද්ධ හාමුදුරුවෝ එදා සවස විවේකීව වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මේ ආකාරයෙන් දේවතාවරු පිරිසක් මුණ ගැසුණා. ඒ අයට මෙබඳු ආකාරයෙන් තුන් ආකාරයකින් සිතන පතන ආකාරයෙන් ක්‍රියා කරන්නට පුළුවන්. ඒ අය මනාපකායික කියන දේවතාවරුන්. ඉතින් කෙබඳු කාන්තාවන්ට මේ මනාපකායික දේවතාවන් බවට මරණයෙන් පසුව පත් වන්නට පුළුවන් ද? කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී මෙන්න මේ කරුණු අටෙන් සම්පූර්ණ ස්ත්‍රීන් මරණයෙන් පසු මනාපකායික දෙවිවරුන් බවට පත්වීමේ විපාක ලබා ගන්නවා කියා පෙන්වා දෙමින් සාර්ථක භාර්යාවක් විසින් තම ස්වාමිපුරුෂයා පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පෙන්වා දුන්නා. මෙහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන විදියට මේ කියන බුදුවදන් හේතු වන්නේ සාර්ථක නිවැරැදි අඹුසැමියන් ලෙස ජීවත්වන ආකාරය පෙන්වා දීමට යි. ඒ කියන්නේ එම කුටුම්බයෙහි ඉතාම ලස්සන අවුල් වියවුල් නැති පවුල් ජීවිතයක් නිර්මාණය වන අයුරු යි.
මේ කියන බිරිය දෙමාපියන්ට හොඳට සැළකිලි සත්කාර කරනවා. තම ස්වාමිපුරුෂයා කෙරෙහිත් ඒ විදියට ම පිළිපදිනවා. තම නිවසට පැමිණෙන ආගන්තුකයන් සතුටෙන් පිළිගෙන ආසන පනවා සැලකිලි දක්වනවා. දෙවනුව තම ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාර කටයුතුවල දී ඊට කම්මැලි නොවී සහාය ලබා දෙනවා. තම කටයුතු මැනවින් සංවිධානය කරනවා. තෙවනුව තම ස්වාමිපුරුෂයාගේ වැඩපලවල යෙදෙන වැඩකරුවන්, දැසි දසුන්ට පවරා ඇති දේ කොහොමද? ඒවා හොඳට ඉටු කරනවාද? දිනට නියමිත වැඩ කරලාද? නොකළ දේ මොනවාද? මේ පිළිබඳ විමසිල්ලක්. ඒ විතර නොවේ. සිව්වනුව අසනීප වී ඇති වැඩකරුවන් ඉන්නවාද? ඔවුන්ගේ යැපීම කොහොමද? කෑවා ද, බීවාද? ඒ අයට රෝගී තත්ත්වයක් තිබෙනවා නම් දවසේ පවරන වැඩ කළ හැකිද? ඒ අයට වැඩපල කරන්නට පුළුවන් තරම් හැකියාවක් නැති නම් ඒ අයට ස්වාමි පක්ෂයෙන් කළ යුතු දේ මොනවාද? ආදී වශයෙන් සැලකිල්ලක් දක්වා ක්‍රියා කරනවා. පස්වෙනුව ඒ වගේ ම තමා භාර්යාව හැම විට ම තම ස්වාමිපුරුෂයාගේ ධනය වස්තුව පිළිබඳ කරුණුවල දී හැම විටම ආරක්ෂකයා, විශ්වාසවන්තයා වශයෙන් ක්‍රියා කිරීම, සයවනුව මෙහි දී ඇය ස්වාමිපුරුෂයා වෙහෙස මහන්සි වී හරි හම්බ කරගෙන එන ධනය වේවයි. ධාන්‍ය වර්ග වේවයි, රන් රිදී මිල මුදල් ආදී ආරක්ෂා කර තැන්පත් කොට ස්වාමිපුරුෂයා ඉල්ලා සිටින විට නො පැකිල ව ඉදිරිපත් කළ යුතු එවැනි වටිනා බොහෝ දේ පිළිබඳව සොර සිතක් නැතිව, එමෙන්ම ඒවායෙහි ආශාවක්, තමන් සන්තකයෙහි තබා ගැනීමේ අදහසක් නැතිව, ලොල් නොවී මනාකොට ආරක්ෂාකාරී ලෙස තැන්පත් කොට තබා ස්වාමිපුරුෂයා ඉල්ලනවිට දී නො පැකිලව එය ඔහුට ලබා දීමට සූදානමින් ක්‍රියා කරන්න. ඕන.
තව ද බුදුන් දහම් සඟුන් දිවි හිමියෙන් සරණ ගිය සැදැහැති උපාසිකාවක් වශයෙන් ක්‍රියා කරන කාන්තාවක් බවට පත් වී බොහොම සරල චාම් ලෙස ජීවිතය පවත්වාගෙන යන තැනැත්තියක් බවටත් මෙම භාර්යාව පත්ව සිටිය යුතු වෙනවා. තම ස්වාමිපුරුෂයාට ලැබෙන ආදායමේ, වියදමේ ප්‍රමාණය දැන තමන්ට අවශ්‍ය දේ සුදුසු අවස්ථාව බලා ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලා ලබාගත යුතු වෙනවා.
එමෙන්ම සිල්වත් ගති ගුණ ඇති තැනැත්තියක් වීමත් ඉතා වැදගත් කරුණක් වෙනවා. එහි දී මූලික වශයෙන් සත්වහිංසක ක්‍රියා සංඛ්‍යාත සියලුම ප්‍රාණඝාත ක්‍රියාවන්ගෙන් දුරුව ගිය, සොර සිතින් අන්සතු දේ තමන්සතු කර ගැනීමේ වංචනික සියලුම ක්‍රියාවන්ගෙන් වැළකුණු, වැරදි කාම භෝගි ජීවන පැවැත්මෙන් දුරු වූ සාර්ථක අඹුසැමි ජීවිතයක් ගෙවන මත්වතුර ඇතුළු සියලුම මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකුණු සිල්වත් කල්‍යාණමිත්‍ර ගති ඇති සැබෑ උපාසිකාවක් ම විය යුතු වෙනවා. අටවැනිව මසුරු මල චේතනාවන්ගෙන් මිදුණු මෙන්ම පරිත්‍යාගයට යොමු වූ තැනැත්තියක් විය යුතු වෙනවා. දන්දීමෙහි නියැලුණු අසරණ ජන කොටස්වල දුක හඳුනාගෙන සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන කාන්තාවක් විය යුතු වෙනවා.
මෙහිදී ස්වාමිපුරුෂයා ද වීර්යයෙන්, උත්සාහයෙන් තම ස්වාමිදියණිය නැතිනම් භාර්යාව පෝෂණය කරනවා. තමන්ට අවශ්‍ය දේ මැනවින් හඳුනා ගෙන ක්‍රියා කරන තම ස්වාමිපුරුෂයා පිළිබඳව ඇය විසින් කිසි විටෙකත් පහත් කොට ලඝු කොට සලකන්නේ නැහැ. ස්වාමිපුරුෂයාට සිතේ තරහක් වෛරයක් උපදවන කිසිදු ක්‍රියාවක් කරන්නේ වත් වචන පාවිච්චිකරන්නේ වත් නැහැ. තම ස්වාමිපුරුෂයාට ගරු කරමින් ඔහු උසස් කොට ඇය විසින් සලකනු ලබනවා. තම ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාරාදී ධනය උපයන සියලු කටයුතුවල දී ඊට උපකාරීව ක්‍රියා කරන පිරිවර ජනයාගේ සිත් සතුටු කරමින් නොමැලිව සංග්‍රහ කරමින් තවදුරටත් ඔවුන් උනන්දු කරවමින් ස්වාමිපුරුෂයාගේ සිත් දිනාගෙන ක්‍රියා කරනවා. මෙන්න මේ ආකාරයෙන් ක්‍රියා කරන කාන්තාවන් මනාපකායික දේවාත්ම භවයන් ලබන අයුරු බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දී පෙන්වා දී තිබෙනවා.




වාරියපොල ශ්‍රී සුමංගල 
පිරිවෙන් රාජ මහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment