Labels

Wednesday, January 11, 2017

කෝප ගින්න සිත දවයි

ඉකුත් පෝය දිනයන්හි සිට සාකච්ඡා කරමින් පැමිණි මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි, තථාගත බුදුරජාණන් වහන්සේ ඵග්ගුන භික්ෂුවට සඳහන් කළ දහම් කරුණු කිහිපයක් නැවත සිහිපත් කරමු.
ඵග්ගුන ඔබ ඉදිරියේ යම් කිසි කෙනෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහර දුන්නොත්, ගල්වලින්, පොළුවලින් ගැසුවොත් ආයුධයකින් පහර දුන්නොත් ඔබ තුළ ඒ භික්ෂුණීන් කෙරෙහි යම් බැඳීමක් ඇතිවුණොත් ඒ බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්නට ඕනෙ. එවිට ඵග්ගුන ඔබට මේ ආකාරයෙන් හික්මෙන්න පුළුවනි, කෙසේද? මම මගේ සිත වෙනස් කර ගන්නෙ නැහැ. නපුරු වචන කියන්නෙ නැහැ. හිතානුකම්පීව වැඩ සිටිනවා. ද්වේශයෙන් තොරව මෛත්‍රීයෙන් සිටිනවා කියලයි. ඔබ මාගේ ඒ අනුශාසනාව අනුව හික්මෙන්නට ඕනෙ.

මේ දහම් කතාව ඇසෙන විට, කියන විට, කියවන විට, ඔබට කුමක් ද සිතෙන්නෙ. ඇලීම් ගැටීම් පවතින, කෙලෙස් සහිත සිත්වලට නම් මෙය ප්‍රායෝගික වදන් පෙළක් බවට පත්වෙන එකක් නැහැ. එයට හේතුව තමන්ගේ ප්‍රියවන්ත කෙනෙකුට කවුරු හරි ගහනවා නම්, බනිනවා නම්, මගේ සිත වෙනස් කර ගන්නෙ නැතිව සිටින්නෙ කොහොමද? කියා සිතිවිලි පහළවෙන්නට පුළුවනි. මෙය කියවන ඔබ අම්මා කෙනෙක් නම්, තාත්තා කෙනෙක් නම් දරුවෙකුට සිදුවන විපතක් කෙරෙහි ඔබේ සිතෙහි සකස්වෙන සිතිවිලි පිළිබඳව ඔබට ම සිතා ගන්න පුළුවනි.
ස්වාමි පුත්‍රයෙකුටත් ස්වාමි දියණියකටත් මෙම දහම් කතාව සම්බන්ධ කරගෙනම දකින්න පුළුවනි. එනම් තමන්ගේ ස්වාමියාට යම් කෙනෙකුගෙන් වරදක්, විපතක් වෙනවා නම් මගේ සිතෙහි සිතිවිලි මොන ආකාරයට සකස්වෙයි ද? තමන්ගේ ස්වාමිදියණියට යම් විපතක් වේ නම් හෝ අන් අය කරන කරදරයකට මුහුණ දෙයි නම් තමන්ගේ සිතේ සකස්වෙන සිතිවිලි කුමන ආකාරයකට පත්වෙයිද? තමන්ගේ කියන ඕනෑම අයකුට තමන්ට සම්බන්ධයක් ඇති පිරිසකට යම් වරදක් වේ නම් එය තමන්ගේ දෑස ඉදිරියේ ම සිදුවෙයිනම් තමන්ගෙ සිතේ සකස්වෙන සිතිවිලි කවර ආකාරයක් දැයි ඔබට සිතා ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේගේ දහම මෙවැනි දහමකුයි එනම්,
“අඤ්ඤාභි ලාභු පනිස
අඤ්ඤා නිබ්බාණ ගාමිනී”
ලෞකික ජීවිත පැවැත් ම එක ආකාරයක්, නමුත් නිවන් මාර්ගය තවත් ආකාරයකුයි. තවත් ලෙසකින් සඳහන් කළොත් බොහෝවිට ලෞකික ලෝකය හා පැවැත්ම සිදුවෙන්නෙ 'අනුසෝතගාමී' මාර්ගයකයි. එනම් ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් පිරිපුන් ලෝකයා ඒ ලෝභ දෝෂ, මෝහ හා සමගින් ම ජීවිත පවත්වාගෙන යනවා. එය තමයි සාමාන්‍ය මනුෂ්‍යයන් අතර පවතින අදහසක් වන්නේ, එනම් යම් අයෙක් පහර දුන්නොත්, බැන්නොත්, වරදක් කළොත් තමනුත් ඒ ආකාරයෙන් පෙරලා ක්‍රියා කිරීම 'අනුසෝතගාමී' මාර්ගයයි.
එහෙත් තුන්ලොවක් සැනසූ භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය ඊට වඩා හාත්පසින් ම වෙනස්, එනම් එය 'පටිසෝතගාමී' මාර්ගයයි. මෙය ධර්ම කතාවට අනුව ගහන අයට, බනින අයට, පරුෂ වචන කියන අයට, ගහන්න, බනින්න, පරුෂ වචනයෙන් පිළිතුරු දෙන්න නෙමෙයි. මේ සෑම කෙනෙක් කෙරෙහි ම මෛත්‍රිය කිරීමට තරම් වූ සිතක් සකස් කර ගැනීමයි. ධර්ම මාර්ග තුළ සකස් කරගෙන තිබෙන තමන්ගේ සිතේ පවත්වාගෙන ආ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් වූ සතර බ්‍රහ්ම විහරණයන්ට හානියක් නොවී එම සිත, එම සමාධිය ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීමයි. මෙය තවත් ආකාරයකින් ආර්යකාන්ත සීලයක් බවට පත්වෙනවා. සෝතාපන්න මාර්ගයේ දී ආර්යකාන්ත සීලය අවශ්‍යමයි.
එහෙම නම් මෙය කියවන විට අහන විට ඔබේ සිත ව්‍යාකූල වේවි. වර්තමාන පරිසරය තුළ ජීවිත පවත්වන්නට ඕනෙ. ධර්මයත් දකින්නට ඕනෙ. මේ දෙකම තරමක හෝ සමානත්වයකින් අපට අනුගමනය කළ හැකිද? කියලයි. අපට පුළුවනි ඒ කොහොමද? ඔබගෙ අපගේ සිත සමාධිය තුළ පවත්වාගත යුතුමයි. දුර්ලබව ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අතීත සංසාර ගමනේ වැඩිපුරම ඉපදී සිටි සතර අපායේ තැනකට නැවතත් යන්නට ඉඩ නොදී අවුරුදු සීයකකටත් වඩා අඩු කාලයක් ජීවත්වන මේ ජීවිත කතාව, බොහෝම පරිස්සමෙන් ධර්මයට ම නතු කොටගෙන ගත කළ යුතු බවයි.
ලෞකික ජීවිතයට බැඳුණු ඔබ ලෞකික සිතිවිලිවලින් ම සිත් පුරවාගෙන එනම් ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් යුක්තව කටයුතු කරන විට කෙලෙස්වලින් ආවරණයක් වීම අවශ්‍යයයි. නැතිනම් නැවතත් දුර්ලබව ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් ගිලිහී සතර අපායේ තැනක උපදින්නට පුළුවනි. කෙලෙස්වලින් ඇති කර ගන්නා වූ, සිතෙහි පවත්නා ආවරණය තමයි ඉහත සඳහන් කළ සේ සිහියෙන් යුක්තව සිතෙහි ඇති කර ගන්නා වූ මෛත්‍රී සහගත සිතිවිලි. මෙය කරුණා ගුණය හැටියටත්, ඔබට තව කොටසක් එකතු කර ගන්නට පුළුවනි.
සම්මුතිය තුළ එනම් පැවැත්ම තුළ ඔබේ ප්‍රියයන් සේම ඔබත් ආරක්ෂා වෙන්නට ඕනෙ. ඒ පිළිබඳව ස්ථානෝචිත ප්‍රඥාවක් තිබෙන්නට ඕනෙ. එබඳු අය තමන් කායික මානසික සංවරයෙන් යුක්තව අන් අයට කරදරයක් ලෙස ජීවිත පවත්වන්නේ නැහැ. එතකොට අන් අයගෙන් සිදුවෙන කරදර අඩු වෙනවා. එසේ ජීවිත පවත්වමින් සතිය හෙවත් සිහිය මනාකොට පුරුදු කරන්න ඕනෙ. එය සතර සතිපට්ඨානයේ මනාකොට පෙන්වා දී තිබෙනවා. ඉදිරියට ගමන් කළත් පිටු පසට ගමන් කළත්, ඉදිරිය බැලුවත්, පිටුපස බැලුවත් දෑත දෙපය හැකිලුවත් දිගුකලත් මනා පරීක්ෂාකාරී නුවණින් සිහිය පවත්වන ඇත්තො කිසිවිටකවත් තමන්ගෙ කිසිඳු ඉරියව්වක් හෝ ඇඟිල්ලකින් හෝ හුස්ම පොදකින් තරම්වත් අන් අයට කරදරයක් වන ආකාරයට ජීවිතය පවත්වන්නෙ නැහැ. එය පුරුදු කරන්න පුළුවන් මාර්ගකුයි. මනුෂ්‍යයකුට කළ නොහැකි කිසිවක් භාග්‍යවතුන් වහන්සේ අපට කරන්නට යැයි දේශනා කළේ නැහැ.
මනා වූ සිහියෙන් සිත පුරුදු වෙනකොට තමන්ට තිබෙන කරදර, බාධක බොහොමයක් දුරට අඩුවෙනවා. එනමුත් අපි අමතක කරන්නේ නැහැ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේටත්, රහතුන් වහන්සේලාටත් අප්‍රමාණ කරදර කළ මේ පෘතග්ජන ලෝකය තුළ මොනතරම් සද්පුරුෂ ජීවිත පැවැත්වූවත් අසත්පුරුෂ අයගෙන් බාධා පැමිණීමේ අවස්ථා තිබෙන්නට පුළුවනි. එවැනි අවස්ථාවක සිත වෙනස් කර ගන්නෙ නැතුව තමන්ට තමන්ගෙ ජීවිතය ආරක්ෂා කර ගන්න පුළුවනි. සොර සතුරු කරදරවලින් බේරෙන්න කල්පනාකාරීව තමා රැකෙන්න පුළුවනි. ගේදොර ආරක්ෂා කරගන්න පුළුවනි. එහෙත් සොර සතුරන් හා සමගින් සණ්ඩු දබර වෙන්නවත්, නපුරුකම් කරගන්න යන්නෙවත් නැහැ. එපමණක් නොවෙයි, එදා භාග්‍යවතුන් වහන්සේගේ දවස රජතුමා නඩු විසඳුවා. තමාගේ ගැටලු රජතුමාට පවසා විසඳුමක් ඉල්ලන එක දහමෙ වැරැදියි කියා පෙන්වා දෙන්නෙ නැහැ. එය කරන්න ඕනෙ. වර්තමානයේත් නීතියක් තියෙනවා. ධර්මානුකූලව ජීවත්වන ඇත්තන්ට බොහෝදුක් කරදර බාධක පැමිණෙනකොට නීතියේ පිහිට පතන්නට පුළුවනි. එහෙත් ඒ නීතියේ පිහිට පතන්නේ තමන්ට වැරැදි කරන අය සමඟ සිතේ වෛරය, තරහව, ක්‍රෝධය, පළිගැනීම ඇති කරගෙන නෙමෙයි තමන්ට සිදුවෙන වරදින් වළක්වා දෙන්නට කියා ය.
ඒ අතර අපේ සිත මෛත්‍රීයට යොමු කර ගන්නත් පුළුවනි. ඒ අයගේ වැරැදි දැක්ම වැරැදි සිතිවිලි නිසා අපට කරදරවෙනවා. ඒ අය සිතින් යහපත් වූ පුද්ගලයන් බවට පත්වෙලා අපටත් පහසුවෙන් ජීවිතය පවත්වන්න ලැබෙන්න ඕනෙ. ඒ අයත් සත්පුරුෂ මනුෂ්‍යයෝ හැටියට ජීවිතය පවත්වා ගනිත්වා කියන අදහසයි. එසේ නොමැති වුණොත් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය වැඩිකාලයක් තරහව, වෛරය, නපුරුකම්වලින් සිත පුරවාගෙන නිසි ආහාරයක් පවා කුසට නොගෙන, කුසට ආහාරයක් ගත්තත් ආහාරය කුසට නොදැනේ. නිදි වරාගෙන කාලය ගත කරන්න පුළුවනි. මේ ගැන ඔබට බොහෝම අද්දැකීම් ඇති බව විශ්වාසයි.
භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ පෙන්වාදෙන 'පටිසෝතගාමී' මාර්ගය දැන් ඔබට පැහැදිලියි. භාග්‍යවතුන් වහන්සේ මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙන්වා දෙන මේ දහම් පෙළ අපි කියවන්නෙ, අහන්නේ, අන්න ඒ ඉහත සඳහන් කළ ධර්මානු ධම්ම පිළිවෙත් මගට එකතු වෙන්නයි. එසේ නොවුණොත් මේ දහම් පෙළ අවුරුදු දහස් ගණනක් තිස්සේ කට පාඩමින්, මතකයෙන් රැගෙන ආවා. වර්තමානයේ පොත්පත්වල ලියල තියෙනවා. නිතරම අහන්න ලැබෙනවා. නමුත් අප තවමත් සිටින්නේ 'අනුසෝතගාමී' මාර්ගය තුළ නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පටිසෝතගාමී මඟට එකතුවෙලා නැති බව දැනෙනවා.
මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේට පවසන දහම් පෙළ මේ අනුශාසනා කරන්නේ මටත් සමඟ නේද කියා තමන්ගේ ම සිතින් මෙනෙහි කර බලන්න ඕනෙ. එලෙසම ඔබේ පවුල් පරිසරය තුළ හෝ ඔබගේ කල්‍යාණවන්ත යැයි, හිතවන්ත යැයි පවසන යම් පිරිසක් සිටිනවා නම් ඒ අය සමගත් මේ උතුම් සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන දෙය සාකච්ඡා කරන්නට ඕනෙ. දැවෙන ගිනිගත් සිත් නිවන්න අපටත් කළ හැකි ආකාරයකින් අප උදව් වෙන්න ඕනෙ. එක ද සිතක් හරි මෛත්‍රීයට යොමු කර ඒ සිත නිවන්න පුළුවනි නම් තමා මොනතරම් සද්පුරුෂයෙක් දැයි හැබෑවටම බුද්ධ ශ්‍රාවකයෙක් නේද? කියා ඔබටම සිතේවි.




බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි ප්‍රධාන
අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 28 වන බදාදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment